Tuesday, January 12, 2016

71 සයිමන්ට හූ කියූ රවියා සහ අයුතු ජනරාශිය

ඊයෙ පෙරේදා දවසක ඇඹිලිපිටියේ සිදු වූ ඛේදවාචකයෙන් පසු ලංකාවේ සාමාන්‍ය ජන සමාජය තුල වේගයෙන් පැතිරෙන නවතම වචනය අයුතු ජන රාශියයි. පොලෝසිය අත වරද තිබුනත් ඉහළින් ලැබෙන අණ පරිදි තමන්ගේ සහෝදර නිළධාරීන් වෙනුවෙන් සුදු හුණු ගාන්නට යන පොලෝසියේ මාධ්‍ය ප්‍රකාශක උතුමා ඔහුට කලින් රාජකාරි කොල උත්තමයා මෙන්ම විහිළුවක් බවට පත් වී ඇති ආකාරය දෙස සංවේගප්‍රාප්තව නෙත් යොමු කරමින් මේ ලියවිල්ල අරඹමි.

මෙවැනි ක්‍රියාකාරකමක් හමුවේ පොලෝසියේ නම ගෑවුනේ පළමු වතාවට නම් නොවේ. ඉතාමත් අවංකව, රාජකාරිය දේවකාරියක් ලෙස සළකා ඉටු කරනා පොලිස් නිලධාරීන් බහුතරයක් සිටින සිරිලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සුළු තරයක් මී හරකුන් නිසා සමස්ත දෙපාර්තමේන්තුවේම කීර්තිනාමයට කැළැලක් ඇති වීම සාමාන්‍ය පුරවැසියන් ලෙස අප නිතර නිතර අත් දැක තිබේ. වර්තමානයේ සන්නිවේදන ක්ෂේත්‍ර තුල ඇති වී තිබෙන දියුණුවත්, කැමරා සහිත ජංගම දුරකථන ඉතාම සුලභ වීමත්, සමාජ ජාල වටා සිටින බහුතර තරුණ පරපුරත් නිසාම අතීතයේ මෙන් නොමනා දෙයක් කොට සැඟවී සිටීම පහසු නැත. රූප මාධ්‍යයෙන් විදුලි වේගයෙන් පුවත් මවනා මෙවැනි සිදුවීමකට රටේ දැවෙන ප්‍රශ්න කෙටි කලකට හෝ අමතක කර දමන්නට ඇත්තේ කදිම හැකියාවකි.

අනිත් පැත්තෙන් සාමාන්‍ය ජනතාවට එක් නීතියකුත්, දේශපාලන රස්නය වැදුන අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක වීම හරහා නීතිය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම වැළැක්විය හැක්කක් නොවේ. ඇඹිලිපිටියේ තරුණයා උඩුමහළින් බිමට පැන්නා යයි නිර්භයව කියනා පොලෝසිය...ඇතැම් දේශපාලන චරිත වැරදි කර තිබුනත් අත්අඩංගුවට ගන්නට නීතිපති උපදෙස් පතන්නේ සෑහෙන කාලයක් ගත කරමිනි. මෙය තෙවන ලෝකයේ රටවල් බහුතරයක සරළ සාමාන්‍ය ක්‍රමවේදයයි. මෙවැනි ආකල්ප වලින් මිදෙනා තුරාවට අපට සංවර්ධනයේ දොරගුළු විවර කරගන්නට නොහැකි බව සිරා කොලුවා වන මගේ අක්මාවට මෙය ලියන අවස්ථාවේත් දැනෙයි.

අයුතු ජනරාශිය නිසා මේ දිනවල බඩට බත් නැති එකාගෙත් හිත කුතුහලයෙන් පිරිලාය. එළවළු වෙළඳ සැලේ මිළ ගනන් අහස උසට උවත් පාරිභෝගිකයාට වගේ ගණනක් නැත. කොන්දොස්තර මල්ලීගෙන් නොලැබුන ඉතිරි රුපියල ගැන වද වෙන්නෝ අල්පය. අයුතු ජනරාශිය එතරම් ප්‍රබල තැනකට පැමිණියේ ඉතාම කෙටි කලකිනි.

