Saturday, December 31, 2016

22 මයිනරය, Vibration සහ තවත් කථා

සිරා කොලුවා කාලයක් නියෝජනය කල පාසල් බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ Vibration 2006 ප්‍ර‍සංගය පිළිබඳ ඔක්තොම්බර් මස අවසානයේදී පළ වූ ලිපිය සමග මේ ලිපිය සබැඳේ.


නිදි වර්ජිතව උදෑසන වනතුරුම පෝස්ටර් කෙලියේ නිරතව, සිරුර පුරා පාප්ප පැල්ලම් සහිතව, දැඩි විඩාවකින් පීඩිතව සිටින අපගේ චිත්ත සන්තානයම වතුර ටැංකිය අසබඩ කොළ ටයි පටි කෙල්ලෙකුගේ සිනා කැකුලකට ක්ෂණිකව විකසිත කරන්නට හැකි බැව් අපි එදා දැනගතිමු.

කෙතරම් විඩාවක් දැනුනත්, නිදි වර්ජිත රාත්‍රීන් කීපයක් ගත වුවත් සිරා කොලුවා වන මටත්, ජපන් චමියාටත් ඉසිඹුවක් ලබන්නට ඉඩක් නැත. අපගේ ප්‍ර‍සංග සංවිධානයේ කුමන හෝ තැනක අඩුපාඩුවක් ගැන පැමිණිල්ලක් නොලැබෙන දිනයක් නැත. 

නන්දයගෙ ලොරි බට්ටට තෙල් ගහන්න සල්ලි නෑ. පෝස්ටර් අලවන්න යන්න පාප්ප ගන්න සල්ලි නෑ. 

මෙවැනි අටෝරාශියක් ගැටලු කෙලවර වන්නේ ජපන් චමියාගේ හෝ මා ඉදිරිපිටිනි. ඒ සෑම විටෙකම යන්තං ඔලුව බේරාගත හැකි පිළිතුරක් දෙන්නට තරම් අපි දෙදෙනා දක්ෂයෝ වීමු.

වෙනදා වගේම කාලය වේගයෙන් ගත වී ගියේ ටික් ටික් හඬිනි. Vibration 2006 ප්‍ර‍සංගය අත පොවන මානයට පැමිණ තිබේ. චමියාගේත් මගේත් ඔලු ගෙඩි යක්ෂයාගේ කම්මල මෙන් අවුල් වියවුල් ජාලයකි. තවත් විටෙක මේ ප්‍ර‍සංගයේ සංවිධාන කටයුතු මහත් පීඩනයකි. මේ සියලු දෑ දරාගෙන අපි දෙදෙනා තවමත් පිම්මේ දුවන්නේ සාර්ථක ප්‍ර‍සංගයක් අපගේ තූර්ය වාදක ඛණ්ඩයේ පොඩි උන්ට දායාද කරනා අදහසිනි.

ප්‍ර‍සංගයට ඇත්තේ තවත් දින කීපයකි. අලුත් වටයකින් ගම්පහ නගරයම පෝස්ටර් වලින් හැඩ කරන්නට අපේ පාප්ප බාල්දි වලට හැකි වී තිබේ. කොල්ලො කුරුට්ටන් සියල්ලක්ම පාහේ අමුතුම ජවයකින් අවසන් අවස්ථාවේ තම දායකත්වය ඒ ඒ අංශ වෙනුවෙන් ලබා දෙන්නට සැදී පැහැදී සිටිති. තූර්ය වාදක ඛණ්ඩයට දායකත්වයක් නැති පාසලේ සාමාන්‍ය ශිෂ්‍ය ප්‍ර‍ජාවද ප්‍ර‍සංගය නිසාවෙන්ම වෙනදා නැති උද්යෝගයකින් සිටිනා වගක් සිරා කොලුවාගේ අක්මාවට දැනේ.

කොල්ලො...මේ දවස් ටික එක දිගට හවසට ප්‍ර‍චාරය දීහං ගම්පහ ටවුමෙ. මිනිස්සුන්ට එතකොට හොඳට දිනේ මතක හිටිනවා. මාස්ටර් දවසක් දෘ උදෑසනම මා වෙත අවවාදයක් දුන්නේය. දවසක් හැර දවසක් හෝ ආනන්දයාගේ ලොරි භාගයට පින් සිදු වන්නට ඒ වන තෙක් අප ප්‍ර‍චාරක කටයුතු සිදු කර තිබුනි. ප්‍ර‍සංගයට පෙර ගත වෙන අවසන් දින කීපය නිසා දැන් ඒ කටයුතු වෙනදාවට වඩා උවමනාවෙන් සිදු කරන්නට කාලය එළඹ තිබුනි.

අනේ මල්ලියෙ...අද නම් එන්න විදියක් ඇත්තෙම නෑ වාහනේ අරගෙන. අම්මට යකා නැගලා ලොරියෙ යතුරත් හංගලා තියෙන්නෙ. උඹලා අදට මොනවා හරි කරගනිල්ලා...මම හෙට කොහොම හරි එන්නං...

ආනන්ද අයියාගේ දුක්මුසු වැලපුම් හඬ මේ කියන දිනයේ 4 පසු වී විනාඩි ගනනක් ගිය තැන මාගේ සවන්පත් කම්පොනය කලෙන් මම මහත් කලබලයෙන් යුතුව මේ අසුබ ආරංචිය සංගීතය පුහුණුකරමින් සිටි බෑන්ඩ් මාස්ටර් වෙත සැළ කළෙමි.


