Tuesday, April 29, 2014

80 ඇඹුල් දොඩම්

ඔහුගේ උප්පැන්නයේ නම ඇක්මන්ය. නමුත් පොළේ ඒ නමින් ඔහුව දන්නේ එහෙමත්ම පිරිසකි. පොළේ සියල්ලන්ම ඇක්මන් හදුනන්නේ ඇඹුල් දොඩම් කියූ විටය. නිවසට හා ගමට ඇක්මන්  උනාට පොළට ඇක්මන් ඇඹුල් දොඩංම විය. ඒ මාතර බත් කඩේ කට හොද නැති රෝහණ මුදලාලිට පිං සිද්ධ වන්නටය.



කඩයට ගොඩවන කාට හෝ කොලොප්පමක් කර සිනාසීම මුදලාලිගේ සිරිතය. එක්කෝ කාට හෝ නමක් පටබදියි. නැත්තං අමු තිත්ත කුණුහරුප පද පෙරළියක් කියා නොකීවා සේ හිදියි. තේරී සිනාසෙන උන් අතර නොතේරී කට බලියාගෙන ඉන්නා උන්ටද කෝචොක් කිරීම මුදලාලිගේ පුරුද්දය. ඒ නිසා තේරුන නොතේරුන හැම එකාම තේරුම් ගියා සේ සිනාසීමට වගබලාගෙන සිටිති.

විටෙක ඔහු

“ගුණදාස ගියේ නැතෙයි උඩුවෙ බලන්න ?,, යි අසයි.

“ අනේ මුදලාලි කොහෙද ඕවට වෙලාවක් ? තැඹිලි විකුණන ගුණේ නිරුත්තරව උත්තර දෙයි. නමුත් වටේ පිටේ ඉන්නා උන් හිකි හිකි ගාමින් දිව කට හපාගෙන සිනාසෙති.

“ මේ හුළගත් එක්ක ගෙයි ඉන්නත් භයයි බං....අරුන්ගෙ පොල් ගහ ගේ දිහාටමනෙ ඇඹරෙන්නෙ. ග්‍රාමයට කිව්වට ඌත් අරූගෙ සල්ලියට යට වෙලා.

කඩයට ගොඩවැදුනු තවකෙකු හා දොඩද්දී ඒ ඇහෙන මුදලාලිගේ කට කොකියයි.

මොකෝ වත්තෙ හුළංවත්ද සිරිපාල ?

ඔයින් පසු වැටෙන්නට යන ගහද අමතක කර සිරිපාල ඇතුළුව හැමෙකාම මුදලාලි අනුව සිනාවෙති.

ඇක්මන් පොළට ආ මුල් කාලයේ දවල් බත කන්නට හවස්වරුවේ ගොඩවැදුනේ මේ මාතර බත් කඩයටයි. ඒ ආ දිනක අලුතින් පොළට ආ මේ ගැටයාට තවමත් යමක් කියාගැනීමට ඉඩක් නොලැබුණු රෝහණ මුදලාලි පොටක් පාදා ගත්තේය. කුලෑටිකමින් රාක්ක දිහා එබි එබී බත් ගිල දමන ඇක්මන් දෙස බැලූ මුදලාලි....

“මොනවද තමුසෙ අර පැණි දොඩම් කියලා විකුණන්නෙ ? අපේ පොඩි එකා ආසාවට ගෙඩියක් ගෙනත් කාල කිව්වෙ කටේ තියන්න බෑ ඇඹුලයි කියලා.

ඇක්මන් භීතියෙන් මුදලාලි දෙස බලා සිට, “ඇඹු...ඇඹුල් දොඩම් ! අනේ අම්මප නෑ මුදලාලි මං එහෙම කරන්නෙ නෑ. මේ බලන්න මේ ගෙඩිය.

ඔහු බත් පතද පසෙක තබා තම දොඩමෙහි පිරිසිදු භාවය පෙන්වීමට හදයි.

මේ..මේ...පැණි දොඩම් මුදලාලි කාලා බලන්න.

“අනේ පලයං යෝධයෝ උඹේ ඔය ගොරක දොඩමත් අරං. උඹ අහුවෙයංකො මට.

මුදලාලි තර්ජනය කරද්දී කඩේ අනිත් උන් හිනැහෙන්නට හේතුවක් ඇඹුල් දොඩම්ට හිතාගනු බැරි විය. ඔහු නම් භීරාන්තව සිටියේය.

එතැන් පටන් ඇක්මන් නැති තැන කියන්නට පටන් ගත් ඇඹුල් දොඩම් නම, ඔහු ඇති තැනද කියන්නට පටන් ගෙන කාලයක් ගත වෙන විට ඇක්මන් යන්න ඇක්මන්ටද අමතක වන තරමට ප්‍රචලිත විය. කල් යත්ම ඇක්මන්ද ඔවුන් හා තමන්ටම සිනා සී පුරුදු පරිදි ජීවිකාව කරයි. විටෙක ඔහු හිත පෑරුනද කල හැකි අනෙකක් නොමැත්තෙන් හේ ඒ උහුලාගත්තේය. එවිට ඇක්මන්ට තමා ගැනම කම්පාවක් ඇතිවෙයි. තමුන් අනෙක් හැමටට නෝංජලයෙක්ම පමණක් වීම මේ කම්පාට හේතුව වන්නට ඇත.

සතියේ ඉතිරි දවස්වල ඔහු සයිකලයද පැදගෙන බොහෝ දුර බැහැර පළාත්වලට යන්නේය. උපතින්ම කොටෙකු වූ හෙතෙම බින්දුවටම පහත් කල සීට් එකේ උඩට පහළට තට්ටම් දෙක අතුල්ලවමින් හැතැප්ම ගනන් සයිකලය පාගයි. දොඩම්වලට අමතරව පේර, වෙරළු ආදියද කෙහෙල් මුවක්, ඇඹරැල්ලා ටිකක් එකතු කර ගත්තද, ඔහුගේ ප්‍රධාන අළෙවි භාණ්ඩය දොඩම් ම විය. සයිකලයේ පිටුපස ලගේජයේ පෝර උරය ඒ සදහා පමණක්ම වෙන්කර තිබුණි. අනෙකක් වූයේ නම් ඒවා සයිකලයේ හැඩලයේ දෙපැත්තේ එල්ලීගෙන පොළට ආවේය.

දෙල් ගහ යට සුපුරුදු තැන ඉටිකොළය එලන ඇඹුල් දොඩං සයිකලයේ ඇති දොඩම් උරය ලිහා සීරුවට එකින් එක ගෙන ඒ මත අඩුක් කරයි. දවසක දොඩම් ගොඩ පිරමීඩාකාරය. තවත් දවසක ගඩොලින් බැදි තාප්පයක් සේය.

“පැණි දොඩං.....එන්න නෝනා මේ හතරම සීයයි. හතරම සීයයි. ගන්න පැණි දොඩං....,, පිරමීඩය හෝ තාප්පය බැද නිම වූ වහාම ඔහුගේ හඩ ඇසෙයි.

කීයද ?

බරට සිලි සිලි උර දෙකක් දෑතින් ගෙන එන්නෙක් දොඩම් ගොඩ වෙත නිකට දිගු කරමින් ඉගියෙන් විමසයි.
“හතරම සීයයි මාත්තය, ෂෝක් දොඩං....,,

මිළ විමසන්නා දොඩම් ගෙඩිවල ලෙලිද විනිවිද බිකිද ගණින්නාක් සේ මදක් බලා හිද යළි ඉවත යයි. ඇක්මන් තම සුපුරුදු වාක්කිය ද අමතක කර දොඩම් ගොඩ දිහා බලා සිටින්නේ පළමු වරට ඒවා දකින්නකු සේය.  තමා නුදුටු යම් අමුත්තක් දොඩම්වල ඇත්දැයි බලන්නට මෙන් ඔහුගේ දෙනෙත දොඩම් ගොඩ පුරාම දුවයි.

“පැණි දොඩං....ගන්න පැණි දොඩං...දෙකක් පණහයි, හතරක් සීයයි...,,
ඔහු අනතුරුව නව වැකියක්ද මැදට අමුණා යළි ගෑගසන්නට පටන් ගනියි.

“දෙන්න හතරක්,,

රුපියල් සීයේ නෝට්ටුවක් ඇක්මන්ගේ දෑස් ඉදිරියට දිගු වෙයි. ඔහු හිස ඔසවා නොබලා, හිස පහත් කරගෙනම දොඩම් ගෙඩි හතර සිලි කවරයක දමා දිගු කරන අතරම රුපියල් සීයේ නෝට්ටුව අතට ගනියි. දොඩම් ගොඩ පිටුපස හිදගන්නා ඇක්මන්ට තමන් ඉදිරිපිට ඇති කිසිවක් නොපෙනෙයි. ඔහුට පෙනෙන්නේ දොඩම් ම පමණි.

තවම ගුලිකරගෙන සිටින සීයේ කොළය දිගහැර බලද්දී එහි ඉන්නා මාල ගිරා ජෝඩුව ඇක්මන්ට සුමනා සිහිපත් කළේය. අවුරුදු දාහතකට පෙර අලුත්ම අලුත් සයිකල් පොල්ලේ හිදගෙන ආ ගමන්මය තව ඈ. එදා තමන්ගේ මිටිකම වුවද සැපකැයි ඔහුට සිතුනේ සුමනාද පොල්ලේ තබාගෙන ඇගේ ඇතිල්ලි ඇතිල්ලී පෑගූ පෑගිල්ල මතක් වීය. පුංචි පාලම තෙක් මහ නැග්මේ මැද්දකරක් වෙනතුරු පෑගූ හේ සයිකලෙන් බැස්ස නමුත් ඈට පය බිම ගහන්නට නුදුන්නේ, කතරගං දෙයියන්ට පූජා වට්ටියක් පුදන්නට යන බැතිමතෙකු සේ සැලකිල්ලෙන්ද, කලකින් වහින වැස්සකට පැන කෙළින කොලු කැලක සේ ඉපිලෙමින්ද, මුල් දිනුම දිනූ ලොතරැයියක් අතැත්තෙකු සේ පපුවේ ගැස්මෙන්ද පාලම මැද උස් පඩියටම යනකල් බයිසිකලය තල්ලුකල හෙයිනි. එවක් පටන් සුමනා ඔහුට දරුවන් තිදෙනෙකු වැදුවාය. උන් තනිව හැදුවාය. අදත් වචනයක් කීවොත් ඒ උන් ගැනය.

“පොඩි එකාට ඉස්කෝලෙ යන්න බෑ කියලා අඩනවා. කොල්ලො කොලොප්පං කරනවලු අරක මේක කියලා...

ඊයෙ හැන්දෑවේ ඈ කී හැටි ඇක්මන්ගේ හිතට ආවේ පපුව කකියවාගෙනය.

“.....කීයද මේ,,

“ ආහ්...ගන්න නෝනෙ දෙකක් පණහයි. හතරක් සීයයි..,.

මෙදා පාර නම් බස්වලටද වෙළදාමේ යා යුතු යයි ඔහු හිතාගත්තේය.

.......................................................................................................

“මහත්තයා හුග කාලෙකින්......,,

රෝහණ මුදලාලි කඩයට ගොඩ වූ අමුත්තා දිහා බලා සිනාවෙන් යුතුව කීවේ  හුරු පුරුදු නොවෙනස් හඩිනි.

ඒකනෙ මුදලාලි කොහෙද මේ පොත්පත්වල වැඩත් එක්ක, දන්නවනෙ...

නැත්තං නැත්තං මහත්තයො....

හැබෑවටම මුදලාලි, සිරිමෙවන් මහත්තයා ගැන දැනන් සිටියේය. මාසයකට වරක්වත් තමුන්ගේ කඩේට ගොඩවෙන සිරිමෙවන් මහත්තයා කෝපි කෝප්ප හත අටක් හිස් කරමින් මුදලාලි හා දොඩමළු වෙයි. මුදලාලිගේ ඇතැම් අත්දැකීම්, අරුම පුදුම කතන්දර ආදිය තමුන්ගේ වාගේ ගැමි සුවද පෙරි පෙරී තීරු ලිපියක හෝ නිබන්ධනයක ලියයි. විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට පන්ති සාමාර්ථ ලබා දීමට කැපවෙයි. ආණ්ඩුවට කහියි. සම්මානවලට පාත්‍ර වෙයි.

ඉතින් ඉදගම්මු මහත්තයා.