සිරා කොලුවාගේ ඉතිහාස පොත පෙරලා බැලූ විටෙක අයුතු ජන රාශිය නැමති අරුම පුුදුම චෝදනාව මම මෙන්ම මගේ මිත්තර කැළටත් ඇතැම් සිදුවීම් අරභයා එල්ල වෙන්නට ඉඩ තිබුනාදෝයි ඇඹිලිපිටිය සිදුවීම පසුබිමක තබා නිවී සැනසිල්ලේ සිතන විට සිතෙයි. එවැනි සිදුවීම් කීපයක් අද දවසේ මෙහි අකුරු කරමි.

උ/පෙ විභාගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරියක් සිරා කොලුවා විසින් සිදුකල බව කාමරයට යන එන අයට මතක ඇතුවාට සැක නැත. ඒ පිළිබඳ කථා කීපයක්ම මවිසින් අතීතයේ දවසක ලියා තිබේ.

මම දැන් කියනා සිදුවීම ඒ කාලයට අදාළ එකකි. අප එකල ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙත අළෙවි කරන ප්‍රවේශපත්‍ර වර්ගය අවසන් වූ විටෙක ප්‍රවේශ පත්‍ර අළෙවියෙන් එක් රැස් වූ මුදල් වල වගකීම රැගෙන හෝ..මුළු මුදලම අදාළ නිළධාරියෙකුට භාර කොට ක්‍රිකට් තරඟ නරඹන්නට එකතු වෙන්නට හැකියාව තිබුනි.

මා සමගම ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීමේ රාජකාරියේ යෙදී සිටි රවී ගොයියා එහෙම් පිටින්ම ක්‍රිකට් පිස්සෙකි. ලංකාවේ කණ්ඩායම තරඟයක් ජය ගන්නවා නම් රවියාට මුලු ලෝකයම දිනුවා වැනි තරම් සතුටක් දැනෙයි. ඒ වේලාවට ඒකාට ඉන්නා තැන කරනා දෙය පවා අමතක වෙයි.

දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති තරඟයකි. ලංකාව සහ ඔස්ට්‍රේලියාව කරට කර සටනකි. චමින්ද වාස්ගේ අවසන් පන්දු වාරයට ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 7 කි. මයිකල් බෙවන් සමග සයිමන් අයියා පිත්ත හසුරුවයි. එහෙත් කැන්ගරුවන් පරදා සිරි ලංකාව එදා ලැබූවේ කලකට අමතක නොවන අති විශිෂ්ඨ වර්ගයේ ජයග්‍රහණයකි.

ලංකාව පරදිනු ඇතැයි සිතා ශෝකයෙන් විලම්භීත වී තිබූ රවියාගේ මුහුණට ජයග්‍රහණයෙන් පසු අලෝකයේ රැස් වැටී තිබේ. ඒකාට උන්හිටිතැන් අමතකය. පරාජයට පත් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනා යලි ක්‍රීඩාගාරයට යා යුත්තේ අප සිටිනා ස්ථානය අසලිනි.

බිම බලාගත් වනම පොඩි ළමයින් දෙදෙනෙකු මෙන් පිතිකරුවන් දෙපළ නැවත ක්‍රීඩාගාරයට පියමං කරන අතරතුරේ අප පසු කරන්නට ආසන්න වූවා පමණි. සිරිලංකාවේ ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටි රවියා අප සිටි තැන සිට පහතට ඔලුව යොමුකොට ඇන්ඩෘ සයිමන් (Andrew Symond)  නැමති ක්‍රීඩකයාගේ මුහුණ ආසන්නයේම සිට  දරුණු හූ හඬක් කීප වතාවක් නැගුවේය. සයිමන් රවියා දෙසට හෙලුවේ, ඔස්ට්‍රේලියාවට වරෙන්කො දෙන්නං උඹට වැනි බැල්මකි.

සයිමන් අයියා

මේ හූ හඬ නිසා කුපිත වූ ඒ ආසන්න පෙදෙසේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළදරුවෝ දඬයමකට එළඹෙන සිංහ පෝතකයින් මෙන් රවියාගේ බෙල්ල බදාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ඒකා වෙතට පැන්නෝය.