යකඩ කටවල් දෙක තියෙනවා නේද බෑන්ඩ් කාමරේ...ඒක බැදහං මගේ කාර් එකට, අපි කාර් එකෙන් අද වැඩේ කරමු. වයසට ගියත් බෑන්ඩ් මාස්ටර්ගේ මෙවැනි අභීත ක්‍රියාකාරකම් ඒ කාලයේ මහත් සුලභ දසුන්ම වූවේය.

කොල්ලො කුරුට්ටන්ගේ නොමඳ සහයෝගය නිසාම මේ ප්‍ර‍සංගයේ ප්‍ර‍චාරක රථයක් පරිද්දෙන් සෑර්ගේ මයිනරය හැඩ වැඩ වන්නට වැඩි වෙලාවක් ගියේ නැත. වාහනය පුරාම අපගේ පෝස්ටර අළවා යකඩ කටවල් දෙක, කාරයේ වහළය මත තබා කොහු ලණුවෙන් කිටි කිටියේ බැඳ දැමූ පසුව සියලු දුක්ඛ දෝමනස්සයන් අහවර වූවේය.

නිවේදන කටයුතු සඳහා මයිනරය දැන් ගම්පහ නගරය බලා ඇදෙමින් තිබේ. කඩින් කඩ සෑර්ගේ උපදෙස් පරිදි මම ප්‍ර‍සංගය පිළිබඳ නිවේදන කටයුතු සිදු කලෙමි. රැකියාව අහවර වී නිවාස වෙත ඇදෙන ගම්පහ ජනතාව අපගේ ඉලක්කගත පිරිස වූහ.

ගම්පහ නගරයේ හදවත වැනි දුම්රිය ස්ථානය ඉදිරිපිට කොටසේ ප්‍ර‍චාරක කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සෑර්ගේ අදහස වූයේ දුම්රිය හරස් මාර්ගයෙන් ඔබ්බේ වූ කොටසේද ප්‍ර‍චාරක කටයුතු සිදු කල යුතු බවයි.

මයිනරයේ ඉදිරි වම්පස අසුනේ සිට ගම්පහ සිරි අසිරි නරඹින් සිටි මගේ දැහැන බිදුනේ එක් වරම නැගී ගිය මහා හඬකිනි. ඒ සමගම වාහනයේ මා සිටි කොටස පසෙකට ඇළවී එම කොටස තාර පාර දිගේ ඇතිල්ලෙන වගක් මට දැනුනි.

මොකක්ද බං ඒ සද්දෙ...වික්ෂිප්තව ගිය සෑර් මගෙන් විමසයි. නමුත් මා හට දෙන්නට පිළිතුරු නැත.

සැනින් ගමන නතර වූ මයිනරයෙන් බිමට බට සැනින් එහි ඉදිරිපස වම්පස  ටයරය පසෙකට ඇළවී තිබෙන අන්දම දැකගත හැකි වූවේය.

ටයර් එක ෆික්ස් කරන තැනට එනවා අපේ ඇගිල්ලක් විතර මහත ක්ලිප් එකක් මේ කාර් එකේ අන්න ඒක කාලයක් තිස්සෙ ටිකෙන් ටික  කැපිලා බං...ටයර් එක පැත්තට ගිහින් වාහනේ පාත් වෙද්දි පොළවෙ වදින සද්දෙ තමයි ලොකුවට ඇහුනෙ.

ප්‍ර‍සංගයේ බැනර් එල්ලන්නට වන්දනා නඩයක් රැගෙන මයිනරය ගෙවීගිය රාත්‍රියක ගිය ගමන මේ විපත උදා කරන්නට ඇති බැව් මා හට සිහි වුවද ඒ පිළිබඳ මම මාස්ටර් සමග කථා නොකළෙමි.

මාස්ටර්ගේ කාර්මිකයා එහි ලගාවනතුරු අපි දෙදෙනා මයිනරයට තනි රැක්කෙමු. ඒ අවසරයෙන් එතැනින් ගිය සිරා කොලුවා ගමන් ගන්නා මාර්ගයේ මගී බස්රථවල සිටි කෙල්ලන් පාසලේ නම සහිත පෝස්ටර් සමග අබ්බගාතව සිටින මයිනරය දුටු විගස කොක්සන් හඩලා සිනා සුනහ. ඒ සෑම විටෙකම මම මගේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනිමේ පරම අධිෂ්ඨානයෙන් මයිනරය ඇතුලට හිස යොමු කරගෙන සිටියද, කඳ එළියේය.

මේ හදිසි අනතුරෙන් මයිනරය නැවතී තිබූ ස්ථානයෙන් මාර්ගය අවහිර වී තිබීම නිසා, මාර්ගයේ සැනෙන් ඇති වූයේ දැවැන්ත වාහන තදබදයකි. කවදත් අපේ තූර්ය වාදක ඛණ්ඩය සමග හොඳ හිත පතුරවාගෙන සිටි ගම්පහ පොලෝසියෙ ඇත්තන් ඒ සියලු තත්වයන් සමනය කරන්නට මහත් සහායක් දුන්නෝය.

ප්‍ර‍සංගයට පෙර දින රාත්තිරියේ ප්‍ර‍සංගයේ ආරාධිතයන් දැල්විය යුතු පොල්තෙල් පහන කිසිම සුකුරුත්තමක් නොමැතිව ඔහේ සිමෙන්ති පොළව මත තිබෙන අයුරු දැක අපගේ මාස්ටර් පරල වූවේය. 

මේක මෙහෙමද හෙටත් තියෙන්නෙ. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

උඹලා භය වෙන්න එපා මම දෙන්නං පොල්තෙල් පානට ලොද පනින්න නියම ඩෙකරේෂන් එකක්..ඒ වෙලාවේ අප මිත්‍ර‍ ජෝතියාගේ වදන් අපිට මහත් සහනයක්ම වූහ.