රෝහණ මුදලාලි ඊටත් සිනාසුණ මිස අනිකක් නොකළේය.

මුදලාලි අද නම් මං ආවෙ පොඩි හදිසි උවමනාවකට. මුදලාලිගෙන් පොඩි උදව්වක් බලං.

ඒ මොකක්ද මහත්තයො.

මේ මට උවමනාවකට ඇඹුල් දොඩං ගෙඩි විසිපහක් තිහක් ඕන කරලා තියෙනවා මුදලාලි. හැබැයි හොද එව්වායින්. මං මුදලාලිම හොයාගෙන ආවෙ ඒකයි.

අර මොකටෙයි මහත්තයො එච්චර දොඩං ? බේතකට නං වෙන්න බෑ.

නෑ නෑ මුදලාලි මේ අපේ නෝනගෙ වැඩකට. පොඩි ගුරුකමකට. මුදලාලි දන්නවනෙ...

මුදලාලි කට කොනකට නැගි හිනාව නොසගවාම කථා කලේ තමුන් දන්නා වග පෙනෙන්නටමය.

හ්ම්....අපේ එකෙක් නං ඉන්නවා මහත්තයො...හැබැයි මිනිහා විකුණන්නෙ පැණි දොඩං. ඒ උනාට මිනිහාගෙන් දැනගත්තැකි දොඩං ටිකක් හොයාගන්න විදියක්...ඉන්නකො ඩිංගක්....සුනිමල්....සුනිමලෝ....

ඔහු කඩේ අතවැසි කොලුවාට අඩගසා සිරිමෙවන් මහත්තයාට ඇඹුල් දොඩං මුණගස්වන ලෙසද තමුන් විසින් මහත්තයා එහි එවූ වගද කියනා ලෙස උපදෙස් දුන්නේය.

යං මහත්තයා...

සුනිමල් ඉස්සර විය.
.......................................................................................................

සිරිමෙවන් මහත්තයා පිටවී යන තෙක් සුනිමල් සිටියේ නොඉවසිල්ලෙනි. මහත්තයා කාරයට නැග දොර වසාගන්නවාත් එක්කම කට අරින්නට හිටියත් මුදලාලි ඔහුට ඉස්සර විය.

කොහෙන්ද බං අර ඇඹුල් දොඩං ? මුදලාලි හිද ඇත්තේද සුනිමල් හිටි තත්වයේමය.

මාර වැඩේනෙ මුදලාලි මාත්තයා උනේ... මං මහත්තයවත් එක්කගෙන ඇඹුල් දොඩං ගැනත් කෙටියෙන් කියාගෙන ඒ පැත්තට ගියා. ගිහිං මිනිහට විස්තරේ කිව්ව විතරයි මෙන්න උදේ මං බේකරියට යද්දිත් පැණි දොඩං, පැණි දොඩං කියලා කෑ ගහපු එකා, ආ එන්න මහත්තයො තෝරලා ගන්න කියලා දොඩං ගොඩ පෙන්නුවේ නැතෑ....

නෑහ්.... මුදලාලි බුලත් විටක් ඒදන අතරේම පුදුම විය.

නෑ නෙමෙයි මුදලාලිට හින්දා රුපියල් දෙකක්ම අඩුකරලා දෙනවත් කියපි.

මුදලාලි මුදලාලිටම හරියන ගෝලයා හා හිනැහුණේය.

ඉතිං උඹ මොකද කලේ ?

මාත් දෙන්නං පුතයට කියලා හිතාගෙන හිනාව තද කරං හිටිය. මහත්තයා දොඩං මල්ලත් අරන් පිටත් වෙද්දි මූ මට පැත්තකට කථා කරලා කියනවා, 

බුදු මල්ලියෙ මුදලාලි මට තවත් පදයක් හදයි උඹ මේක කිව්වොත්. මං වෙළදාම් කරලත් ඉවරයි පොළේ. එහෙම උනොත්,  අරං තිබිච්ච ඇඹුල් දොඩං වගයක් දුන්නෙ කියහං. දරු පවුල නිසානෙ හැම එකම කරන්නෙ කියලා ඒකා නොවැන්දා විතරයි. මට පුකෙනුත් හිනා ගියා....හික් හික්.....

ඒත් මුදලාලි ඒ අසා නගන්නට සූදානම් කරගෙන සිටි හිනාව ගිලගත්තේය.

“ඕකා මේ පළාතෙවත් ඒද මන්දා....හැක් හැක්.....

සුනිමල් සිනාසෙන අතර මුදලාලිට ඇඹුල් දොඩම් ගැන කණගාටුවක්ද තමුන් ගැන සිහින් කලකිරීමක්ද උපන්නේය.

සුනිමල් හිනැහෙමින් හිතුවේ මුදලාලිගේ මුහුණ සිනාව වැඩිකමට ඇඹුල් වුනා කියාය. සිරිමෙවන් කාරයේ යන අතරතුර සිතුවේ ඇඹුල් දොඩම් ගැන කෙටි කථාවක් ලියන්නටය. ඇඹුල් දොඩම් සිතුවේ පොඩි එකාට කලිසං රෙද්දක් අරගෙන ගෙදර යන හැටිය. මුදලාලි සිතුවේ සිරිමෙවන්, තමුන් හා සුනිමල් වැනි උන් අතරේ ඇඹුල් දොඩම් කෙතරම් නම් අහිංසකද කියාය.

මුදලාලි ඇත්තටම ඇඹුල් දොඩම් විකුණන්නෙ ඇඹුල් දොඩම්ද ? පැණි දොඩම්ද ? සුනිමල් රෝහණ මුදලාලිගෙන් ඇසුවේය.


නිමි.

මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ඉසුරු අබේසේකර



ප.ලි

ඉසුරු අබේසේකර යනු ඉස්සර දවසක මා ලංකාවේ ජාතික පුවත්පතක සේවය කරන සමයේදී අපේ ඇසුරට වැටුනු නව යොවුන් තරුණයෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ලේඛකත්ව හා ජන සන්නිවේදන පාඨමාලාව ඔස්සේ  තම අනාගත ගමන් මග සොයාගත් ඉසුරු, සාහිත්‍යයට, කවියට මෙන්ම, සංගීතයටද පෙම් බදින්නෙකි. දක්ෂ ගිටාර් වාදකයෙකි. මේ කථාව සිරාගේ කාමරයේ පල කරන අදහසින් මවෙත ලියා එව්වාට මගේ මෙන්ම ඔබේද ස්තුතිය ඔහුට හිමි විය යුතුය. හෙතෙම වර්තමානයේ ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයෙකු (Copy Writer) ලෙස කටයුතු කරයි.

මාසයේ අවසාන ලිපියේ හිමිකම ඔබේය. ඊලග මාසයේ අවසාන ලිපිය ලෙස ඔබේ ලිපියක් පලකරන්නට කැමති නම්...සිරා කොලුවා වන මට ඊයක් විදින්න.













Sunday, April 27, 2014

68 නගා

නගා යනු උසස් පෙළ සමයේ මා සමගම සිටි මගේ අතිජාත මිත්තරයන්ගෙන් කෙනෙකි. කාමරය තුල ලියවුනු කථා කීපයකම මේකාගේ සාඩම්බර නම යන්තමින් කියැවුනද තවමත් වැඩි විස්තරයක් ලියවී නැත. ඒ අඩුපාඩුවත් මේ ලිපියෙන් පසු යම් තරමකට තුනී වී යනු ඇත.

සාමාන්‍ය පෙළ දක්වාම නිවෙස කිට්ටුව පිහිටා තිබූ ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ නගා අපේ පාසලට පැමිණියේ උසස් පෙළ වෙනුවෙන්. නමුත් ඊට කලින් ඉදන්ම මම නගාව දැන උන්නෙ සිරා කොලුවා සහභාගි වෙච්ච අතිරේක පන්ති වලටම ඒකාත් සහභාගි වෙච්ච හින්දයි.

ඔය කිව්ව සාමාන්‍ය පෙළ විභාගය එහෙම සමත් කොරගෙන නගා කොලූ අපේ පාසලට බඩගෑවෙ රටක් රාජ්ජයක් දිනපු එකෙක් ගානට...අපේ උසස් පෙළ ජීවිතය පටන් ගන්න කලියෙන් සෑම සිසුවෙක්ම දෙමාපියන් එක්ක  පාසලට කැදවාලා පවත්වපු රැස්වීම දවසේ නගා භයෙන් භීරාන්ත වෙලයි උන්නෙ. ඒ වෙන අටමගලක් නිසා නම් නෙමෙයි. එකා එකා මේකට නවක වදයට ලක් කොරයි කියලා. ඒ භය නිසාමද කොහෙද පාසලේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුලු උනාට පස්සෙ තියෙන පොඩි කදු ගැටය තරණය කරලා ප්‍රධාන ශාලාවට පිවිසෙන තුරාවටම මේකා පොඩි එකා වගේ මගේ අතේ එල්ලිලාමයි උන්නෙ.

ඉතිං බොලව් ඔය කිව්ව ඉලව් රැස්වීම් ආදියෙන් පස්සෙ අපේ උසස් පෙළ  ජීවිතය හෙවත් පාසලේ ගත කරන අවසාන දෑ අවුරුද්ද උදා වුනා. දෛවයේ සරදමකටදෝ මන්දා නගා කොලුවත් මමත් එකම පන්තියකට තමයි අයත් වුනේ. ඉතිං 6 වසරෙ ඉදන් පාසලට ආව පරණ උන් එක්ක උසස් පෙළට ආව කීප දෙනෙකුත් මේ කියන පන්තිය ඇතුලෙ එකට මුසු වෙලා.

අපරාදෙ කියන්න බෑ අපේ කොල්ලො කිසි එකෙක්ට නවක වදය කියලා ශාරීරික දඩුවම් දුන්නෙ නෑ...ඩෙස් පුටු උඩ නැගලා ඉන්න කියලා කිව්වෙත් නෑ. ආර්ථික හැකියාව, නිවසේ පසුබිම වගේ දේවල් අලුත් අයගෙන්ම දැනගෙන පුංචියට බිස්කට් පැකැට්ටුවක් දෙකක් ගේන්න කියන එක විතරයි  කොලේ.

නගා මගේ මිත්තරයා වෙච්චි කොට මම කෝමෙයි උගෙන් බිස්කට් ඉල්ලන්නෙ. මම නගාගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නෑ...පන්තියෙ අනිත් උන් තමයි මේකාගෙන් බිස්කට් කෑවෙ.

ඔය ඉතිං නවකයින්ගෙ සබකෝල ගතිය දුරුවෙන්න වැඩි කාලයක් අවශ්‍ය නෑ නොවැ. ඉක්මනින්ම අලුත් පරිසරයට හැඩ ගැහෙන්න මේ අයට හැකි වුනා. ඒ කාලෙ නගාට මේ වගේ සාඩම්බර නමක් රැජිස්ටර් වෙලා තිබුනෙ නෑ. ඒ උනාට මොන දේ කිව්වත් කෙදිරිගාන ගතියක් අපේ විචක්ෂනශීලී විමර්ෂණ වලට හසුවෙච්ච හින්දම වැඩි දවසක් නොගිහින් නගාට ඉතාම සුන්දර නමක් පටබැදුනා. එයින් කියවුනේ ශරීරයේ එක් උපාංගයක් මේකාට නෑ කියලයි. ප්‍රසිද්ධියේ මෙවැනි නමක් කියන්නට තිබුන ප්‍රායෝගික අපහසුතා ආදිය සළකා බලලා මේ නම තවත් ටිකක් මොඩ් කරලා තමයි නගා කියන තැනට ගෙනාවෙ. සමහරු නම් කිව්වෙ නංගි කියලා...මොනා උනත් මේ නම පිළිගන්න අකමැති බව පෙන්නලා මුල් කාලෙ පොඩි පොඩි ගෝරනාඩු කලාට, අපරාදෙ කියන්න බෑ අන්තිමට උප්පැන්නෙ තියෙන නමටත් වඩා නගා කියන නම ප්‍රසිද්ධ උනා. නගාටත් අන්තිමේදි ගානක් නැතුව ගියා.

අපි ඉතින් උසස් පෙළ විභාගය සදහා පන්සලක පාඩම් කොරාපු විත්තිය මම අතීතයේ ලියපු සමහර ලිපි වල දක්වලා තියෙනවා. ඒ ලිපි කියවපු ඇත්තන්ට ඒ බව මතක ඇති. මේ කියන නගාත් මේ අපේ පාඩම් කණ්ඩායමට අයත් වුනා.