රවියා දැන් බෙහෙවින් අසරණ වී සිටියි. වටේ පිටාවේ ඉන්නා ප්‍රේක්ශක ජනතාවද දෑස් අයාගෙන රවියා දෙස බලා සිටිති. ප්‍රථමයෙන් පැමිණි පොලිස් නිලධාරියා රවියා වෙත එල්ල කල කම්මුල් පහර ඒකාට නොවැදුනේ හිස පැත්තට හැරවූ නිසාය. 

තෝ කාටද යකෝ හූ කිව්වෙ....

පොලෝසියේ ඇත්තෝ ඉතාම ආදරයෙන් රවියා වඩාගන්නට පොර කති. මා සමග පැමිණි එකා තනිකර පලායන්නට මට හිතක් නැත. ඒ නිසාම මේ අටමගලය මැද්දට මමද පැන්නෙමි.

අනේ සෑර් මගෙ යාලුවට සමාව දෙන්න. මූ තනිකර ක්‍රිකට් පිස්සෙක්...ගම්පහ ඉදන් දඹුල්ලට ආවෙ මේක බලලා යන්න. මම ඔවුන්ගෙන් අයැද සිටියෙමි.

මූ මහ හරකෙක්...අර මිනිහගෙ කනට කරලා මූ හූ කිව්වෙ. ඒ යකා ගිහින් කම්ප්ලෙන් කලාට පස්සෙ මේ වීඩියෝ එක බැලුවොත් මේ පොයින්ට් එකේ ඩියුටි කරපු අපි ඔක්කොම ගස්...මට දෙන්න හිතෙනවා මූට....

පොලිස් රාළහාමිගේ මිට මෙළවූ අත වක ගැසී රවියාගේ සුදු කම්මුල් සිප ගන්නටම වෙර දරයි. ඒ අතර තුර කාලයේ මගේ අඛණ්ඩ දුක්ගැනවිල්ල නිසාම ඒ ඇත්තන්ගේ හදවත උණු වී ගිය සෙයකි.

හරි මල්ලි උඹ කියන නිසා මූව අත ඇරලා දානවා..ඒත් මේකාට කියන්න අනිත් දවසෙ මෙහෙම වැඩක් කලොත් අද වගේ ලේසි වෙන්නෙ නෑ කියලා...අරිද....

එදා යන්තමින් පොලෝසියෙන් රවියා බේරාගත්තේ වටා පිටාවේ අති මහත් ප්‍රේක්ෂක සමූහයක් සිටි නිසාම විය යුතුය. වර්තමානයේ වගේ කාලයක නම් රවියාත් මමත් අප අසල සිටි තවත් පිරිසකුත් අයුතු ජන රාශියකට අයත්ව එළොව බලා යන්නට හෝ අතපය ඒවායේ සන්ධි වලින් පන්නාගන්නට චෑන්ස් එක ලැබෙන්නට ඉඩ තිබුනි.

මේ තවත් දවසක කථාවකි. එක් වැසි සහිත රාත්‍රියක ගම්පහ නගරයේදී මධුවිතක් තොලගා අප මිත්‍ර කෂ්ඨාගේ CT 100 යතුරු පැදිය මතට මමත් නඟා කොලුවාත් පැටවුනේ නිවෙස් බලා පැමිණීමේ අරමුණිනි. රැකියාව අහවර කර සිරා කොලුවාත්, නඟාත් දුම්රියෙන් ගම්පහට පැමිණියෙන් කෂ්ඨා බයිසිමොටෝවෙන් තනියම නිවසින් පිට වී තිබුනි. බයිසිමොටෝව පණ ගන්වා මඳක් ඉදිරියට ධාවනය කලා පමණි. පොලිස් පරීක්ෂක උතුමෙක් හදිසියේ එහි ප්‍රාතූර්භූත වූ පොලිස් ජිප් රථයකින් බැස අප කරා ආවේ විදුලි වේගයකිනි. මඳ අඳුර සහිත වැසි පොද යට වුවත් එතුමාගේ උරහිසේ වූ තරු දෙක මට අද මෙන් මතකය.