සෑර්ගේ දෝස්මුරයට හසු වූ පසු, මිත්‍ර‍ ජෝතියා සමග පාසලට යාබද කනත්තේ ඇති සුදු අරලියා ගස් වෙතින් මල් සහ කොල කඩාගන්නා විට මධ්‍යම රාත්‍රිය එළැඹී තිබුනි. ජෝතියාගේ ආරක්ෂාවට ඒකා සමග කනත්ත වෙත බඩගාන්නට මමත් චමියාත් එකතු වූයෙමු. උඩු කය නිරුවතින් සිටි කලුම කලු ජෝතියා දුටුවා නම් හොල්මනක් වුවත් භිය වෙනවා නිසැකය.

සති කීපයක සිට, නොයෙක් දෙනාගේ සහයෛා්ගය ඇතිව මහත් වැර වෑයමෙන් තැනූ ප්‍ර‍සංග වේදිකාවේ ප්‍ර‍සංගයට ඉඩ හසර වෙන්වන දිනය දා උදේ පාන්දරම ඇන්ටන් ජූඩ් කලාකරුවා රැගෙන එන්නට රත්මලානට යන්නට මා හට සිදුවූවේය. අප එහි යන විට තම සියලුම අඩුම කුඩුම සූජානම් කරගෙන ඔහු සැදී පැහැදී සිටියේය. ඒ වකවානුවේ මේ කලාකරුවාට තිබුනෙ ඉමහත් ජනප්‍රියත්වයකි.


නිවස ඉදිරිපිට මාර්ගයට පා ගමනින් පැමිණි සැනෙකින් ආයිෂ් අම්මා ගුණ්ඩු...යනුවෙන් පුංචි කොලු ගැටවුන් කීප දෙනෙක් මහා හඬක් නැගුවේය. එය අසා ජූඩ් අයියා සිනහවක් මිස තරහාවක් ඔවුනට තිළිණ නොකලේය.
දන්නවද මල්ලි...මට ඉන්න හොඳම රසිකයො තමයි ඒ....ජූඩ් අයියාගේ එවදන්..ඔහු ජීවිතයෙන් සමුගෙන ගොස් වසර කීපයක් ගත වුවත් තවමත් මගේ සිතේ රැව් පිළිරැව් දෙයි.

ඉංග්‍රීසි සෑර්ගේ මෝටර් රථයේ ඉදිරිපස ජූඩ් අයියා අසුන් ගත් පසු  නැවත පාසල කරා පැමිණෙන්නට අපට හැකි වූවේය. ඒ ගමන අතර තුර වාහන තදබදයක් තිබෙන තැනකදී ඔහු හඳුනාගන්න අවශේෂ රියදුරන් මෙන්ම මගී ජනතාවද දැක්වූ ප්‍ර‍තිචාර අභිමුව ඔහු ඉතාමත් නිහතමානීව ප්‍ර‍තිචාර දැක්වූවා පමණක් නොව මහත් සේ සතුටු වූ අන්දමද මට මතකය. සමහර විටෙක අපගේ වාහනය පිටුපස අධික වේගයකින් නලාව නාද කරමින් පැමිනෙන සුඛෝපභෝගී බස් රථයක රියදුරා නලාව නාද කර ඇත්තේ ජූඩ් අයියාටය.


ඇන්ටන් ජූඩ් , රොඩ්නි වර්ණකුල සුසංයෝගයෙන් හැඩගැන්වුන Vibration 2006 ප්‍ර‍සංගය සැබැවින්ම සාර්ථක එකක්ම වූවේය. අතුරු සිදුරු නැතුව පිරීගිය ප්‍රේක්ෂකාගාරය පිළිබඳ මේ කලාකරුවන් දෙදෙනාම සිටියේ මහත් සතුටකිනි. ඒ සතුටේ තරම් කෙසේද යත්....

ඇන්ටන් ජූඩ් සහෘදයා අපගේ ප්‍ර‍සංගයට සහභාගි වූයේ යන්නට එන්නට ප්‍ර‍වාහන පහසුකම් සලසනවා යන පොරොන්දුව මත වුවත්...ප්‍ර‍සංගයේ සාර්ථකත්වයෙන් ඔඳ වැඩී සිටි ඔහු 

මල්ලි රොඩ්නියට නම් කියන්න  යන්න එපා... මම ගෙවාගෙන ආපහු යන්නං. මට වාහනයක් විතරක් හොයලා දියං...ජූඩ් අයියාගේ මනුස්ස කම එබඳුය. ඒ වෙද්දී ප්‍රවේශපත්‍ර‍ ආදායම කලාකරුවන් දෙදෙනාගේ අයකිරීම් ආවරණයට, ශබ්ද පරිපාලනයට, ආලෝකකරණ රටාවන්ට අත්තිකාරමක් ගෙවීමට පමණක් ප්‍ර‍මාණවත් වූ වටපිටාවක ප්‍ර‍සංගයේ සංවිධායකයෙකු මා පත්ව සිටි අපහසුතාව සමහරක් විට ඔහුට දැනෙන්නට ඇත. 

මම වහා කුලී රථ සේවා සපයන ආයතනයක් අමතා ඇන්ටන් ජූඩ් කලාකරුවාට රත්මලානට යන්නට ඉතාම හොඳ තත්වයේ වාහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙමි.  මේ ඇමතුමෙන් පසු කුලී රථය පැමිණෙන්නට සිතුවාට වඩා කාලයක් ගත වූ හෙයින් එදින රාත්තිරයේ හෙන්රි ජයසේන මහතාගේ නිවසේ පවත්වන්නට නියමිතව තිබූ පැදුරු පාටිය පිළිබඳ ජූඩ් අයියා සිටියේ කුකුසකින් යුතුවය.