මට මතක විදියට අපි පාඩම් කරන්න පටන් ගත්තෙ ඉතාම ශීත දේශගුණයක් තිබ්බ වසර අග කාලෙක. උදෑසන හැම අතම මීදුම. පන්සලේ ධර්ම ශාලාවේ ඉදන් වෙල් යායට තියෙන්නෙ බොහොම පොඩි දුරක් හින්දමද කොහෙදෝ රාත්තිරී 10 කණිසම පනිනකොටම අපිට මහා ශීතලක් දැනෙන්න ගත්තා.

පන්සල ලගපාතම හිටිය පුෂ්පෙ කොලුවා ඒ දවස් වල පාඩම් කරන්න එන්නෙ අපේ මේ ශීතල දුරු කරන්න අති විශාල උණුසුම් බෝතලයක තේ එකක් එහෙම පුරවගෙන. සිරා කොලුවා, පුෂ්පෙ ළමයා, වැද්දා, නගා එක්ක පන්සලේම නැවතිලා ඉදගෙන අපේ පාසලේ, අපේ පන්තියෙ අධ්‍යාපනය ලබපු කන්තලේ මෛත්‍රී ගොයියත් මේ කියපු පාඩම් නඩයට අයත් වුනා.

තේ එකක් බොමු බං....නගා අදහස දානවා.

උඹට දැම්මම ශීතලද නගෝ...

ශීතලකට නෙමෙයි යකෝ...පවුනෙ බං...මෙච්චර ලොකු වතුර බෝතලයක් උස්සගෙන එන එකේ අපි මේක හිස් කරලා දෙන්න එපායැ බන්....

එහෙම කියලා පළවෙනි වතාවට තේ කෝප්පයක් තොල ගෑවා කියමුකො.. තවත් අඩහෝරාවක් යන්න කලියෙන් ආයෙමත් නගාට තේ බොන්න ඕනෙ. මේ විදියට සැරෙන් සැරේ තේ බීලා උණුවතුර බෝතලේ අඩිය පෑදුනාට පස්සෙ තමයි නගාගෙ තේ බීම නතර වෙන්නෙ.

මේ හැමවතාවකම ප්‍රයෝජනයට ගන්න පන්සලට ලැබුන දානමාන ආදියෙන් මෛත්‍රීලාගේ ප්‍රයෝජනයට ලොකු හාමුදුරුවො නිකුත් කරපු තල කැරැල්ලක්, කැවුමක් , කෙසෙල් ගෙඩියක් වගේ දේකුත් එකතු වුනා. එහෙමත් දවසක තමයි ඉතිං අපි තේ විතරක් බිව්වෙ. පාඩම් කරන්න කියලා ඉදගත්තට තවමත් සිත එක්තැනකට අරන් නිසිලෙසම ඒ වැඩකටයුත්තේ යෙදෙන්න අපට අපහසුතාවක් දැනුනා. ඒ අපහසුතාව නිසාමදෝ තේ බෝතලය ඉතා ඉක්මනින් හිස් උනා.

පාඩම් නොකලත් කමක් නෑ...එකතැනක වැඩි වේලාවක් වාඩිවෙලා ඉන්න එකත් ඇති මුල් කාලෙ. ටික ටික තමයි පාඩමට හිත යොමුකරගෙන මේ කටයුත්ත කාර්යක්ෂම තත්වයට ගේන්න ඕනෙ...අන්න එහෙමයි අපේ ගුරු භවතුන් ඒ කාලෙ අපට උපදෙස් දීලා තිබුනෙ.

උදේ ඉදන් අව්වෙ කරවෙලා බෑන්ඩ් ගහලා ඉක්මනින් නිදා ගන්න බලාගෙන ගෙදර එන මට ඈත තියාම දකින්න ලැබෙන්නෙ  අපේ ගෙදර ගේට්ටු කණුවකට හේත්තු කරලා තියෙන නගා ඒ කාලෙ පැදපු පොල්ල නැති බයිසිකලේ. පා පැදියෙ හරස් පොල්ල තිබුනෙ නැති කාන්තා වර්ගයේ එකක් වෙච්ච නිසාම නගාගෙ සාඩම්බර නම තවත් බැබලුනා කියලා මට හිතෙනවා.

උඹ පලයන් නගෝ...මට අද හරිම මහන්සියි...නිදිමතයි... කිව්වත් නගා නෙමෙයි යන්නෙ.

කමක් නෑ බං...ගානක් දෙකක් හදලා උඹ නිදිය ගනින්....එහෙම කියලා කොහොම හරි මාවත් පංගරාර්තු කරගෙන නගා පන්සලට යන්නෙ අතරමගින් වැද්දවත් එකතු කරගෙන.

පන්සල ලග පුෂ්පෙ කොලුවා සහ වැද්දා නගා අපේ පාසලට එන්න කලියෙන් භජනයක් තිබුනෙ නෑ. අපි පාඩම් කරන්න සැට් වෙන්න සැළසුම සකස් කරගෙන යන කාලෙදි මම තමයි නගාවත් මේකට දා ගමු කියලා යෝජනා කලේ. උනුත් අන්තිමේදී ඒ අදහසට කැමති වෙලා තමයි නගාට අපිත් එක්ක පාඩම් වැඩ වලට එකතු වෙන්න අවස්ථාවක් උදා උනේ.

ඉතිං තේ බෝතලේ ඉවර උනාට පස්සෙ නගාගෙ ඇහැ යන්නෙ පන්සල ලගම තිබුන විදුලි පහන් කණුවක අස්සෙන් පේන අඹ වල්ලට.

සෝක් අඹ වල්ල බන්...තිතට පැහිලා..

ඉතිං උඹ මොනවද කරමු කියන්නෙ. නගාට මේ විදියට අනිත් කෙනෙක් තවත් ප්‍රශ්නයක් යොමු කලාම නගාගෙ පිළිතුර උනේ.

මොනා කරන්නද බන් කඩමු....

ඔන්න ඉතින් එතැන ඉදලා එක සීරුවට ලොකු පුංචි ගල් කැට වගේම පොලු කෑලිත් විදුලි පහනේ ගෑවි නොගෑවී අල්ලපු හිස් ඉඩමට වැටුනා. කොහොම හරි අඹ ගෙඩියක් බිම වට්ටා ගත්ත දවසට අපිට හරිම සතුටුයි. විදුලි පහන් කණුව හින්දම අඹ වල්ලට ගලක් ගහන එක අමාරු කාරියක් උනා. විශ්වාස කරන්න.....අපි පාඩම් කරපු අවුරුද්දකට වැඩි කාලය තුල කෙතරම් ගල් ගැහුවත් එක ගලක් වත් මේ කියන විදුලි පහන් කණුවේ විදුලි පහනේ වැදුනෙ නෑ.

තේ බීලා, අඹ කාලා සැට් එක ජොලියෙන් ඉන්න වෙලාව උදාවෙනකොට තූර්ය වාදක පුහුණුවීම් නිසා බොහොම මහන්සි වෙලා ඉන්න සිරා කොලුවගෙ කරටිය බිමට පාත් වෙනවා. මුල්ම කාලෙ මම නිදා ගත්තට පස්සෙ අනිත් උන් පාඩම් වැඩ වෙනුවට ධර්ම ශාලාවෙ තියෙන බංකු වලින් බාධක හදලා නගාගෙ පොල්ල නැති බයිසිකලේ ඒක ඇතුලෙ පැද්ද. එක වටයක් යන්න යන කාලය ඔරලෝසු වලින් මැනලා ජයග්‍රාහකයො පවා තේරුවා...අද නම් මේවා බොහොම සුන්දර මතක.

බයිසිකල් පැදිල්ලත් එපා උනාම පන්සල් බිමේ සිටවා තිබුන නානාප්‍රකාර මල් ගස් වලින් පැල ගැලවීම, මල් කැඩීම වැනි ඉතාම යහපත් ක්‍රියා වල පිරිස නිරත වුනා. ලොකු හාමුදුරුවො තමයි විිවිධ තැන් වලින් මේ මල් වර්ග වල ඇට/පැළ ආදිය ගෙන්වාගෙන මේ විදියට හිටවලා පන්සල ලස්සන කරලා තිබුනෙ.

මහා රාත්‍රිය උදා උනත් සමහර විට ආවාසෙ ඉදලා ලොකු හාමුදුරුවො පාඩම් කරන ඇත්තො දිහා කරුවලේම බලාන ඉන්නවා. ඉතිං එහෙම වෙලාවට ඇහැ නොගැටෙන්න, මල් ගැලවිල්ලට ගිණි කූරක් දල්වා ලැබෙන එළිය තමයි පාවිච්චි කලේ. මේ විදියට ගිණි පෙට්ටියක් පමණ එක් රාත්‍රිය
කට අපට වැය වුනා.

රෙඩ් ෆාම් ගස් වලට තමයි හැමෝම කෑදර වුනේ. දවසක් වැද්දා මල් පෝච්චියක සිටුවා තිබුන ලස්සන රෙඩ් ෆාම් පැලයක් ගලවන්න අත් දෙකෙන් පෝච්චියෛ් පස් හාරමින් උන්නෙ...එක පාරටම මේකා අම්මෝ කියාගෙන දිව්වෙ...අපිවත් තල්ලුකරගෙන.

ගිණි කූරු එළිය මල් පෝච්චියට ලං කලාම තමයි කාරණය අක්මාවටම දැනුනෙ. වැද්දා මෙලෝ සිහියක් නැතුව මල් පෝච්චියේ පස් ඉවත් කරද්දි කඩි ගුලක් මතුවෙලා. උන් පරන ඇරියස් එක්කම වැද්දට ඇනලා.

ඉතින් සතියක් දෙකක් පාඩම් කිරිල්ල මේ කියන ස්වරූපයෙන් කෙරුනට පස්සෙ තමයි නියම විදියට පාඩම් කරන්න ආරම්භ උනේ. අපි නගා කියලා කෝචොක් එක් දැම්මට අපේ නඩේ හිටිය මීටරේ නගා කිව්වට වරදක් නෑ. අන්තිමේදි අපි හතර දෙනා අතරින් සරසවි වරම් ලැබුවෙත් ඒකා පමණයි.

මෙන්න මේ විදියට පාඩම් කරමින් ඉන්න වෙලාවක තමයි පන්සලට එහා පැත්තෙ නිවෙසට අමුත්තෙක් ආවෙ. ඒ කථාවත් ඔබට මතක ඇති.

රාත්තිරියෙ පන්සලේ පාඩම් කලාට උසස් පෙළ දෙවැනි අවුරුද්දෙ පළවෙනි මාස හය පමණ ගත උනාට පස්සෙ පාසල් යන්නෙ නැතුව නිවසේ ඉදන්ම පාඩම් වැඩ කරගන්න තමයි හැමෝම කැමැත්ත දැක්වූවෙ. ඒ උනාට අපේ නිවස කිට්ටුව නිවාසයක දෙකක හිටිය සංගීත රසකාමී ජනතාව ඒවායේ හඩ උපරිම කරලා ඒ රස මිහිර විදගත්ත නිසාම මට නිවසෙ ඉදන් පාඩම් වැඩ කොරගන්න විදියක් නැති බව වැටහුනා. අපේ පන්සලේ පාඩම් නඩයටත් මේ අපහසුතා ගැන කියලා දිවා කාලයේ ගම්පහ පුස්තකාලයේ පාඩම් කරන්න යොදාගමු කියන යෝජනාව අන්තිමේදි මගේ කටින් පිටවුනා.

මේ කියන පුස්තකාලෙ නිසා තමයි පස්සෙ කාලෙක අපේ නගාට කවදාවත් හිතපු නැති දේවල් උරුම උනේ. ඒ විස්තර ඉදිරි දිනයක.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.









Thursday, April 24, 2014

66 සමන්තගේ ඇත්ත කථාව

අපි ඔහුට සමන්ත කියා කියමු. එය ඔහුගේ නියම නම නම් නොවේය. මේ කථාව ඔබට කියන්නට සිරා කොලුවා වන මවිසින් යෙදූ ආරූඩ නාමයකි සමන්ත. සමන්ත මා දන්නා කාලයේ සිටම ජීවත් වූයේ ගම්පහ නගරයට ආසන්න, නමේ අගට වත්ත යනුවෙන් කියවෙන තැනකය. මෝල වත්ත, නැබඩ වත්ත, රඹුටන් වත්ත, UC (Urban Council) වත්ත ගම්පහ නගරයට ආසන්නයේ තියෙන එවැනි වතු කීපයකි. ඉන්තේරුවටම සමන්තගේ නිවස පිහිටා තියෙන්නේද මේ නම් කියූ ඒවායින් එකකය. වත්තේ නියම නම මේ යැයි මා නොකියන්නේ එමගින් මේ චරිතය දන්නා අයෙකුට හදුනාගන්නට පහසු හෙයිනි.