මේක බයිසිකලයක්ද ත්‍රී වීල් එකක්ද අයිසෙ ? කී දෙනෙක් මේකෙ නැගලද ? ඔහු ඇගිලි දිගු කර මුලු මගීන් ගනන 3 ක් ලෙස තීන්දු කළේය. කෂ්ඨා තමන්ගේ ශ්‍රී මුඛයෙන් වෑහෙන අරක්කු ගඳ නොදැනෙන්නට බොහොම සංයමයෙන් පොලිස් පරීක්ෂක උතුමාගෙන් මුඛය දුරස් කරගෙන පිළිතුරු දෙයි.

සෑර් වැස්ස නිසා මේ යාලුවෙක්ව මේකට දාගත්තෙ....එයා අද කුඩේ ගෙනල්ලා නෑ ගොඩාක් දුර පයින් යන්න තියෙනවා.

කුඩේ නෑ කියලා බයිසිකලේ තුන්දෙනා ඩබල් දාලා ගියාම හරියනවද අයිසෙ...තමුසෙලා ගිහින් කොහෙහරි හැප්පිලා සැමන් උනාම අපිට තමයි ඒත් කරදරේ...නගිනවා බලන්න දැන් බයිසිකලේ මුලින්ම ආපු උන් දෙන්නා. 

මමත් කෂ්ඨාත් ඉක්මනින් බයිසිකලය මතට වීමු... නඟා කොලුවා දැන් පාරේ ඇවිදගෙන ගිය මගියෙකුගේ චරිතය රඟ දක්වයි.

ආ දැන් තමුන් දෙන්නා යන්න ගිය ගමන යනවා... ඉබ්බා වතුරට දමන්නට ඇසූ කල ඇන්නෑවේ කියූවාක් මෙන් අපි අපේ ගමන පිටත්වීමු. 

අනිත් දවසෙ මතක ඇතුව කුඩයක් අරගෙන එනවා පාරට බහිනකොට...

තරු දෙකේ සෑර් නඟාට ගෝරනාඩු කරනවා අපට ඇසුනේ යන්තමිනි. දඩයක් නොකා මෙවැනි අවස්ථාවකින් ගැලවෙන්නට ලැබුන චෑන්ස් එක ගැන සිතමින් අප අපේ නිවාස දෙසට දිවෙන මාර්ගයේ මඳ දුරක් පැමිණ නැවත නඟා බලන්නට ගියෙමු. ඒ වන විට පොලිස් ජිප් රිය එතැන නොතිබුන නිසා වැහි දියට සෘජුව නිරාවරණය වෙමින් මගියාගේ චරිතය රඟ පාමින් සිටි නඟා කොලුවා ගැන උපන් සානුකම්පාව නිසා ඒකාව නැවත පටවාගෙන තුන්දෙනා ඩබල් දමා නිවෙසට සැපත් වන්නට අපිට හැකි වූහ.

මේ තවත් රාත්‍රියක කථාවකි.

ගම්පහ මල්වත්ත ආසන්නයේ තැනක ඒ කාලයේ තිබූ වාහන ටින්කරින් වැඩපලක් මේ කියන දිනයේත් දිනයක අවසානය සනිටුහන් කරමින් නිහඬ වී තිබුනි. සේවක භාරකරුවන් නිවෙස් කරා ගොස් සිටි හෙයින් ඒ ස්ථානයට තනි රැක්කේ අඟ පසඟ අඩු වූ වාහන කීපයක් පමණකි.

එදා අපේ උන්ට ෆුල් කෝඩයක් ගැසූ දවසකි. එවන් දවසක මහත්වරුන් ලෙස නැටුම් තෙල් ඩිංගිත්තක් ඒ සඳහා වෙන්වූ තැනක සිට බොක්කට හලා ගන්නට අපට වරම් නැත. අමාරුවෙන් රුපියල දෙක එකතුකරගෙන ගන්නා ඖෂධ බෝතලය සහ ගම්පහ නයිට් කඩයකින් ගන්නා කොත්තුවකින් අපේ සාදය ඇරඹෙන්නේ මේ ගැරේජය වැනි අහළ පහල නිවෙස් නැති කුරා කූඹියෙකුට හෝ කරදරයක් නැති හුදෙකලා ස්ථානයකය.

වයිට් ලේබල් බෝතලයේ අඩිය පෑදෙන්න ඔන්න මෙන්න කියා තිබියදී පොලෝසියේ රාළහාමිලා 10 දෙනෙකු පමණ එහි පැමිණියේ බයිසිමොටෝ කීපයකිනි.