මොකද අනේ මෙච්චර වෙලා ගියේ මේ වාහනේ අරගෙන එන්න. මම රියදුරා ඇමතුවෙමි. කුලී රථ රියදුරා එහි පැමිණියේ අලුත්ම වෑන් රථයකිනි.

මේ හයර් එක එන්න හැම එකාම පොර කෑවා. අන්තිමේදි මම කොහොම හරි ගොඩ දාගත්තා. මම ඇන්ටන් මහත්තයගෙ හොඳම රසිකයෙක්. 

කලාකරුවන් මෙන්ම අපගේ හිතෛශීන්ද අපට සමුදී නිවෙස් බලා යන විටත් මමත් චමියාත් ප්‍ර‍සංගයේ බර කරට ගෙන නිදි වර්ජිතව ගත කල අවසන් රාත්‍රී කීපයක අරුමය විඳිමින් සිටියෙමු. සාර්ථකව අවසන් වූ ප්‍ර‍සංගය අපගේ සියලු ශාරීරික අපහසුතාවයන් පහ කරන්නට ලැබුන ඔසුවක්ම වූවේය.



මම කාමරේ වෙසෙන සිරා කොලුවා.


ප.ලි

2017 නව වසර එළඹෙන්නට විනාඩි ගනනක් තිබියදී, 2016 වසරේ අවසන් ලියමනට මෙසේ තිත තබමි. එළඹෙන නව වසර ඔබ සැමට යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත එකක් වේවා !

අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය විසින් දිඹුලාගල කන්දේගම ග්‍රාමයේදී පවත්වන්නට සූදානමින් සිටින සමාජ සත්කාර වැඩ සටහනට ඔබේ දායකත්වය ලබා දෙන්නට තවමත් කාලය තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර බ්ලොග් අඩවියේ දකුණු පස ඉහළින් තිබෙන අරුණළු ලාංඡනයට කෙටීමෙන් ලබා ගත හැක.




Thursday, December 15, 2016

47 දිඹුලාගල දෙසට හැරෙමු !

උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දිඹුලාගල පුරවරය ඉතාම ඈත ඉතිහාසයකට නෑකම් කියන ඓතිහාසික පුරවරයකි. විජයාගමනයට පෙර මේ ප්‍රදේශයේ විසූවෝ යක්ෂ හා නාග ගෝත්‍ර‍ වලට අයත් වූ බැව් පුරවිද්‍යාව පිළිබඳ කරුණු ගෙන හැර බලන විට දැනගන්නට ලැබේ. මේ කියන ඉතිහාසයේදී යක්ෂපුරය ලෙස වර්තමාන දිඹුලාගල පෙදෙස හඳුන්වා දී ඇත. විජය කුමරුන් ලක් දිවට පැමිණෙන සමයේ මහාසේන නම් ප්‍රාදේශීයව බලවත් යක්ෂ ගෝත්‍රික රජතුමෙක් යක්ෂපුරයේ විසූ බවට මුඛ පරම්පරාගතව පැමිණෙන කථා පුවත් රැසකි.

විජය රජතුමාගේ ආගමනයෙන් පසු , ලංකාවේ රජ බවට පත් සය වැන්නා වූ පණ්ඩුකාභය රජතුමා ආර්යයන් සහ ස්වදේශිකයන් අතර වූ ගැටුම් සමනය කරමින් සමස්ත දිවයිනම එක්සේසත් කල පළමු රජතුමාය. එතුමාගේ රාජ්‍ය කාලය වසර 70 කි. පණ්ඩුකාභය කුමරා සහ ඔහුගේ මාමා වරුන් අතර පැවති ඝට්ටනය ඉතාම ප්‍ර‍සිද්ධ කථාවකි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙහිදී කියන්නට මම රිසි නොවෙමි.

පණ්ඩුකාභය කුමරාගේ (ක්‍රි.පූ 437 - 367) මාමාවරුන්ගෙන් කෙනෙකු වන ගිරිඛණ්ඩසිව කුමාරයාගේ දියණිය වන පාලි කුමරිය දිනක් තම පියාණන් ගොයම් කප්පවමින් සිටි කෙතට බත ගෙනයමින් සිටියාය. එදිනම මේ ගම්මානයට පැමිණි පණ්ඩුකාභය කුමරා සහ පිරිවර මේ කුමරිය බත් ගෙනයමින් සිටින අන්දම දැක ඇගෙන් ආහාරය පිණිස බත් ඉල්ලා සිටියේලු. කුමරිය අසල නුග ගසකින් කඩා ගත් නුග පත් වලට බත් බෙදා සියල්ලන්ටම පිළිගැන්වූ බවත් සැනෙකින් ඒ පත්‍ර‍ රත්රන් පැහැයෙන් දිස් වූ බවත් ඒ නිසාවෙන්ම පාලි කුමරිය ස්වර්ණපාලි යනුවෙන් ප්‍ර‍සිද්ධ වූ බවත් අපේ ඉතිහාස පොතේ සඳහන් වී තිබේ.