ගම්පහ නගරයේ නම් දැරූ ප්‍රබල චන්ඩීන් කීප දෙනෙකුම කලක් ජීවත් වූයේ මෝලවත්තේය, ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවට කඩදාසි කොල වල ගංජා එතූ වැඩකරුවන් එකල වැඩියෙන් සිටියේ නැබඩ වත්තේය. නැබඩේ ගංජා නැත්තං ගම්පහම බඩු නෑ තමා...ඇතමෙකු එසේ කීවේ නැබඩවත්ත ගැන දන්නා නිසාය.  ගම්පහ නගර සභාවේ සුළු සේවකයන් සහ කම්කරුවන් බොහෝ දෙනෙකු වාසය කලේ UC වත්තේය. මෙවැනි වත්තක කෙනෙකු ඉහළට ඉගෙන ගෙන උසස් යැයි සම්මත රැකියාවකට ගියේ නම් ඒ ඉතාමත් කළාතුරකිනි. ඉහළට යන එකාගේ කකුල් කෙටි දෙකෙන් අල්ලා තමන් වැටුන වලටම ඒකාවද හෙලන්නට මේවායේ ඉන්නා තරුණ වයසේ උන් ලොකු සූරකමක් දැක්වීමත්...උගත්කමින් ගත හැකි විපුල ඵල ගැන කියාදෙන්නට දෙමාපියන්ගේ දැනුවත් භාවයක් නොමැති වීමත් එයට හේතු යැයි මට සිතේ.

අපි නැවතත් සමන්ත දෙසට හැරෙමු. සමන්තගේ පවුල් පසුබිම පිළිබද මා නොදන්නා මුත් සමන්තගේ නිවෙස් වටපිටාව ගැන ඔබට දැන් පැහැදිලි චිත්‍රයක් මවා ගත හැක. අඩු අධ්‍යාපනයක් ලද සමාජය අනුමත නොකරන ක්‍රියාවන්හි යෙදෙන බහුතරයක් වෙසෙන පරිසරයක ජීවත් වුවත් අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යන්නට සමන්තට තිබුනේ පුදුමාකාර උවමනාවකි. ඒ සදහා ඔහුගේ දෙමාපියන්ද උපකාර කරන්නට ඇත. මගේ පාසලේම මට ඉහළ වසරක ඉගෙනගත් මේ ගොයියා මට වඩාත් සමීප වන්නේ උ/පෙ වෙනුවෙන් මා එකල ආ ගිය එක් අතිරේක පන්තියක, අපට ඉහළ පන්තියේ අධ්‍යාපනය ලැබූ හෙයිනි. සෙනසුරාදා දිනයන්හි ඔවුන්ගේ පන්තියට පසුව අපේ පන්තිය පැවැත්වූ නිසා මට එතැනදී නිරතුරුව ඔහු මුණ ගැසුනේය.

ගිණුම්කරණය ඉගැන්වූ පන්තියක් වූ එහි හොද ඔලුවක් ලෙස සමන්ත කාගේත් ගරු බුහුමනට ලක් වී සිටියේය. සරළ චාම් ගතිපැවතුම් ඇතිව සිටි හෙතෙම තරුණ වයසේ අනිත් උන් කල විලාසිතා පස්සේ පැන්නුවේ නැත්තේ නිවසේ ඇති ආර්ථික වටපිටාව ඔවුනට යන්තමින් ජීවත් වීමට තරම් ප්‍රමාණවත් වූ නිසා වන්නට ඇත. ඩොට් සහිත රබර් සෙරෙප්පු දෙකක් පය ලා හමගිය ඩෙනිමකින් හා අව්වට පාට පිච්චුන ටී ෂර්ටයකින් සැරසුන ඔහුගේ මුවේ කවදත් තිබුනේ අව්‍යාජ සිනාවකි.

ඉදහිට දිනක අප එකල නිතර ආගිය ගම්පහ පුස්තකාලය වෙතද පැමිණි ඔහු එහි දිගුවේලා රැදුනු තැනැත්තෙකු නොවීය. හදිසියේ එතැනින් යන ගමනකදී තම මිතුරෙකු හමුවන්නට පැමිණෙන ඔහුගෙන් විසදන්නට අපහසු අභ්‍යාසයක් කියාදෙන මෙන් අප ඇවටිලි කල කල්හි ඉතා ඉක්මනින් එය විසදා අපට තේරුම් ගත හැකි පරිදි කියා දීමට තරම් නිහතමානී කමක්ද හෙතෙම සතු විය.

සමන්තලාගේ උසස් පෙළ උපකාරක පන්ති ආරම්භ වී කෙටි කලකින්ම පන්තියේ වැඩකරුවන් අතර ඉදිරියේ සිටි ඔහු කෙරේ එම පන්තියේ ගුරුවරයාගේ අවධානය යොමු විනි. නමුත් එක්වරම ඔහු උපකාරක පන්තියේ නොපෙනී ගියෙන් සමන්ත පිළිබද සොයාබලන්නට තරුණ ගුරුවරයා සමන්තගේ මිතුරන් කීප දෙනෙකු යොදවා තිබේ. මේ කියන ගුරුවරයාත් අප විද්‍යාලයේම ආදි සිසුවෙකු වීම මේ ලෙංගතු කමට තවත් හේතුවක් වන්නට ඇත.

සමන්තට පන්ති එන්න සල්ලි නෑ කියනවා සර්....ඔත්තු බැලූ උන් ගුරුවරයාට එලෙස සැළ කල හෙයින් පුද්ගලිකවම සමන්ත හමු වී ඔහුගේ වටපිටාව සොයා බලන්නට ගිණුම්කරණය ඉගැන්වූ ගුරුවරයා තීරණය කර ඇත්තේ එයින් පසුවයි.

තමාගේ ඇස් දෙකෙන් ඔහුගේ නිවසේ පරිසරයත්, ඔවුන්ගේ ජීවන අරගලයත් දුටු කල්හි මේ දක්ෂ සිසුවාට කෙසේ හෝ යහපත් අනාගතයක් උදාකර දෙන්නට සහාය විය යුතු යැයි ගුරුතුමාට සිතෙන්නට ඇත. 

සල්ලි ඕනෙ නෑ...ඊලග සතියෙ ඉදන් පන්තියට ආයෙම එන්න...මම අනිත් වැඩ දෙකටත් ඒ ගුරුවරුන්ට කියලා නොමිලේ සහභාගි වෙන්න අවස්ථාව සලසලා දෙන්නම්. ගුරුතුමාගේ පින්බර වදනින් සමන්තගේ අනාගත බලාපොරොත්තු ඒකාලෝක වෙන්නට ඇත.

ගිණුම්කරණය ගුරුතුමාගේ ආගමනයෙන් පසු සතියේ සිට නැවතත් සමන්ත පන්තියට සහභාගි වෙයි. විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ගත හැකි යයි අනුමාන කල හැකි සිසුවෙකුගේ තත්වයට කෙමෙන් කෙමෙන් පත් වෙයි. අවස්ථාවක් ලද කලෙක අප වැනි වයසින් අඩු උන්ටද තම දැනුම බෙදා දෙයි.

2000 වසරේ උසස් පෙළ විභාගයට තවත් මාස දෙක තුනකි. පන්තියේ පවත්වන කඩඉම් විභාග වලින් මෙන්ම පාසලේ වාණිජ අංශය තුලද සමන්ත තම හැකියාවන් මොනවට පෙන්වා තිබුනි. උසස් පෙළින් උසස් ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් පන්ති බඩ ගෑ අපේ එකල වීරයා සමන්ත කියා කීවත් එහි වරදක් නැත. ඔහු මෙන් හැකියාවන් දක්වන්නට අපිටත් හැකි වේ නම්....යනුවෙන් අපි එකල නිතර සිතුවෙමු.

පාඩම් කරන තැන මේසෙ ඉස්සරහින් කොළයක  A අකුරු 3 ක් ලියලා ගහගනිල්ලා. උඹලා ඔය කොළය දකින වාරයක් වාරයක් ගානෙ දන්නෙම නැතුව ඒ වගේ සාමාර්ථයක් ගන්න අධිෂ්ඨානයක් ඇති වෙනවා. අන්තිමට මේක යටිහිතට වැටුනාම උඹට පාඩම් කරන්න කම්මැලි හිතුනත් ආයෙම හිතෙනවා නෑ පාඩම් කරනවා කියලා...මෙවැනි මනෝවිද්‍යාත්මක උපදෙස් පවා එකල ඔහු අපට සන්නිවේදනය කලේය.

උසස් පෙළ විභාගය අත පොවන මානයට පැමිණ තිබූ සමයේ දිනක මගේ මිතුරෙකුට සමන්ත මුලිච්චි වී තිබුනි.

කොහොමද අයියා...විභාගය ගොඩ නේද ?

උඹ මේ මගුලක් කථා කරනවා...මම මේ දවස් වල රෑන්ක් එක තව ටිකක් ඉස්සරහට ගන්න එක ගැන හිතන්නෙ බං... විභාගෙ නම් ගේමක් නෑ. ඒ ඔහුගේ පිළිතුරයි.

හැමදාමත් කියනවා මෙන් කාලය ටික් ටික් හඩින් ගත වී මේ කියූ උසස් පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල පැමිණෙන දිනයද එළැඹුනේය. කාගේත් බලාපොරොත්තු  සඵල කරමින් සමන්ත සියලු විෂයන්ට අති විශිෂ්ඨ සාමාර්ථ ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු 50 දෙනා අතරට එක් වී සිටි අතර ජයවර්ධනපුර සරසවියට ඇතුලත්වීමට සුදුසුකම් ඉහළින් සපුරා සිටියේය. ප්‍රතිඵල පිටවීමෙන් පසු අපේ අතිරේක පන්තිය තුල කථාවක් පැවැත්වූ ඔහු, තමාගේ ජයග්‍රහණය ලබාගැනීමට අනුගමනය කල ක්‍රියාපිළවෙත් ආදිය නොසගවා අනෙක් අයට පැහැදිලි කලේය. පන්ති එන්නට මුදල් නොමැතිව සිටි වෙලේ ඒ පිළිබද සොයා බලා සහනයක් සැලසූ ගුරුතුමා නමට සිය ජයග්‍රහණය පුදන්නටද අමතක නොකලේය. සරසවිය පටන් ගන්නා තෙක් රාජ්‍ය බැංකුවක සේවය කිරීමට අවස්ථාවක්ද ලැබී තිබුනි.

ඉන්පසු එළඹුනු කාල සමයේ උසස් පෙළ සමග අපද කාර්යබහුල වූයෙන් සමන්ත ගැන වැඩි තොරතුරක් අපට සන්නිවේදය නොවුනද ඇතැම් දිනක සරසවියට ගොස් නැවත පැමිණෙන හෙතෙම අපට ගම්පහ නගරයේදී මුණ ගැසුනේය.

තවත් මද කාලයකට පසු අපට අසන්නට ලැබුනේ කිසිදිනක අප අසන්නට බලාපොරොත්තු වූ පුවතක් නොවේය.

සමන්තයා අන්න කැම්පස් යන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්නවලු....

ඒ මොකද බන්...මහපොළත් දෙනවනෙ...

කවුද බන් දන්නෙ....මට වෙන එකෙක් කිව්වෙ....මේ පුවත මවෙත සැළකල මිතුරා එසේ කීවේය.

මේ තරම් උත්සාහයෙන්, අමාරුවෙන් ගත්ත ජයග්‍රහණයට පයින් ගහලා, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව ඉන්න මෝඩයා කවුද හැබෑටම, මේ විස්තරය අහන අහන එකා එසේ කීවෝය.

අවසානයේ අප සවනත වැකුණු පුවත සැළවූ පෙර කී ගුරුවරයා නැවත වතාවක් පුද්ගලිකව සමන්ත මුණ ගැසී සරසවි නොයාමට කාරණා විමසා ඔහුගේ තීරණය වෙනස් කිරීමට දැඩි උත්සාහයක් දරා තිබුනද එය ඵලදැරුවේ නැත. සැබෑ ලෙසම ඔහුට සිදුවූයේ කුමක්ද ? එය ඔබට දැන් ප්‍රශ්නයක් වී ඇතිවාක් මෙන් එකල අපටද ගැටලුවක්ව තිබුනේය. ඇත්ත කථාව අපේ කන් බෙර අස්සට රිංගන්නට තවත් මාසයක දෙකක පමාවක් අවැසි විය.