අඩ අඳුරේ සිටි අප වෙතට ඔවුන්ගේ අධි සැර විදුලි පන්දම් එල්ලවූයේ සැණකෙනි...

මොකද ඔතන කරන්නේ....උච්ච සප්තකය ආශ්‍රිත ස්වර කීපය මැද පරිසරයේ නිහඬතාව බිඳී ගියේය.

හංගන්නට කිසිම දෙයක් නැති නිසා හන්දියෙ ගෙදර පුෂ්පයා අපි මේ බොනවා යනුවෙන් ප්‍ර‍තිරාව නැගුවේය.

මුන් බොන්නේ මොනවාදැයි බලන්නට එතනට පැමිණි නිළදරුවන් විදුලි පන්දම් එළියෙන් බෝතලයේ ඉතිරිය කොපමණදැයි විමසා බැලුවෝය.

ඉන් අනතුරුව එකිනෙකාගෙන් තමන් නිරත වෙන ආර්ථික කාර්යයන් කුමක්දැයි පොලෝසියේ ඇත්තන් විමසීමට පටන් ගත්හ.

පුෂ්පයා වරලත් ගණකාධිකාරී ශිෂ්‍යයෙකි, නඟා කොලුවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. මම ගැෆික් කරුවෙකි. එතැන සිටි වනිගයාද සමාජයට වැඩදායී යමක නිතරව සිටි හෙයින් අප සිතුවාට වඩා තත්වය සාමකාමී විය.

බීලා බයිසිකල් පදින එක වැරදි වැඩක් කියලා දන්නවනෙ. ඉගෙන ගත්ත ළමයි නිසා කියන්නෙ..මේ ඉතිරියත් ඉක්මනින් බීලා..වෙරි වෙන්න කලින් ගෙදර යන්න...එසේ කියා පොලිස් ඇත්තන් අපට ඈතින් වූ ප්‍ර‍ධාන මාර්ගයේ බේබදු රියදුරන් වටලන ක්ෂණික මාර්ග බාධකයක් යෙදීය.

මා ඇතුලු බේබදු නඩය බෝතලයේ අඩිය පාදා, කොත්තුවේ අවසානය උදා කර බයිසිමොටෝ පණගන්වා මේ මාර්ග බාධකය මැදින්ම නිවෙස් කරා ගියේ පොලිස් මාමලාට සැලියුට් කිරීමෙන් අනතුරුවය.

ඇඹිලිපිටියේ වැනි තත්වයක් එදා එතැන තිබුනා නම්...අප සියලු දෙනා අයුතු ජනරාශියකට යටත් කොට පොලෝසියේ රැය පහන් කරවන්නට ඉඩ තිබුනි.

මේ ලියමනේ නොයෙක් තැන ඔබට හමුවූයේ ඇඹිලිපිටියේදී චෝදනාවට ලක් වූ පිරිසද ඇතුලත් සිරිලංකාවේ පොලෝසියයි. එහෙත් ඇඹිලිපිටියේ වැනි අත්දැකීම් අපි නොලැබුවේ අපට හමු වූ පොලිස් නිලධාරීන් සමාජය සමග ගණුදෙනුව හොඳින් කරන්නට දන්නා අයවලුන් නිසා විය යුතුය. එහෙත් මේ ගනුදෙනුව පිළිබඳ අල්ප මාත්‍ර‍ දැනුමක් ඇති පොලිස් ඇත්තන් සමාජයට අලුත් සිදුවීමක් නිර්මාණය කරනවා මෙන්ම වටිනා මිනිස් ජීවිතද ඩැහැ ගනිති. මෙවැනි සිදුවීම් යලි ඇතිවීම වැළැක්වීමට නම් පොලෝසියේ උන්දලාට උපදේශන වැඩමුළු පැවැත්වීම ඵලදායී වේ යැයි මට සිතේ.

මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ගිය වසරේ පෙබරවාරිය සිරාගේ කාමරය තුල සැමරුවේ බූට් මාසයක් යනුවෙනි. මෙවරද පෙබරවාරිය බූට් මාසයක් කරන්නට මම සිතා සිටිමි. දැනටම මා වෙත එක් කථාවක් ලැබී අහවරය. ඔබටත් ඔබේ හද පෙලූ ආදර කථාවක් වේ නම්, විරහව ඔබ හඳුනන්නේ නම්...සිරාගේ කාමරයට යන එන දහස් සංඛ්‍යාත පිරිස සමග ඒ කථාව බෙදාගන්නට කැමති නම් ඔබේ කථාව ඊයක් (E-mail) ලෙස සිරා කොලුවාට විදින්න. එය ඔබේ නම සහිතව මෙහි නිසැකවම පල වේවි.

Wednesday, January 6, 2016

96 කාමරේ දොර ආයෙමත් විවෘතයි.

සුභ 2016 වසරක් වේවා බොලා හැමෝටම...කාලෙකට පස්සෙ සිරා කොලුවා ආයෙමත් කාමරේ ලෑලි දොර විවර කොලා. කාමරේ පැත්ත පළාතෙ නෑවිත් හිටිය පහුගිය කාලය බොහොම කාර්ය බහුලයි. දැන් කියලා ඉතින් වෙනසක් නෑ. ඒත් ඉතින් දන්න නොදන්න ඇත්තො ආයෙමත් යමක් ඇදබාන්නෙ නැතෙයි අහලා සතියකට තුන හතරක් ඊ විදිනකොට මගේ හඳුන්පොත මෙලෙක් උනා. ඒ හින්දම අකුරු දෙක තුනක් හරි කොටලා මකුළුදැල් බැඳුන මගේ දුප්පත් කාමර කබල ආයෙමත් බොලා වෙනුවෙන් විවර කොරන්නයි මේ වෑයම.

ගෙඹි මස් ගැන දෙසාබෑව අන්තිම බ්ලොග් සටහන අමුණන කොට මැලේසියාවෙ හිටිය සිරා කොලුවා දැන් ඉන්නෙ සිරි ලංකාවෙ. මගේම කියලා පුංචි ව්‍යාපාරයක හිමිකාරයෙක් වෙලා. දැන් ඉතින් අණ දෙන්න බොසාලා නැති නිසා ලොකු නිදහසක් දැනුනත් හැමදේම තනිවම කළමණාකරණය කරගත යුතු නිසාම තමයි බොලව් මේ තරම් කාර්යබහුල උනේ.

ලෝක වෙළඳපලේ තෙල් මිළ දරුණු ලෙස පහළ යාම මැලේසියානු ආර්ථිකයට මරු පහරක් වෙලා තියෙන්නෙ. ඒ නිසාම පහුගිය අප්‍රියෙල් මාසයෙදි අලුතින් පනවපු 6% භාණ්ඩ හා සේවා බද්දෙන් පස්සෙ ඒ රටේ භාණ්ඩ සහ සේවා ගාස්තු ඉහළ ගියා. ඊට සරිලන විදියට අපේ වැටුප් පත්‍රිකාවත් ආදරණීය බොසා ඉහළ නංවාවි කියන පරම පිවිතුරු චේතනාවෙන් හැඩගැන්වී තිබුන අපේ මල් වගේ අහිංසක හිත් ඒ බලාපොරොත්තුව ඉටු නොවුන තැන යම් කළකිරීමකට පත් උනා.

ඒ අතරතුර කාලෙදිම තමයි සිරා කොලුවගෙ පිය තුමාගෙ පපුවෙ ආගන්තුක ගැස්මකුත් හට ගත්තෙ. නම් දරාපු විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් විවිධ පරීක්ෂණ අවසානයෙදි කිව්වෙ කොලෙස්ට්‍රෝල් මට්ටම ඩිංගිත්තක් වැඩි වෙලා තිබුනත් පපුව ඉතාම හොඳ තත්වයේ තිබෙන බවක්. එහෙත් තාත්තගෙ පපුවෙ ගැස්ම අඩු උනේම නෑ. වරින් වර මතු උනා.

අන්තිමේදි ජයවර්ධනපුර රෝහලේ නවත්වලා ප්‍ර‍තිකාර කලත්, පැය 24 ක්ම හෘදයේ රිද්මය හඳුනන නවීන යන්ත්‍රයක් සවිකර තිබුනත් තාත්තා චෝදනා කරන මේ පපුවෙ ගැස්ම නං අල්ලගන්නම බැරි උනා. කියන්න ලෙඩක් නැති නිසා ඒ ඇත්තො ලෙඩා ගෙදර එව්වා.