බත සප්පායම් වී මේ කුමරියත් රැගෙන දිඹුලාගල පෙදෙසට පලා ආ පණ්ඩුකාභය කුමරා හට ඇගේ පියාගේ සේනාවෙන් එල්ල වූ ප්‍ර‍තිරෝධය වර්තමාන පරාක්‍ර‍ම සමුද්‍රයේ කෙළවරට වන්නට පිහිටා තිබෙන කළහගල නම් ස්ථානයේදී පරාජයට පත් කල පසු මේ දෙපල නිරුපද්‍රිතව දිඹුලාගලට පැමිණ දිඹුලාගල කන්දේ පිහිටි ගල්ලෙනක් ආශ්‍රිතව සේනා රැස්කරමින් රාජ්‍යත්වයට පත්වන තුරු ජීවත් වූ බවත් එහිදී මුටසීව නමින් පුත් කුමරෙකු උපන් බවත් ඉතිහාසය පිළිබඳ සටහන් වී ඇති ඇතැම් තැනක විස්තර වෙයි.

මුටසීව යනු ක්‍රි.පූ 247 දී ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන විට රජකම් කරමින් සිටි දේවානම් පියතිස්ස රජතුමාගේ පියාණන්ය. මේ සියලු කථා පුවත් ගෙනහැර බලන විට දිඹුලාගල යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් සඳහන් වූ පුරවරයක් බැව් පැහැදිලි වන අතර අපේ ආදිතම මුතුන් මිත්තන් මේ පෙදෙසේ ජිවත් වන බවට සැකයක් නැත.

අතීතයෙන් වර්තමානයට පැමිණි විට දිඹුලාගල යන නාමය සවනත වැකෙන සෑම විටෙකම අපවත් වී වදාළ කිතලගම සීලාලංකාර මහ නාහිමියන් පිළිබඳ මතකය අමතක කරන්නට නොහැක. අඩු ආදායම් ලාභී ජනතාවක් වෙසෙන, දරිද්‍ර‍තාවයෙන් මෙන්ම ත්‍ර‍ස්තවාදයෙන්ද ඇති පදම් බැට කෑ මේ ප්‍රදේශවාසීන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙමින් වැඩ වාසය කල, දිඹුලාගල මහ වැද්දා යනුවෙන් සුරතල් නම් ලද උන් වහන්සේ පා ගමනින් ගම් නියම් ගම් පසු කර යමින් මේ ප්‍රදේශයට ඉටු කරන ලද කාර්යභාරය ඉමහත්ය.

අපවත් වී වදාළ, දිඹුලාගල ආරාණ්‍යධිපති කිතලගම සීලාලංකාර නා හිමියන්

”සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, පොල්කටු නිකාය, බඩකඩුත්තු නිකාය, මේ අමන වචනවලට මම කැමැති නෑ මහත්තයෝ. බුදුහාමුදුරුවෝ අපට ඉගැන්නුවෙ පොදු ක‍්‍රමයක්. සාංඝික ක‍්‍රමයක්. මේ උතුම් ඉගැන්වීමට හින්දුකාරයින්ගෙ කුලභේද අර නිකායවලින් තහවුරු කරනවා. බුදුහාමුදුරුවන්ගෙ ඉගැන්වීමට අර වචන කොයිතරම් විරුද්ධද? මේක බුද්ධාගම වෙන්න බැහැ. අපේ කොල්ලො මේව දැනගෙන තමයි පංසලට නොඑන්නෙ. මම කිසිම කෙනෙකුට මහණ වෙන්න කියලා නැහැ. කියන්නෙත් නැහැ. ආවොත් මහණ කරනවා. ලැබෙන මුදල්වලින් ආරාම පන්සල් හදනවා. ඉතිරිවා නිකාය බේදයකින් තොරව දනට දෙනවා. සතයක්වත් බැංකුවල දාන්නෙ නැහැ. මගේ ක‍්‍රමේ තමයි  ඕක. ඒක හරිද අපේ මහත්තයෝ” 

සීලාලංකාර නාහිමියන් එසේ පැවසූවේ 1982 ජූනි මස 7 වැනිදා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි එවකට රටේ ප්‍ර‍ථම පුරවැසියා වූ ලංකාවේ ප්‍ර‍ථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ආමන්ත්‍ර‍ණය කරමිනි. නැගෙනහිර පළාතේ සිංහල පවුල් 45000 ක් පදිංචි කරමින්, ආරාම 40 ක් පමණ ඉඳිකරමින් 1980 වන විට උන් වහන්සේ කුලදරුවන් 265 ක් පමණ සසුන්ගත කරමින් මේ කර්කශ භූමියේ මහා පව්රක් පරිද්දෙන් වැඩ සිටි සේක. පසුකළෙක මේ පවුර නොසෙල්වා ඊළාම් සිහිනය ජයගත නොහැකි බැව් තේරුම්ගත් එල් ටී ටී ඊ ත්‍ර‍ස්තයින් විසින් එල්ල කල හිත් පිත් නැති වෙඩි වරුසාවකට මැදිව 1995 මැයි 26 වැනි දින උන්වහන්සේ අපවත් වූයේ තම ශිෂ්‍ය හිමිවරුන්ගේ දිවා ආහාරයට උවමනා එළවළු රැගෙන එන්නට කොරටුවට වැඩම කර එන අතරතුරයි.

දිඹුලාගල පුරවරය එකළු කල  සීලාලංකාර හිමියන්ගේ අපවත් වීමෙන් පසු අප දැන් වසර 21 ක් පසුකොට තිබේ. ඒ අතර තුර කාලයේ ඒ පෙදෙසේ මෙන්ම සමස්ත රටේ ඇති වී ඇත්තේද විශාල විපර්යාසයකි. වර්තමාන ආණ්ඩුව පෙළ පොත් වෙනුවට පාසල් දරුවන්ට ටැබ් පරිගණක බෙදා දෙන්නට කොළඹ සීත කාමර වල සිට සැළසුම් සකස් කරන වකවානුවක ක්‍රීඩා භාණ්ඩයක් හෝ සංගීත උපකරණයක් මෙන්ම සංගීත ගුරුවරයකුද නොමැති පාසලක් පිළිබඳව අසන්නට ලැබුනේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ කන්දේගම ග්‍රාමයෙනි. මෙතෙක් මා තැබූ සටහන දැන් කියන්නට යන ඒ කථාව වෙනුවෙන් වූ පූර්විකාවකි.