සරසවි ජීවිතය මුලදී ලැබෙන නවක වද කාල සීමාවේ සිටම සමන්ත ආශ්‍රයට වැටී ඇත්තේ රත්නපුරයේ මැණික් වෙළදාමේ නිරතව සිටි අතමිට යහමින් ඇති ව්‍යාපාරිකයන් පිරිසකගේ දූ සිගිත්තියන් කීප දෙනෙකු සමගය. ඒ ඇත්තියන් අතේද අසාමාන්‍ය මුදලක් ගැවසුනු හෙයින් මේ අයට සරසවියේ ඒ අයට ගැලපෙන සමාජ පන්තියකින් මිතුරන් සොයා ගැනීමට අපහසුතාවක් තියෙන්නට ඇත. නමුත් කෙසේ හෝ තමාට නැති සමාජ තත්වයක් විදහා පාමින් ඒ අයගේ සිත් දිනාගෙන මේ කණ්ඩායමේ එකම පිරිමියා ලෙස චෑන්ස් එකක් වද්දාගන්නට සමන්තට අපහසු වී නැත.

පෙර කියූ දැරිවියන් සාමාන්‍ය අය ආහාර ලබාගන්නා තැන් වලින් ආහාර ගන්නේ නැත. පොදු ප්‍රවාහන මාධ්‍ය වල ගමන් බිමන් යන්නේද නැත. රියදුරන් සමග සිය පියවරුන් පුද්ගලික රථ සපයාදී තිබූ හෙයින් පොදු ප්‍රවාහන සේවා වල අවශ්‍යතාවක්ද නැත. මේ කියූ සැප එහෙන් මෙහෙන් විදගෙන භාගෙට පිස්සු වැටී ඉන්නට ඇති සමන්තට මේ කෙල්ලන්ගෙන් දුරස් වෙන්නට හිත දෙන්නට නැත. නැතිනම් ඒ වෙද්දිත් එකියකට ඔහු බොක්කෙන්ම ආදරය කරන්නටද ඇත.  තමාද සල්ලිකාර පවුලක එකෙකු බව ඒත්තු යන අන්දමට හැසිරීමට සමන්තද සමත් වී තිබුනේය. නමුත් බොරුවට වැඩි ආයුෂ නෑ කියන්නාක් මෙන් මේ ගරු රගපෑමද ඉතා කෙටි කලකින් නිම වී තිබේ.

සමන්ත ජීවත් වූ වත්තේ මළ ගෙවල් හඹා යමින් බූරු ගැසීමේ නිරතව සිට ඇති කණ්ඩායමකි. මේ ඇත්තන් තුන් රෝද රථ මගින් ගම්පහට ආසන්න පළාත් වල මළගෙයක් ඇති නිවෙස් සොයමින් රාත්‍රී කාලයේ මේ සූදුවේ නිරතව ඇත්තේ එමගින් ඉපයිය හැකි ඉහළ අදායම නිසාමය.

මේ කණ්ඩායමේ සාමාජිකයකු වූ අපේ කථා නායකයා සමන්තද හොද බූරු කරුවෙකි. මේ ගමන් බිමන් වලින් ලද ආදායමෙන් වැඩි කොටසක් ඔහු පෙර කීයූ සමාජ තත්වය ආරක්ෂා කර ගැනීමට වැය කර තිබුනි. දිවා කාලයේ සරසවි යන ඔහු රාත්‍රී කාලයේ බූරු ගසයි. අතීතයේ මිළ අඩු ඇදුම් පැළදුම් භාවිතා කල ඔහු දැන් භාවිතා කරන්නේ ඉතා ඉහළ සන්නාම වලින් පැමිණෙන නිෂ්පාදන පමණි. සරසවි දැරිවියන් කොළඹ ප්‍රමුඛ පෙළේ අවන්හලකින් හොද භෝජන සංග්‍රහක් ඔහු වෙත ලබා දුන්නා නම් හෙට ඊට නොදෙවෙනි තැනකින් ලබා දෙන සංග්‍රහයේ බරපැන දරන්නේ සමන්තයි.

බූරු ගැසීමෙන් ලද ආදායම මේ කියූ කාරණා සදහා ප්‍රමාණවත් වූවත් සමන්තගේ ආදායම් තත්වය අඩිය හිල්වූ පොල්කටුවකට ජලය වත්කලා සේ හිටිවනම බින්දුවට බැස්සේ කුමක් හෝ කාරණයක් නිසා ඔහුගේ අවශේෂ සාමාජිකයන් සති දෙකක පමණ කාලයක් බූරු ගැසීමෙන් වැලකී සිටි හෙයිනි.

සමන්ත දැන් සිටින්නේ ගිණි ගොඩකය. අතේ සතේ නැත. කෙල්ලන් සමග කෑම කන්නට, එහෙ මෙහෙ සවාරි යන්නට, දැන් ඔහුට හැකියාවක් නැත. සරසවි කැන්ටිමෙන් ලබාදෙන අඩුමිළ බත් එක රෙදි ඇදගෙන නම් කන්නට නොහැක. තවත් ටික දවසකට පසු ඇත්ත තත්වය මේ දැරියන්ට වැටහෙනු ඇත. ඉන් පසුව ඔවුන් එය තවත් අයට පවසනු ඇත. සරසවිය තුල සමන්ත යනු මහා බොරුකාරයෙක් ලෙස හංවඩු ගැහෙනු ඇත.



සමන්ත තීරණයක් ගත්තේය. මෙහෙම සවුත්තු වෙනවට වඩා හොදයි කැම්පස් නොඑන එක...

අපේ තාත්තා මාව පිටරට කැම්පස් එකකට යවන්න ඔක්කොම ලෑස්ති කරලා...ඒ නිසා මම ආයෙ එන්නෙ නෑ...එහෙ ගිහිල්ලා ඕගොල්ලන්ට කෝල් එකක් දෙන්නම් යනුවෙන් පවසා දැරිවියන්ගෙන් සමුගත් සමන්ත යළිත් හුරු පුරුදු ජීවිතයට වැටුනි.

විශ්වාස කරන්නට අමාරු සුරංගනා කථාවක් බදු වුවත් මේ කථාව ඇත්ත ලෙසම සිදුවූවකි. බොරුව යනු කිසියම් දිනෙක විශාල හානියක් සිදුකරනා භයානක දෙයකි. ජලයෙන් පහළට රබර් බෝලයක් තෙරපුවත් එය අතහැරි සැනින් නැවතත් ජලය මතුපිටට පැමිණෙනවා මෙන් බොරුවද හිතන්නේ නැති වේලාවක තමාට එරෙහිව යොමුවන ආයුධයකි.

අවසන් වරට මා හට සමන්ත මුණ ගැසුනේ දැනට වසර 10 කටත් එහායිනි. ඒ වන විට කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ පාඨමාලාවක් හදාරන්නට හෙතෙම අයදුම් කර සිටියේය.  ඔහු ඒ සදහා සුදුසුකම් ලැබුවාද ? අද ආරක්ෂක අංශ සාමාජිකයකු ලෙස සේවය කරනවාද ? නැතිනම් නැවතත් තීරණය වෙනස් කර සරසවි ගියාද ආදී කිසිදු ගැටලුකට පිළිතුරු තවමත් මා සතුව නැත.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

වෙනත් සරසවියක අධ්‍යාපනය ලද අපේ මිතුරෙක් සමන්තගේ ඇත්ත කථාව පසු දිනෙක අපට සැළකළේය. කෙතරම් නුවනැති වුවද ? ඉහළ විභාග සමත් වුවද මෙවැනි තකතීරු වැඩ කරනා උගතුන් මේ සමාජයේ එමට සිටිති. එය මුසාවක් නම් පෙම්වතා බෑ කිව්වා කියා දුම්රියට පනිනා වෛද්‍ය ශිෂ්‍යාවන් අපට හමුනොවෙනු ඇත.

Monday, April 21, 2014

61 බණ්ඩාට වෙච්ච හදියක්...

මාගේ අතීත බෑන්ඩ් ජීවිතය ගැන කාලයකට පසු ලිපියක් ලියූ නිසා තැටිය රත් වූ වේලාවේ තවත් රොටියක් පුච්චන්නයි මේ වෑයම.

තූර්ය වාදක ඛණ්ඩයේ පුහුණුවීම් කෙතරම් අපහසු වුවත් සාමාජිකයන් අතර සිටි ජොලි බුවාලා ඒ අපහසුතා අපේ සිත් වලින් තාවකාලිකව හෝ අකා මකා දමන්නට සිදු කලේ මහා මෙහෙයකි. ඒ අතරින් ඉදිරියෙන්ම සිටියේ බණ්ඩයියා, රැකපුලියා සහ දුන්න හා ඊතලය යුවල බව මට මතකය.

බණ්ඩා කියා සම වයසේ උන් ඇමතුවද අපට වඩා වසර 4 ක් පමණ වැඩිමල් නිසා අප ඔහු ඇමතුවේ බණ්ඩයියා යන නමිනි. ඛණ්ඩයේ ජේෂ්ඨ සාමාජිකයන්ගේ සම වයසේ වුවත් බෑන්ඩ් කණ්ඩායම සමග එකතු වූයේ පමාවී හෙයින් ඔහු වැඩිමහල්ලෙකු වුවද සාමාන්‍ය සාමාජිකයකු විය.

බණ්ඩයියා වූ කලී අව්‍යාජ සිනහවකින් නිතරම මුව සරසාගත් අහිංසක චරිතයකි. සියල්ලන් සමගම සහයෝගයෙන් කටයුතු කල ඔහු සතුව සහජ සංගීත ඥාණයක් විය. අලුතින් පුහුණුවන සංගීත ඛණ්ඩ ඉතා නිවැරදිව ඔහු වාදනය කල ට්‍රම්පට් නලාවෙන් අවට පරිසරයට මුදා හරින්නට  ඔහුට ගත වූයේ සුලු වේලාවකි.

ඒ කාලයේ ඛණ්ඩයේ සාමාජිකයන් නියමිත වේලාවටම පුහුණුවීම් සදහා ගෙන්වා ගැනීමට විවිධ දඩුවම් ක්‍රම ක්‍රියාවට නගා තිබුනි. සිරාගේ කාමරයේ වේලාසනින් ලියවුනු කථා කීපයකින්ම ඔබට මුලිච්චි වූ ලොකු අයියා නායකත්වයේ වගකීම කරපිට පටවා ගැනීමට ඔන්න මෙන්න කාලය මේ ලෙස දැක්වූවත් වරදක් නැත.

වර්තමානයේ අප පාසලේ දන්ත ශල්‍යාගාරය පිහිටා ඇති ගොඩනැගිල්ල අතීතයේ තුන් මහල් එකකි. එහි තෙවන මහලේ ඉදිකිරීම් වල ප්‍රමිතිය පිළිබද ගැටලුවක් මතුව තිබූ නිසා ඒ මහල භාවිතයට ගත්තේ නැත. පසු කාලයක ඉහළම මහල කඩා බිද දමා දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත්කල මෙහි හරියටම අද දන්ත ශල්‍යාගාරය බවට පත්ව ඇත්තේ එදා අප සිටි තූර්ය වාදක කාමරයයි.

මෙහි සිට උසස් පෙළ ගණිත හා විද්‍යා අංශ පිහිටා ඇති ගොඩනැගිල්ලට ඇත්තේ ඉතාම කෙටි දුරකි. උදාර අයියා යනු එකල අප ඛණ්ඩයේ සිටි ඉදිරි පෙළ නියමුවෙකි. කළු පැහැ හොදින් වැඩුනු සිරුරකට හිමිකම් කියූ ඔහු...ඔහුගේ නමේ පරිදිම උදාර ලීලාවෙන් යුතු වූ අතර මනා පෞර්ෂත්වයක් ඔහු කෙරෙන් විද්‍යාමාන විය. මේ නිසාම ලාබාල සාමාජිකයන් ලෙස අප ලොකු අයියාටත් වඩා භය පක්ෂපාතීත්වය දැක්වූයේ උදාර අයියා වෙතය.