අන්තිමේදි මම උපකල්පනය කලේ මාස තිහකින් නොදුටු සිරා කොලුවා දුටුවොත් තාත්තගෙ අසනීප තත්වයේ වෙනසක් වේවි කියලා. එහෙමත් නැත්තං නවීන උපකරණ වලට හසු නොවන ඔහුගේ පපුවෙ ගැස්ම හුදු මානසික සිතිවිල්ලක් පමණක් කියලා.

ඔය කිව්ව කාරණා දෙක නිසාම මම තීරණය කලා මාස 30 ක මැලේසියානු ජීවිතයට තිත තියන්න...දෙමාපියන් සමග ජීවත්වෙන්න තියෙන කැමැත්ත නිසාම ලංකාවෙ ඉපයීම් මාර්ගයක් ආරම්භ කරන්න. වැටුපට වැඩ කරනවා වෙනුවට මගේම කියලා ව්‍යාපාරයකට අත ගහන්න. ඔන්න ඔය විදියට තමයි මේ ලියවිල්ල ලියන අවස්ථාව දක්වා කරුණු කාරණා සිද්ධ උනේ. සතුටට කාරණය තමයි තාත්තගෙ රෝගී තත්වය මේ වන විට සුවපත් වී තිබීම. මගේ ආගමනය නිසා ඔහුට ඇතිවුන චිත්ත ප්‍රීතියත් එයට ඉවහල් වෙන්න ඇති.

මාස 30 කට පස්සෙ ලංකාවට සම්ප්‍රාප්ත උන මට, ගුවන්තොටුපල ආපසු පැමිණීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කඩ සාප්පු කිසිම ලකයක් නැති වග, මත්පැන් බෝතල් තියෙන තැන ඒවා විකුනන්නට පමණට වඩා මේකප් දැමූ නංගිලා අවශ්‍ය ප්‍ර‍මාණයටත් වැඩියෙන් ඉන්නා බව, නගරයේ මාර්ග වල දිවෙන වාහන සංඛ්‍යාව සැළකියු යුතු ලෙස වැඩිවී තිබෙන බව, රටකජු කරත්තෙන් ඉස්සර වගේ රුපියල් 10 ට රටකජු ගන්න බැරි විත්තිය, ඒ දවස් වලට වඩා දැන් ඉන්න දැරිවියො ෆාස්ට් ෆෝවඩ් වග. මගේ දෙමාපියො වගේම මිත්තරයන්ගෙ දෙමාපියොත් පෙනුමෙන් වයසට ගිහින් තියෙන බව, මා එක්ක අතීතයේ දවසක ස්කූටර් චාරිකා වලට එකතු උන ඇත්තන්ගෙන් සමහරෙක් පිය පදවි ලබා, වගකීම් සහගත ජීවිත ගත කරන නිසා නැවත චාරිකා යන්නට එකතුකරගන්නට නොහැකි විත්තිය අක්මාවට දැනුනා.

සිරිලංකාවට පය තිබ්බට පස්සෙ බ්ලොග් ලියන කියවන ඇත්තන්ගෙන් සෞදි අරාබියේ ඉන්දික සහ ගම්පහ කම්මල ගොයියා මුණ ගැහුනෙ ගම්පහ ගල් පල්ලිය ලගදි. ඒ හමුවීම අවසන් උනේ ගම්පහ තානායමේ රවුම් මේසයකින්. ඉන්දික අයියා හා පුරා කියලා මුලිච්චි උනේ එදා.

කම්මල / ඉන්දික (පින්තූරෙ ගත්තෙ ඉන්දික අයියා බත් කන ගෙදර අක්කා)
ඊට පස්සෙ බ්ලොග් අඩවිය නිසාම සිරා කොලුවා එක්ක බොහොම ලඟ යාලුවෙක් තරමට බැදුන ඇමරිකාවේ සමීර කොලුවගෙ ගාල්ලෙ නිවසෙ පැවැත්වුන සාදයකට සහභාගි උනේ ඔහුගේ ආරාධනාවකින්. සමීර වගේම සමීරගෙ පවුලේ උදවිය දක්වපු ආගන්තුක සැළකිළි ඉතාම ඉහළ නිසාම පහුවදා දවල්ටත් බඩ පුරවගෙනයි සිරා කොලුවා එළියට බැස්සෙ.