අසරණ ඉස්කෝලයක් තියෙනවා දිඹුලාගල ඇතුලට වෙන්න. ඒකෙ ඉන්න මම දන්න උපාධිදාරී ගුරුවරයෙක් තමන්ගෙ පඩියෙන් භාගයක් විතර ඉස්කෝලෙටම වියදම් කරනවා ළමයින්ගෙ උවමනා වෙනුවෙන්. උඹට යමක් කරන්න හැකි නම් කියලා වැඩක් නෑ මල්ලි. සවුදියේ ඉන්දික අයියා මා වෙත ඔත්තුව දුන්නා පමණක් නොව අදාළ ගුරු භවතා සම්බන්ධ කරගත හැකි අංකයක් ලබා දෙන්නටද කාරුණීක වූවේය.

මම කල්යල් නොයවා ඔහු ඇමතුවෙමි. කථාව සහසුද්දෙන්ම ඇත්තකි. පාසලේ ක්‍රීඩා උත්සවයක් තියා ක්‍රීඩා භාණ්ඩද නැත. අපිට වොලිබෝල් දැලක් තියෙනවා...ඒ උනාට වොලි බෝලයක් නෑ. මෙහෙව් රටක පාලකයන් දිය යුතු දේ වෙනුවට ලබා දෙන්නට දත කන දෑ දෙස බැලූ විට සිනාසෙන්නද අඩන්නද කියා සිතාගන්නට අපහසුය.

අපේ ඉස්කෝලෙ කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය තමයි උතුරු මැද පළාතෙ අන්තිම කෙළවරේ තියෙන ඉස්කෝලෙ. ඒ නිසාම මේ තියෙන අඩුපාඩු බාහිර ලෝකෙට විවර වෙන්නෙ ඉතාම කලාතුරකින්. අපේ ඉස්කෝලෙ අසරණ දරුවන් වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නම්, එයාලගෙ අඩුපාඩු නැති කරගන්න දායක වෙන්න පුලුවන් නම් ඒක වචනයෙන් කියන්න බැරි තරමේ උදව්වක්.

තම වැටුපෙන් වැඩි කොටසක් මේ දරු දැරියන් වෙනුවෙන්ම වැය කරමින් පාසලේම ඇති අඩු පහසුකම් සහිත ගුරු නිවාසයක නැවතී සිටිමින් උදාර මෙහෙවරක යෙදෙන ගුත්තිල පරපුරට ආභරණයක් බඳු  මහේෂ් නැමති මේ තරුණ ගුරුභවතා මාගෙන් ලද පළමු ඇමතුමේදීම මා හට සැල කර  සිටියේ සංවේදී කටහඬිනි.

ගුරු කමට  සැබෑ අරුතක් එක් කල මහේෂ් ගුරුතුමා



සංගීතය ඉගෙනුම පිණිස ඇත්තේ තාල වාද්‍ය භාණ්ඩ කීපයක් පමණි.




අපේ ඉස්කෝලෙ දරුවන්ගෙ දෙමාපියන්ට ලොකු ලොකු රස්සා නෑ...හේන් ගොවිතැන, වැවේ මාළු අල්ලන එක නැත්තං වෙනත් පුංචි පුංචි ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙලා තමයි මේ දරුවන්ව පාසල් එවන්නෙ. මේ තියෙන ආර්ථික ගැටලු වලට අමතරව සාමාජයීය වශයෙනුත් ප්‍ර‍ශ්න තියෙනවා. ගොඩාක් පවුල් වල අම්මා තාත්තා එකට පවුල් කන්නෙ නෑ. සමහර අම්මලා, සමහර තාත්තලා මේ දරුවන්ගෙන් වෙන් වෙලා වෙන වෙන පවුල් කනවා. ගැහැණු දරුවො ඉක්මනින් අධ්‍යාපනයෙන් බැහැර වෙනවා. ඊට පස්සෙ අඩු වයසෙන් කසාද බඳිනවා. ඊට පස්සෙ දරුවන්ගෙ ප්‍ර‍ශ්න, ආර්ථික ප්‍ර‍ශ්න..එකම චක්‍ර‍යක මේ හැමෝම හැමදාම කැරකෙන්නෙ. අපිට පුලුවන් නම් එක දරුවෙක් හරි අධ්‍යාපනය පැත්තෙන් උඩට යවන්න එයා යම් දවසක මේ චක්‍රයෙන් මිදිලා ජීවත් වෙයි.

මේ කථා බහෙන් මට දැනුන සංවේදී කථාන්දරය තවත් සහෝදර බ්ලොග්කරුවන් / කාරියන් කීප දෙනෙකුටම කියන්න අවස්ථාව ලැබුනට පස්සෙ අපි හැමෝම කථා උනේ මේ සඳහාම පිහිටුවාගන්නා නැවුම් සංගමයක නමින් මේ සත්කාරය සිදු කරලා, එතැනින් පස්සෙ වර්ෂයකට එක බැගින් දිගටම මෙවැනි දුර ඈත පාසල් වෙත උපකාර කල යුතුයි කියලා.