මීට පෙර ලිපියේදී අපට හමු වූ කව්වා එකල උසස් පෙළ ගණිත අංශයේ පළමු පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටියේය. හදිසියකදී ඔහුව තූර්ය වාදක කාමරයට ගෙන්වා ගැනීමට අවැසි වුවහොත් උදාර අයියා කාමරයේ සිටම

කව්වෝ මෙහෙ වර......යනුවෙන් මහා හඩකින් කෑ ගසයි.  ගණිත අංශ ගොඩනැගිල්ලේ ඉහළ මාලයක සිටින කව්වාට මේ හඩ ශ්‍රවනය වෙයි. උදාර අයියාගේ උදාර ලීලාවන් ගැන දන්නා ඔහු එක්වරම පන්ති කාමරය තුල ඉබේම වාගේ නැගී සිටියි.

වර්තමානයේද ගණිත අංශයේ ඉගැන්වීමේ යෙදෙන “ලේනා“ නම් විකට නාමයකින් හදුන්වන ගෞරවනීය ගුරු භවතා තරමක තද චරිතයක් සහිත තැනැත්තෙකු ලෙස මේ අංශ වල අධ්‍යාපනය ලද බහුතරයකගේ අදහසයි.

කෞෂල්‍ය ඔයා එහෙනං යන්න....අර කෑගහපු එකාව මාව හම්බවෙන්න එවන්න.... යනුවෙන් පවසා කව්වා පන්තියෙන් නිදහස් කරයි. එහෙත් කිසි දිනක උදාර අයියා ලේනා මුලිච්චි වීමට ගියේ නැත.

ඛණ්ඩයේ සාමාජිකයන් නිසි වේලාවට පුහුණුවීම් වලට ගෙන්වා ගැනීමට දඩුවම් ක්‍රම තිබූ බැව් මම ඉහතදී කීවෙමි. සාමාන්‍යයෙන් දිනයේ පුහුණුවීම් නිම කර පිරිස නික්ම යාමට මත්තෙන් ඊලග දින සියලු අවශ්‍යතා සපුරා පෝලිම් විය යුතු වේලාව කණ්ඩයේ සැරයන් සියල්ලන් වෙතම එකවර දැනුම් දෙයි. ඒ අනුව පුහුණුවීමට යොදා ගන්නා ඇදුම් වලින් සැරසී සපත්තු ආදිය  පැළද සැරයන් දැනුම් දෙන වේලාවට සූජානම් වී සිටිය යුතුය.

එහෙත් ඇතැම් විටක ඇතැම් සාමාජිකයන් ප්‍රමාද වී පැමිණෙයි. එවන් විටෙක...ගෙම්බා පැනගෙන කාමරය අසලට පැමිණෙන ලෙස සැරයන් අණ කරයි. ප්‍රමාද වී ඇත්තේ විනාඩි දෙක තුනක් නම් ඊට වඩා දඩුවමක් නොපමුණුවයි. නමුත්  ඉතා විශාල ලෙස ප්‍රමාද වී පැමිණි කෙනෙකු නම් තත්වය මදක් වෙනස් වෙයි.

මෙවැනි දඩුවමක් විදි මට හොදින් මතක ඇති තැනැත්තා අපේ බණ්ඩයියාය. ඒ කාලය වන විට වඩාත් සුලභව ප්‍රමාද වී පැමිණෙන අයට පැනවූ දඩුවම වූයේ ඩිප්ස් ගැසීමට අණ කිරීමයි. ඒ උදෙසා සහාය කර ගැනීමට ඩිප්ස් චක්කරයක් කාමරයේ බිත්තියේ පැන්සලකින් ලියා තිබුනි. විනාඩියකට ඩිප්ස් 5 යි. විනාඩි 2 කට ඩිප්ස් 10යි. ආදී ලෙස පෑ භාගයක් පමණ කාලයක් දක්වා මේ චක්කරය බිත්තියේ ලියා තිබුනේ පහේ සිස්සත්වයට අප පාඩම් කල චක්කර සිහිපත් කරමිනි.



මේ කියන දවසේ අසරණ බණ්ඩා පුහුණුවිම් සදහා පැමිණියේ පැය දෙකකටත් වඩා ප්‍රමාද වීමෙනි. ඔහුට නියම වූ ඩිප්ස් සංඛ්‍යාව 680 කට මදක් වැඩි ගනනක් බව මා හට මතකය. ඔහුට හිමි දඩුවම ලොකු අයියා විසින් පැනවීමෙන් පසුව

එච්චර ගහන්න ගියොත් අද ප්‍රැක්ටිස් කරන්න බැරි වෙයි...බණ්ඩා නිහඩව කීවේය.

කමක් නෑ...අද දවසම අරන් හරි මේ කිව්ව ගාන ගහලා මිසක් අද පිට්ටනියට එන්න එපා. ඒ ලොකු අයියාගේ අණයි.

මෙවැනි විටෙක දඩුවම විදින කෙනාගේ පහසුවට ඩිප්ස් ගනන් කිරීම සදහා නවක සාමාජිකයකු රදවනු ලැබේ. ඒ අනුව බණ්ඩයියා ගහන ඩිප්ස් ගනන් කිරීමේ මැෂිමක් එහි තිබේ.

බණ්ඩා සහ ගණක යන්ත්‍රය බෑන්ඩ් කාමරයේ තනිකර අප පුහුණුවීම් සදහා ක්‍රීඩා පිටියට ගොස් හෝරා දෙක තුනක ඇවෑමෙන් නැවතත් කාමරයට පැමිණ බලන විට බණ්ඩා බොහෝ සේ අඩපණව ඩිප්ස් භාග ගසමින් සිටියේය. එවන් විටක භාග දෙකක් එකක් ලෙස ගණනය කරනු ලැබේ.

කෙසේ හෝ ඩිප්ස් ගැසීම නිසා ඔහුගේ අතක මතුවූ ආබාධ සහිත තත්වයක් හේතුවෙන් තවත් පැයකට දෙකකට පමණ පසු බණ්ඩයියාව ගම්පහ රෝහල වෙත රැගෙන යන්නට අපට සිදුවිය.

දුන්න සහ ඊතලය යනු එකිනෙකාට ඉතාම සමීපව සිටි සම වයසේ මිතුරන් දෙදෙනෙකි. ඉදිකට්ටයි නූලයි මෙන් ඕනෑම තැනක එකටම දෙදෙනා පෙනී සිටි නිසා දුන්න සහ ඊතලය යනුවෙන් මොවුන් දෙදෙනා හදුන්වනු ලැබීය. කාලයක් යන තුරාවට ඉතා හොදින් පුහුණුවීම් සදහා පැමිණි මේ දෙදෙනාගෙන් ඊතලය පුද්ගලික අවශ්‍යතාවක් නිසා කණ්ඩායමෙන් සමුගත්තෙහිය. ඔහු කණ්ඩායම හැර ගොස් නොබෝ දිනකින්ම දුන්නද කණ්ඩායම හැර ගියේ මිතුරා නැති පාළුව නිසා විය යුතුය.

ජේෂ්ඨයන් වැර වෑයමෙන් කියා දෙන ශීල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන මෙලෙස කණ්ඩායම හැර යාම ලෙහෙසියෙන් කල හැකි දෙයක් නොවුනේ එවැනි විටෙක එවැනි පුද්ගලයන් හට දඩුවම් මාලාවකට මුහුණ දී කණ්ඩායමෙන් සමු ගැනීමට අවස්ථාව උදා කර තිබූ හෙයිනි. පවුලේ අවශ්‍යතාවක් වැනි ඉතා සාධාරණ දෙයකදී මේවා ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් කණ්ඩායමේ පැත්තක් සමබර කරන අත්‍යවශ්‍යම වාදන භාණ්ඩයක් වාදනය කරන තැනැත්තෙකු එලෙස හදිසියේ සමුගැනීම පිරිමැසිය නොහැකි පාඩුවකි. ඒ වෙනුවට ඊලගට පැමිණෙන සාමාජිකයා පරණ සාමාජිකයාගේ තත්වයට ගැනීමට සෑහෙන කාලයක් සහ වෙහෙසක් දැරිය යුතු වීම එයට හේතුවයි.

ඇතැම් දෙමාපියන් තම දරුවන් බෑන්ඩ් කණ්ඩායම සමග අව්වේ පිච්චෙනවාට කැමති නොවූ බව මම මෙයට පෙර ලිපියෙදිද කීවෙමි. නමුත් බොහෝ උන් දෙමාපියන්ගේ බස පසෙකලා දිගින් දිගටම පුහුණුවීම සදහා පැමිණියේ බෑන්ඩ් කාමරය තුල ඒ වන විටත් පුංචි පවුලක් ගොඩ නැගී තිබූ හෙයිනි. මේ පවුල තුල වූ වැඩිමහල් හා බාල සියල්ලෝ සහෝදරයන් මෙන් එකිනෙකා සමග ඉතාමත් සමීපව ආශ්‍රය කිරීම එයට එක් හේතුවකි.

බෑන්ඩ් කණ්ඩායමේ පුහුණුවීම් සදහා බාධා සහිත නිවෙසකින් පුහුණුවීම් සදහා පැමිණෙන අප සාමාජිකයන්ට බොහෝ විට දහවල් ආහාරය ලෙස භුක්ති විදීමට බත් ගෙඩියක් ලැබෙන්නේ නැත. මේ අපහසුතා දුරු කර ගැනීමට යොදා තිබූ උපක්‍රමය වූයේ කණ්ඩායම් ලෙස දිවා ආහාරය ලබා ගැනීමට සැළැස්වීමයි. ඒ අනුව සම වයසේ හෝ එකම වාදන භාණ්ඩයක් වාදනය කරන හෝ තූර්ය වාදක ඛණ්ඩය තුල ඉතා සමීපව සිටින මිතුරන් එක කණ්ඩායමකට අයත් වන සේ සාමාජිකයන් 5 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායම් කීපයක් සකසා ඒවාට නායකයන්ද පත් කර තිබිනි. උදෑසන ආහාරය සදහා විවේකය ලද විගසම නායකයා එදින තම කණ්ඩායම සතු බත්මුල් සංඛ්‍යාව පරීක්ෂා කර බලා එයින් කීයක් උදෑසන භාවිතයට ගන්නවාද ? කීයක් දිවා ආහාරය සදහා තබා ගන්නවාද යන තීරණය කරයි.

බත් මුල් එකින් එක සාමාජිකයෝ සියල්ලන්ගේම දායකත්වයෙන් හිස් වෙයි. විවිධ රස එක විටෙක රස බැලිය හැකි අවස්ථාවකි මේ. ඉතාමත් රසවත් බත්මුල් ගෙන එන උන් ලෙස කීප දෙනෙකු  ප්‍රසිද්ධියට පත්ව තිබූ බවක්ද මට මතකය.

බත්මුලක් ගෙන ඒමට අපොහොසත් වූ අයෙකු වේ නම් ඔහු සතුව ඇති මුදලකින් හෝ යමක් තම කණ්ඩායමේ බත්මුල් රැගෙන ආ සහෝදරයන්ට ලබා දීමට ඇතැම්හු ක්‍රියා කලෝය.

අපේ අවාසනාවටදෝ කිසි කෙනෙකු තම බත් කණ්ඩායම් වලට වද්දා ගැනීමට අකමැති වූ ඈෂ්ලියා අපට එක් වී සිටියේය. බත් මුලක් ලිහන විටෙක තම දකුණු අත ඒ තුලට ක්ෂණිකව දමා අල්ල පුරා හසුවන දෙයක් රැගෙන කටට දමා ගැනීම ඒකා සතුව තිබූ කැත පුරුද්දකි. සමහර දිනෙක බිත්තරය ඈෂ්ලියා අතේය. කෙතරම් කිව්වත් කුස ගින්න වැඩියෙන් දැනෙන විටෙක දුන් උපදෙස් මේකාට අමතක වෙයි. සමහර දිනක ඇෂ්ලියාගේ අල්ල පිරෙන්නේ බත් වලින් නොව මැල්ලුම් වලිනි.

මේකාගෙන් තම බිත්තරය රැක ගැනීමට බත් මුල් හිමිකරුවන් ඒවා වෙනම රැගෙන ඒමට හෝ බත් මුලේ විවිධ මුලු වල සැගවීමට පසුව ක්‍රියා කලෝය.