නැති බැරි සමීර කොලුවා

සමීරගෙ නිවසේ පැවති ධාරාණිපාත සංගීත වරුසාව
ඔයින් මෙයින් ජනවාරි පළමුවෙනිදාවත් උදා උනා. සුභ වේලාවල් නැකත් අරවා මේවා බැලුවෙ නෑ. නමක් හදාගන්න සිංහල භාෂාව මුදලට වික්ක උන්ව හොයාගෙන ගියෙත් නෑ. යමක් කරන්න උවමනා නම් එ් සඳහා ඕනෑම වෙලාවක් සුදුසුයි කියන තර්කයේ ඉදගෙන කාලයක් තිස්සේ හිතේ එකතු උන හීන වලට පණ දෙන්න මගේ පුංචි ව්‍යාපාරය ආරම්භ කොලා. ව්‍යාපාරයේ නම Dreamz Creations. ග්‍රැෆික් නිර්මාණ කටයුතු සහ මුද්‍ර‍ණ කටයුතු තමයි අපේ ප්‍ර‍ධාන ව්‍යාපාරික කටයුතු වලට අයත් වෙන්නෙ. ඊට අමතරව මයෙ මලයා මංගල ඡායාරූපකරණයට අත ගහලා තියෙන්නෙ.

මගේ අලුත් පුටුව

ගතවුන කාල සීමාව තුල බ්ලොග් ලිපි කිසිවක් කියවන්න ඉසිඹුවක් තිබුනෙ නෑ. ඒ පිළිබඳ ඒ ඇත්තො අහිතක් හිතන එකක් නෑ කියලයි මගේ විශ්වාසය. එක් වරම එක හුස්මට මේ ලියමන ලියාගෙන ලියාගෙන යන්නෙ සිරාගෙ කාමරේට යන එන බණ්ඩාරවෙල නැන්දා කෙනෙක් කොලුවො යමක් ලියපිය කියලා මට තරයේ අවවාද කල නිසාම තමයි.

බ්ලොග්කරණය තුල ගතවෙලා තියෙන වසර 3 ඇතුලෙදි සිරා කොලුවා ඉපයූ වත්කම් වලට සාක්ෂි සපයන්නෙ මා ගැන විමසා මවෙත ලැබුන ඊ පණිවිඩ, එහෙමත් නැතිනම් තෝ මොකද ලියන්නෙ නැත්තෙ මැරිලද ? යනුවෙන් මා ලද දුරකථන ඇමතුම්...මේ උණුසුම් ප්‍ර‍තිචාර නිසාම කොහොමද යමක් අකුරු කරන්නෙ නැතුව ඉන්නෙ. ඒ හින්දම සිරා කොලුවා ආයෙමත් හැකි විදියට ලිපියක් දෙකක් ලියාන පාඩුවේ ඉන්න තීරණය කලා. ඔබ සියල්ලන් සමග කරන මේ ගණුදෙනුව මට මහත් සතුටක්.

අපේ ව්‍යාපාරික ස්ථානය තියෙන මීගමු පුරවරය ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ...කන බොන පපුව හොඳ මිනිස්සු ඉන්න පළාතක් විදියට තමයි ප්‍ර‍සිද්ධ. හැමදේම බිම් මට්ටමෙන් පටන් අරගෙන ඉදිරියට යන්නයි සිරා කොලුවගෙ වර්තමාන වෑයම.

එහෙනං බොලව් අදට මේ මදැයි...ආයෙ එහෙම..සිරෝ තෝ මලාද කියලා අහලා ජංගම දුරබණුවට ඇමතුම් එහෙම දෙනවා නෙමෙයි. කසාදයක්වත් නොබැඳ දැන්ම මැරෙන්න මගේ අදහසක් නෑ බොලව්..


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරා කොලුවා ගැන විමසූ හැමටම අක්මාවෙන්ම ස්තූතියි...ඉඩ ඇති පරිදි ඔබ සැම කියවන්නට එමි.
Related Posts Plugin for WordPress, Blogger...