මේ නැවුම් එකමුතුවට නමක්, බැංකු ගිණුම් අංකයක්, මේ හැමදේම සූජානම් උනේ බොහොම කෙටි කලෙකින්, මේ කාර්යයට දායක වෙලා ඉන්න බ්ලොග් කරුවන් කාරියන්ගෙන් ලැබුනෙ ඉතාම උණුසුම් ප්‍ර‍තිචාරයක්. ඒ ප්‍ර‍තිචාරය එක්ක වරින් වර මහේෂ් ගුරුතුමා එක්ක කරපු කථා බහෙන් ඒ අයට උවමනා මොනවාද කියන ගැටලුවට පිළිතුර එයාලටම දෙන්න කියලා අපි කිව්වා. පහළින් පලකොට තිබෙන්නේ ඔවුන් අපට එවන ලද ලැයිස්තුව.

මම මේ ඉස්කෝලෙට ඇවිත් වැඩි කාලයක් නෑ. මම ආවෙත් ප්‍රාථමික අංශයට, ක්‍රීඩාව ගැන මේ දරුවන්ට යමක් කියාදෙන්න කෙනෙක් නැති නිසා මම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් උනා. අපි හැදුවා ගමේ සම්පත් එකතුකරගෙන මේ පරිසරයෙදි ලේසියෙන්ම කරන්න පුලුවන් ක්‍රීඩාවක් විදියට එල්ලේ කණ්ඩායමක්. තරග වලදි හොඳ දුරක් ගියා එයාලා. මේ දරුවන්ට ආත්ම ශක්තිය තියෙනවා, ඇගේ හයිය තියෙනවා...ඒත් ඒ අයට උවමනා සම්පත් නෑ. අඩු ගානෙ ක්‍රීඩාවට ගැලපෙන සපත්තු ජෝඩුවක් අරගෙන දෙන්න වත්කමක් එයාලගෙ දෙමාපියන්ට නෑ. මේ පිට්ටනියෙ ගල් බොරළු වලට කකුල් කපාගෙන ලේ පෙරෙද්දිත් ඒවා අමතක කරලා මේ දරුවො ක්‍රීඩාවෙ නිරත වෙන්නෙ ඒ හිත්වල හිරවෙලා තියෙන ආත්ම ශක්තිය හින්දයි, ක්‍රීඩාවට තියෙන ආශාවයි නිසා.

මේ දරුවන් සතු එකම ක්‍රීඩා උපකරණය

ගායනයට දක්ෂ දරුවො ඉන්නවා. ඒත් පාසලට සංගීත බඩු වගේම සංගීත ගුරුවරයෙකුත් නැති හින්දා ඒ දරුවො චිත්‍ර‍ හරි නැටුම් හරි ඉගෙන ගන්නවා. සමහර වෙලාවට සමහර දරුවො මේ විෂයන් දෙකටම දක්ෂ නෑ. ඒත් සංගීතයට දක්ෂයි. මොනවා කරන්නද...එහෙම දරුවන්ට සංගීතය ඉගෙනගන්න මේ පාසලේදි අවස්ථාවක් නෑ. මහත්තයලා ඉස්කෝලෙ යද්දි ලැබුන අත්දැකීම් වලින් භාගයක් මේ අහිංසක දරුවන්ට ලැබෙන්නෙ නෑ. ලංකාවෙ පාසල් අධ්‍යාපනයෙ මේ තියෙන වෙනස නැති වෙන දවසක් නම් පේන තෙක් මානෙක නෑ. මහේෂ් ගුරුතුමා තවත් දවසක එහෙම කිව්වා.

මම සේවය කරන ප්‍රාථමික අංශයේ දරුවො බහුතරයක් සතියකට දවස් දෙකක් පාසලින් වේලාසන යනවා මොකක් හරි අසනීපයකට, හමේ රෝග, උදරාබාධ වගේ දේවල් ඉතාම බහුලයි. සමහර දරුවන්ට මන්ද පෝෂණ තත්වයන් පවා තියෙනවා. පොදුවෙ ගත්තම මේ ගම්මානෙ බොහෝ පිරිසකට වකුගඩු සම්බන්ධ රෝගාබාධ ඇතිවෙලා තියෙන්නෙ පානීය ජලයෙ තියෙන අඩුපාඩු නිසා. කොළඹ ඩී . එස් සේනානායක විද්‍යාලයේ පිරිසක් දැන් මාසයකට විතර කලියෙන් වතුර ෆිල්ටරයක් පාසලට ලබා දුන්නා. ඒ සත්කාර්යයට කලියෙන් අපේ පාසලේ දරුවො පිපාසයට වතුර බිව්වෙ සාමාන්‍ය නළ ජලය. මේ දරුවන්ගෙ දෙමාපියන්ටත් ඒ අයට උවමනා ප්‍ර‍තිකාර පුද්ගලිකව කරන්න තරමේ වත්කමක් නෑ. පාසලේ ඉදන් ලගින්ම තියෙන අරංගාවිල රජයේ රෝහලටත් කිලෝමීටර් 20 ක විතර දුරක් තියෙනවා.


විදුහලේ අඩුපාඩු මහේෂ් ගුරුතුමාගේ හඬින් 

එහෙනම් අපි ආධාර බෙදා දෙන දවසට වෛද්‍ය කඳවුරකුත් පවත්වමු. දරුවන්ට වගේම ඒ අයගෙ දෙමාපියන්ටත්. මේ පණිවිඩය අපේ හිතවත් වෛද්‍ය මිත්‍ර‍යන්ට දැනුම් දුන්නම ඒ අය ඉතාම සතුටින් මේ සත් කාර්යයට දායක වෙන්න කැමති උනා.