දිනක් දිවා ආහාරය ලබාගැනීම සදහා සැරයන් අවස්ථාව ලබා දෙන විට සවස 4 ට පමණ කිට්ටු වී තිබුනි. අප සතුව ඉතිරිව තිබූ බත් මුල් වලින් කීපයක්ම ඒ වන විටත් පිළුනු බවට පත් වී තිබුනත් කුසගින්න වැඩි කමට ඒවා ඉවත ලන්නට අපට සිත් නොවෙයි. ඒ නිසාම පිළුනු බත් කමින් බෑන්ඩ් ගැසූ දින කීපයක්ම අපට තිබූ බව මට මේ මොහොතේ සිහිපත් වෙයි. බැණ බැණ හෝ නිවෙසින් ලබාදෙන බත්ගෙඩිය අපගේ කුස ගින්න නිවා ගැනීමට තිබූ එකම මග විය. එවන් විටෙක කණ්ඩායමේ සියල්ලෝම එකා වන්ව පිළුනු බත් හෝ කුස පුරා අනුභව කොට වර්තමානයේ අප කණ්ඩායම තිබෙන තැනට තූර්ය වාදක ඛණ්ඩය ගෙන එ්මට ක්‍රියා කලා නේදෝයි සිතෙන විට හිත පුරා ඇතිවන්නේ සියුම් සතුටකි.

පිළුණු බත්මුලක් හෝ නොමැති දිනක ඇන්ටිගේ කඩේ යනුවෙන් එකල අප විසින් හදුන්වනු ලැබූ අප පාසල ආසන්නයේ පිහිටා තිබූ කුඩා ආපන ශාලාවකින් ගල් බනිස් රැගෙන භුක්ති විදීම අපගේ සිරිත විය. ගල් බනිසක් කෑ පසු දවසක් ගත කිරීම ඉතා පහසුය. අවශ්‍ය වන්නේ වරින් වර බනිසය කුස තුල පොගවා දමන්නට ජලය පානය කිරීම පමණි.

කඩේ ඇන්ටිගේ කඩයේ කැෂියර් මේසයේ සමහර දාක හිදගෙන සිටියේ ඇගේ තරුණ දියණියයි. තුරුණු රූ සපුවෙන් පිරිපුන් ඇය දැකගැනීමත් ඇතැම් දිනෙක අපගේ පරමාර්ථය විය. කඩෙන් කන්නට උවමනාවක් නැති වූවන්ද මේ තරුණිය දැක ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කඩයට ගොඩවැදුනු අතර එයින් ඇන්ටිට පාඩුවක් නොවුනේ ඒ එන උන් ජාමෙ බේරාගැනීමට අවම තරමින් ප්ලේන්ටියකට හෝ වග කියූ හෙයිනි. අපේ අවාසනාව ඉතාමත් වැඩි දිනෙක මේ කියන කඩයේ ගල් බනිස්ද අහවර වෙයි. එවැනි දිනයක අපගේ කුසගිනි නිව්වේ නාරං කැවුම් නම් රසකැවිල්ලකි. එය ඉතාම රසවත් විය. නාරාං කැවුමක් දෙකක් කුසට බස්සා අලියා බාර්ලි බෝතලයක් පිරිස හවුලේ පානය කල පසු බඩ පණුවෝ අතුරුදහන් වූහ.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

අපේ බණ්ඩයියා වර්තමානය වන විට නාවික හමුදා තූර්ය වාදක ඛණ්ඩයේ ඉදිරි පෙලේ පුරුකකි. ලීඩ් /බොක්ස්/ බේස් යන ගිටාර් වර්ග ඉතාමත් දක්ෂ අන්දමින් වාදනය කරන ඔහු මගින් තම දරුවන්ට ගිටාර් වාදනය ඉගැන්වීමට ලංකාවේ ප්‍රමුඛ පෙලේ දේශපාලන නායකයන්ද කටයුතු කොට තිබේ. හෙතෙම අතීතයේ විවේකයක් ලැබෙන විටෙක නිතරම ගිටාරයෙන් වාදනය කලේ හොටෙල් කැලිෆෝනියා ගීතය බව මට මේ අවස්ථාවේ සිහිපත් වෙයි.

දුන්න සහ ඊතලය අතරින් ඊතලය පසු කාලයක ඉංජිනේරුවෙකු බවට පත් වූ අතර දුන්න ජර්මානු කාර්මික විද්‍යාලය හරහා කාර්මික ක්ෂේත්‍රයට පා තැබීය. මේ දෙදෙනා මා හට දැනට වසර 15 කට මෙහායින් හමු වී නැත. 

උදාර අයියා කාලයක් ගුවන් හමුදාව නියෝජනය කොට පසුව එයින් ඉවත් වූවේය.  වර්තමානයේ ලංකාවේ ජනප්‍රිය පුවත්පතක සේවය කරයි. ඉදහිට දිනක සිරාගේ කාමරයටද එබිකම් කොරයි.

ඇන්ටිගේ කඩේ අද එතැන නැත. මා අවසන් වරට දකින විට එතැන තිබුනේ වාහන කුෂන් වැඩපලකි.

Thursday, April 17, 2014

58 ගිණි අව්වෙන් මතුවුන සහෝදරත්වය

සිරාගේ තූර්ය වාදක ජීවිතය ගැන මෑතකදී යමක් ලියවුනේ නැත. සිරාගේ කාමරයට පැමිණෙන ඇතමෙක් ඒ වර්ගයේ කථා කියවන්නට මහත් අභිරුචියෙන් සිටින වග ඔවුන් නොයෙක් වර මවෙත එවා තිබෙන අදහස් නිසාම මම දනිමි. ඒ අතර කාන්තා පිරිමි භේදයක් නැත. මේ අයගෙන් බහුතරයක් තම පාසල් කාලය තුල බෑන්ඩ් කෙරුවාවේ රහ බැලූ  උන් වෙති.

සිරා කොලුවා වන මම 9 පන්තියේදී බෑන්ඩ් ගැහිල්ලට එකතු වන කාලයේ කණ්ඩායමේ ජේෂ්ඨ සිසුන් අතර වැඩිපුර සිටියේ මරුමුස් පෙනුමෙන් යුතු අයයි. මේ අයගේ දේහදාරී සිරුරු සහ කළාතුරකින් සිනහාවන මුහුණු දුටු වනම අපේ සිත් තුල භීතියක් ඇති කලත් බෑන්ඩ් කණ්ඩායමේ සාමාජිකයකු වීමේ සිහිනය නිසාම බොහෝ උන් මෙන්ම මමද ඒ කාරණා පිළිබද එතරම් නොතැකුවෙමි. මක්නිසාද තනි ඒකකයක් ලෙස තිබෙනා බෑන්ඩ් කණ්ඩායමේ  සාමාජිකයකුට යම් අතුරු උපද්‍රවයක් ආ කලෙක සෙසු සාමාජිකයන්ගේ සහාය නිරතුරුව ලැබුන හෙයිනි.

බොහෝ විට තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් ගනන 25 ක් වුවත් ඊට වැඩියෙන් පිරිස පුහුණු වීම නිරතුරුව සිදුවුනි. අවශ්‍යතාව අනුව යොදා ගැනීමට පුද්ගලයන් අනුව හොද තේරීමක් කිරීමට ඉන් වටිනා ඉඩ කඩක් ලැබෙයි. සාමාන්‍යයෙන් පාසලේ 9 කැලෑසියේ සිට ඉහළට මේ පිරිස සමන්විත වෙයි. ඕනෑම අයෙකුට බෑන්ඩ් කෙරුවාව සදහා එකතුවීමට ඉඩ ඇතත් පුහුණුවීම් වලදී මේ හාදයා නම් මකලාවත් හදන්න බෑ යයි බෑන්ඩ් කෙරුවාවේ නිරත ලොකු අයියලාට සහ අදාළ ගුරු භවතුන්ට සිතුනොත් ඒ අයගේ කාලය වෙන කාරියක් සදහා යොදා ගන්නා ලෙස පුද්ගලිකව පවසයි. නමුත් සංගීතයට හෝ කණ්ඩායමක් ලෙස කෙරෙනා මේ ක්‍රියාන්විතයට පෙම් බදිනා උන් යන්න කීවත් යන්නේ නැත. ඔවුන් පණිවිඩකරුවන්, ලිපි සම්පාදනය කරන්නන්, සහායකයින් ලෙස හෝ තූර්ය වාදක ඛණ්ඩයට වක්‍රව සහාය දෙන්නට මනාපය. අපේ කණ්ඩායමේ කාලයක් සිටි මපටා නම් එකෙකුද මේ ඝනයට අයත්ය. ඒකාට නිසි පරිදි ගමනේ යාමට දිගු කාලයක් පුහුණුවීමෙන් පසු හෝ නොහැකි වූ නිසා මේ කියන පණිවුඩ කරුවන්ගේ ලැයිස්තුවට සිය කැමැත්තෙන්ම එකතු විය. ඇතමෙකු උත්පත්තියෙන්ම සංගීතය, තාලය වැනි දෑ පවත්වාගෙන යාමට ආධාර වන හැකියාවන් ගෙන එන්නේ නැත. එවැනි අය කොපමණ පුහුණුකලත් ගොඩගන්නට නොහැක.

බ්‍රහස්පතින්දා දිනය ඈත අතීතයේ සිටම කණ්ඩායමේ පුහුණුවීම් සදහා යොදාගත් දිනයයි. වසරේ මුල ඇති කාර්යබහුල සමය නිම වූ පසු පුහුණුවීම් එතරම් පීඩාකාරී නැත. උදෑසන නිවෙසින් එද්දී මව්තුමිය ලබාදෙන බත්මුල පන්ති කාමරයේ සිටම අනුභව කර ක්‍රීඩාගාරයේ උඩුමහලේ ඇති බෑන්ඩ් කාමරයට යාම එකල මගේ සිරිතයි. බත්මුලට මා සමගම වග කියන්නට අයිය බඩා සහ කිඩාද බොහෝ විට වූහ. ඔව්හුද මා මෙන්ම බත්මුල් රැගෙන බ්‍රහස්පතින්දා දිනට පාසල් ආවෝ වෙති. ඒ දිනවල රන්ටැඹේ කදවුර සදහා සහභාගි වන්නට අප සුදුසුකම් සපුරා නොසිටි හෙයින් වසරකදී අපට වාදනය කරන්නට ලැබෙන ප්‍රධානම උත්සව දෙකක් විය.

ඉන් පළමු වැන්න ජනවාරි මාසයේ පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උළෙලයි. දෙවැන්න නිදහස් සැමරුම් උත්සවයයි. නොවැම්බර් අග භාගයේ දැහැමෙන් සෙමින් ආරම්භ වන මේ පුහුණුවීම් දෙසැම්බර් මාසය මෙන්ම සමස්ත ජනවාරි මාසය පුරාද එක සීරුවට ක්‍රියාත්මක වෙයි. පෙබරවාරි 4 වෙනිදායින් පසු පුහුණුව අවසන් වන අතර එතැන් සිට පන්ති කාමරයේ අධ්‍යාපනය ලැබීමට අපට හැකි වෙයි.

2001 වසරේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අපේ නියෝජනය


හමුදා ඛණ්ඩයක මෙන් දැඩි විනයක් තිබූ මේ ඒකකයේ පුහුණුව දුෂ්කර එකකි. උදෑසන සිට සැන්දෑ භාගය වන තුරාම ගිණි අව්වේ පුහුණුවීම් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. දිවා ආහාරයෙන් පසු ලැබෙන විනාඩි 10 ක 15 ක කාලය හැරෙන්නට වෙනත් විවේක කාල නැත. පැයකට දෙකකට වරක් ජලය පානය සදහා විනාඩි 5 ක පමණ කාලයක් ලැබෙයි.

මේ පුහුණුවීම් බොහෝ විට ඛණ්ඩයේ සැරයන් විසින් සිදුකලත් ඇතැම් විටෙක ඔහුට පෙර කණ්ඩායම නියෝජනය කල පැරණි නායකයන්ගේ සහායද ලැබෙයි. මේ අය බහුතරයක් වැරැද්දක් දුටු සැනින් කුපිත වන අය වූ නිසාම එකල අපට දඩුවම් වලින් නම් කිසිදු අඩුවක් තිබුනේ නැත.