අලුත් දවසක උදාව සනිටුහන් කරමින් පොළොවට මුලින්ම වැටෙන ආලෝක තීරු වලට කියන්නෙ අරුණළු කියලා. මේ අරුණළු දිහා බලාගෙන මිනිස්සු අලුතින් උදාවෙන දවස ගැන විවිධ ප්‍රාර්ථනා කරනවා. අද දවස ඉතාම සාර්ථක එකක් වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා. අන්න ඒ වගේ  බ්ලොග් කරුවන් / කාරියන් කීප දෙනෙක් එක්ක අපි පටන් ගත්ත අලුත් එකමුතුවට යෙදුව නමත් අරුණළු.

අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය, ඒක තමයි අපේ නම. මේ අරුණැල්ල දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගෙ අනාගතයට නිසැකවම එළියක් වේවි. ඒ එළියේ කොටස් කරුවෙක් වෙන්න....ඒ අයගෙ හීන පාට කරන්න ලස්සන ලස්සන පාට දෙන්න මේ ලිපිය කියවන ඔබ හැමෝටම හැකියි. අපේ මේ සත්කාර්යය ගැන දැනගන්න ලැබුන මුහුණු ටීවී ආයතනය මේ වෑයම වෙනුවෙන් මාධ්‍ය අනුග්‍ර‍හය දෙන්නත් එකතු වෙලා අහවරයි.



අපේ ගිණුමට ලැබෙන රුපියලක මුදලක් වුවත් මේ අසරණ දරුවන්ගෙ බලාපොරොත්තු ඉහළ නංවාවි. නොයෙක් බාධක කම්කටොළු මැද සිදුකෙරෙන එයාලගෙ ඉස්කෝලෙ ගමනට දහස්වර ශක්තියක් වේවි. සිරා කොලුවා විදියට මම පොරොන්දු වෙනවා ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරලා මේ ගිණුමට බැර කරන මුදල විනිවිද භාවයක් ඇතුව මේ කාර්යය උදෙසා එකතු කරන බවට...ඉදිරියේදී වෙනත් බ්ලොග් කරුවන් විසින් පලකරන දිඹුලාගල සත්කාර්යය පිළිබඳ තවත් ලිපි වලදි ගිණුමේ ශේෂය පිළිබඳ ආධාර ලබාදෙන ඇත්තන්ව යාවත්කාලීන කරාවි. මේ පාසලේ තවත් බොහෝ තොරතුරු ඔබට ගෙන ඒවි.

2017 වසරේ පෙබරවාරි මස සති අන්තයකදී මේ සියළුම ආධාරයන් කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය වෙත තිළිණ කරන්නයි අපි හැමෝම මේ වෙද්දි තීරණය කරලා තියෙන්නෙ. ආධාර වලට අමතරව මේ පුංචි ඇත්තො පුදුමයට පත් කරන්න තවත් වටිනා කියන දේවල් කීපයක්ම මේ එක්ක ලෑස්ති කරන්නයි අපේ වෑයම.

මුදලින් කැමති නම් මුදලින් ආධාර කරන්න. එහෙම නැතිනම් ඒ අය ඉල්ලලා තියෙන දේවල් අරගෙන දෙන්න පුලුවන් නම් එහෙම ආධාර කලත් කමක් නෑ. මේ තියෙන්නෙ එයාලා අපෙන් ඉල්ලන දේවල් කිසිදු වෙනස්කමක් කරන්නෙ නැතුව.





පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ඒ ඒ වසර අනුව


මේ තියෙන්නෙ අපේ ගිණුම් විස්තර. මේ ගිණුම් අංකයට ඔබේ වටිනා ආධාර ලබා දෙන්න පුලුවන්. ද්‍ර‍ව්‍යමය ආධාරයක් ලබාදෙනවා නම් ඒ පිළිබඳ සම්බන්ධීකරණය සඳහා 071 804 3915 දුරකථන අංකය අමතන්න.

Account Name : Arunalu Manushathwaye Sathkaraya
Account No      : 121261002661
Bank                 : Sampath Bank, Gampaha Super Branch


අදුරට ශාප කරමින් ඉන්නවාට වඩා එක් පහනක් හෝ දැල්වීම මැනවි යන අදහසේ සිටිමින් අප විසින් අරඹන මේ සත්කාරයේ අරමුණු ශපථ කරගන්නට අපට හැකියාව ලැබේවා. ඔබේ හැකියාව අනුව මේ කාර්යය වෙනුවෙන් වැඩි වැඩියෙන් ආධාර එකතු කරන්නට ඔබ සැමට පින් සිත් පහළ වේවා ! අපේ ආධාරයෙන් විකසිත වන මේ සිසු දරුවන්ගේ බලාපොරාත්තු ඔවුන්ගේ අනාගතය යහපත් ඉසව්වකට ගෙන යන්නට උපකාර වේවා ! 

හිතවත් බ්ලොග්කරුවනි. අරුණළු ලාංඡනය ඔබේ බ්ලොග් අඩවියේ ප්‍ර‍දර්ශනය කොට මේ සත්කාර්යයට ඔබේ සහයෝගයත් ලබා දෙන්න. 



මම කාමරේ අරින සිරා කොලුවා.




පසු සටහන

සීලාලංකාර හිමි පිළිබඳ ඇතැම් විස්තර උපුටා ගත්තේ රවී ප්‍ර‍සාද් හේරත් විසින් ලියූ JR.The Mafia Type Free Thinker නැමති කෘතියෙනි. එහිමියන් පිළිබඳ ඡායාරූපය පී.බී ඉලංගසිංහයන් විසින් ගත් එකකි.

බ්ලොග්කරුවන් ලෙස අප සතු සාමාජීය වගකීම නිසි ලෙස හඳුනාගනිමින් මේ සත්කාර්යය දියත් කරන බැව් සැළකුව මැනවි.
Related Posts Plugin for WordPress, Blogger...