මේ කියන දඩුවම් අතර වැඩිපුර තිබුනේ කෝඩ්රෝල් ගැසීම සහ ඩිප්ස් ගැසීමයි. ඉදහිට දිනක පුක පැත්තට රීප්ප පටියකින් එකක් දෙකක් වදියි. ඒ කිසිදු පහරක තිබුනේ පලිගැනීමේ චේතනාවක් නොව කණ්ඩායමට අවැසි හොද සාමාජියකයකු බිහිකරමි යන සිතුවිල්ලම බව මට සිතෙයි. එදා අපට එලෙස දඩුවම් කල අපේ ලොකු අයියලා සමග අද අපි එකට කරේ අතදාගෙන ඉන්නේ ඒ නිසාවෙනි. එකතැන බිමට පහත් වී තම දෑත පොළව මත තබා ඒ මත හිස සිටින සේ තබා හිසට ඉහළින් දෙපා යන සේ කරණමක් ගැසීම සහ මේ ක්‍රියාදාමය අඛණ්ඩව සිදු කරමින් ඉදිරියට යාම කෝඩ්රෝල් ගැසීම නම් දඩුවමේ ස්වභාවය ලෙස කෙටියෙන් හදුන්වා දෙන්නට හැකිය.

ගහපල්ලා කොණටම කෝඩ්රෝල්....අපේ පාසලේ ක්‍රීඩා පිටිය විශාල එකක් වූ නිසා කෙළවරටම කෝඩ්රෝල් ගැසීම ලෙහෙසි පහසු නැත. ඇරත් කණ්ඩායමට අලුතින්ම පැමිණි එකෙක් වේ නම් ඒකාට කෝඩ්රෝල් ගහන්නේ කෙසේදැයි කියාදීමටද සිදු වේ. ඇතමෙකු පළමු අවස්ථාවේදීම එහි තාක්ෂණය වටහා ගත්තත් ඇතමෙකු එය වටහාගන්නේ මද කාලයක් ඇවෑමෙනි. තාක්ෂණය නියමාකාර ලෙස නොතිබුනොත් බොරළු සහිත පොළවේ කෝඩ්රෝල් ගැසීමේදී  පිටකොන්දේ ගල් ඇනීමෙන් චිත්ත සන්තානය පිනා යන මිහිරක් විදගත හැකි වනු ඇත. නමුත් කෝඩ්රොල් ඇගට පත්තියන් වූ පසු විදුලි වේගයෙන් ඒ කාරියේ නිරත විය හැක.



දැඩි හිරු රශ්මියත්, අඛණ්ඩව සිදුවන පුහුණුවත්, වැරදි උදෙසා ලැබෙන දඩුවම් ආදියත් සළකා බැලූ විට අපේ පුහුණුව යුධ හමුදා පුහුණුවකට ආසන්නය. අවි පුහුණුව පමණක් ඊට අයත් නැත. කණ්ඩායමේ සියල්ලන්ම එක පවුලේ සහෝදරයන් මෙන් සහයෝගයෙන් යුතුව කටයුතු නොකලොත් කිසි දිනෙක සාර්ථක තූර්ය වාදක ඛණ්ඩයක් ගොඩ නැගීමට සිදු නොවේ. එය එතරම්ම වෙහෙසකාරී ක්‍රියාදාමයකි.

බෑන්ඩ් කණ්ඩායමේ නායකයා සැරයන් ලෙස හැදින්වූ අතර දෙවැනියා සීනියර් කෝප්‍රල් යන නමින් හැදින්වෙයි. සාමාන්‍යයෙන් මෙවැනි තනතුරු නාම වලින් මේ කියන චරිත හැදින්වෙන්නේ ශිෂ්‍යභට ඛණ්ඩයක් ලෙස ලියාපදිංචියෙන් පසු වුවත් අප ඊට පෙර සිටම එලෙස යොදාගත්තේ බෑන්ඩ් උණ අප ගත දවමින් තිබූ හෙයිනි.

සාමාන්‍යයෙන් කණ්ඩායමේ නායකයාට පසු සිටින ඉහළම ජේෂ්ඨයන් 5 දෙනෙකු පමණ විවිධ කාර්යයන් සදහා නායකයාට නිරතුරුව තම සහාය ලබා දෙයි. එමගින් සැරයන් නිලයේ කටයුතු කරන තැනැත්තාගේ කටයුතු තවත් පහසු වෙයි. පහුණුවීම් කරන විට ඇති වන අභියෝග...පුහුණුවීමට නොපැමිණෙන අයවලුන් ගෙන ඒම, ආහාර සම්පාදනය වැනි කටයුතුද බොහෝ විට ඒ අය මගින් ඉටු වෙයි. නමුත් පුහුණුවීම් අතර තුර ඒ අයගෙන් හෝ වැරැද්දක් සිදු වුනොත් දඩුවමක් ලබා දීමට නායකයා පසුබට නොවේ. කණ්ඩායමේ සමානාත්මතාව ඉහළින්ම තිබූ අතර...25 ම එකෙක් යන අදහස අපේ සිත් වල කාවැදී තිබුනි.

ඒ නිසාම සරඹ පුහුණුවේ නිරතව සිටියදී එක් අයෙකු වැරැද්දක් කලද සමස්ත කණ්ඩායමටම දඩුවම් හිමිවේ. මක්නිසාද තරගයකට ගිය අවස්ථාවකදී එක් අයෙකු කරන වැරැද්දක් සමස්ත කණ්ඩායමේම ලකුණු සංඛ්‍යාව පහල දැමීමට හේතු වන බැවිනි.

ඛණ්ඩයේ සැරයන්ගේ අණ පරිදි ගමනේ යාම වමට, දකුණට, ආපසු හැරීම ආදිය සිදු කෙරෙමින් පවතින විටක පියවර වැරදීම...වමට හැරෙන්නට කියූ කල දකුණට හැරීම ආදී සුලභ වැරදි සිදුවෙයි. එවන් විටක ගමනේ යෙදෙන කණ්ඩායම තුල සිටම අදාළ අයවලුන් නිවැරදි කරන්නට පහරක් දෙකක් ගසන්නට ජේෂ්ඨයන් පසුබට නොවේ.

මුල් කාලයේ බෑන්ඩ් පුහුණුව මේ මොන කරුමයක්දැයි කියා සිතුනත්...විවිධ වයස් කාණ්ඩයන්ගෙන් නියෝජනය වන එහි සහෝදරත්වය දළුලා වැඩුනු පසු පෙර කියූ අපහසුතාවන් ඉවසා දිගින් දිගටම පුහුණුවීම් වල යෙදෙන්නට අවැසි චිත්ත ශක්තිය ලැබේ.

ප්‍රධාන පෙලේ උත්සව ආදියට සහභාගි වීමට අවස්ථාව එළැඹුන කල බොහෝ විට අපට සිටින්නට සිදුවන්නේ අව් රශ්මිය විදිමිනි. එවන් අවස්ථාවක එකෙකු හෝ ක්ලාන්ත වී බිම ඇද වැටුනොත් එය සමස්ත කණ්ඩායමේම නාමයට මෙන්ම පාසලේ නාමයටද කැළලක් ලෙස අප එකල සැලකුවෙමු. ඒ නිසාම සියලුම සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැනවින් පවත්වාගැනීමට සෑම උදෑසනකම සෑහෙන දුරක් දිවීමෙන් පටන් ගෙන ශාරීරික අභ්‍යාස රාශියක් සිදුකිරීමෙන් අනතුරුව අවසන් වන ක්‍රමවේදයක් එකල අප අනුගමනය කළෙමු. ඒ හේතුවෙන්ම එකල වරින් වර අව්වේ සිටීමෙන් ක්ලාන්ත වන එකෙකු දෙන්නෙකු නැවත කිසි දිනෙක එලෙස නොවන පරිදි සුව වීමට වරම් ලදහ. එදා කල කී දේ නිසාම කිසිදු ශාරීරික අභ්‍යාසයක යෙදෙන්නේ නැති සිරා කොලුවා තඩි බඩක් ඔසවාගෙන  තවමත් හොද නිරෝගී සුවයෙන් පසුවන්නේය.

දිනපතා පුහුණුවීම් ආරම්භ වී පළමු සතිය හමාර වන අවස්ථාව වන විට අපගේ මුහුණත් තහඩු අදුරු වර්ණයකට පත් වන අතර බෙල්ලේ සටහන් වන ටී ෂර්ට් කොලරයේ හැඩයට පහළ ඇත්තේ කැපීපෙනෙන සුදු පැහැයකි. තමාගේ දරුවා මෙලෙස ගිණි කාෂ්ඨක අව්වේ පිච්චෙන ආකාරය දුටු පසු ඇතැම් මවක, පියෙකු තම දරුවාට මෙයින් ඉවත් වන ලෙස තර්ජනය කලත් සහෝදරත්වයේ හැගීම නිසාම ඔවුන් නිවෙසින් කෙතරම් බාධා පැමිණියත් බෑන්ඩ් කෙරුවාවේ දිගින් දිගටම නිරත වෙයි. ගෙදරින් ලබාදෙන මුදලේ සිට සියලුම දේ කපාහරින්නට එවන් විටෙක දෙමාපියන් පසුබට නොවෙයි. අඩුම තරමේ බත් මුලක් හෝ ලබා නොදෙයි.

නමුත් තම දරුවා කණ්ඩායමක් ලෙස එකතු වී කරනා මෙවැනි පුහුණුවීමකට තම හදවතින්ම ආශිර්වාද කරනා දෙමාපියන්ද නැත්තේ නොවේ...අපේ කණ්ඩායමේ සිටි යර්ස් මලයාගේ මව්තුමිය එවැනි තැනැත්තියකි. ඔහුගේ පියා නාවික හමුදාවේ නිලධාරියකුව සිටි කෙනෙක් නිසාදෝ බත් මුලක් ගෙනෙන්නට හැකියාවක් නැති අයගේ කුසගින්නත් නිවා දැමිය හැකි වන සේ සිමෙන්ති කොට්ටයක් වැනි අති විශාල බත් මුලක් සැමදාම තම පුත්‍රයාට සකසා දීමට තරම් එතුමිය කාරුණික වූවාය. යර්සාගේ බත් මුල අතිශයින් රසවත් එකක් වූ නිසාම ඒකා සමග බත් කන්නට ඇතැමුන් පොර කෑහ.

විවිධ පන්ති වලින් පැමින බෑන්ඩ් කාමරයේ වහළය යට සම්මුඛ වන විවිධ වයස් වල සහෝදරයන් පළමු සතියෙන් පසු එකිනෙකා හදුනාගෙන කාලාන්තරයක් පවතින ශක්තිමත් මිතුරුදමකට අඩිතාලම දැමීම බෑන්ඩ් ජීවිතයේ සිදුවන වටිනාම ක්‍රියාවකි. වර්තමානයේ මගේම සහෝදරයන් ලෙස මා සමග දුක සතුට බෙදාගන්නට සිටින අති මහත් බහුතරය මගේ තූර්ය වාදක ඛණ්ඩ මිතුරන් වෙති.

අප එකල අපේ රූපය ගැන නොසිතුවෙමු. ගිණි අව්වට හසුවීමෙන් එළිය අඩු වූ අපේ මුහුණු ගැන විස්සෝප නොවුනෙමු.  පාසලේ කීර්තිනාමය තවත් අගලකින් හරි ඉහළට ඔසවන්නටත්, අපට නොහැකි වුවත් අපෙන් පසුව එන අයට හෝ රන්ටැඹේ ශිෂ්‍යභට කදවුරට සහභාගි වීම උදෙසා ශිෂ්‍යභට කණ්ඩයක් ලෙස අපගේ තූර්ය වාදක ඛණ්ඩය ලියාපදිංචි කිරීමේ සිහිනයත් එවකට අප දකිමින් සිටියෙමු.

තූර්ය වාදක ඛණ්ඩයේ ජේෂ්ඨයන් පුහුණුවීම් අතර තුර රෞද්‍ර පෙනුමක් ගත්තද සාමාන්‍ය ජීවිතයේදී හොද වැඩිමහල් සහෝදරයන් පිරිසක් බව අපට ඒත්තු යන්නට වැඩි කාලයක් වැය කරන්නට අවැසි නොවීය. ඒ අයගේම වයසේ වුවත් කණ්ඩායමට බැදුනේ පමාවීමෙන් නිසා ජේෂ්ඨත්වයක් නොමැති පිරිසක්ද තූර්ය වාදක ඛණ්ඩයේ වූහ. ඒ ඇත්තෝද අප සමග කෙදිරියකින් තොරව ජේෂ්ඨයන් ලබාදෙන දඩුවම් වින්දේ 25 ම එකෙකි යන කියමන සනාථ කරමිනි.

ඒ අය අතරින් බණ්ඩා / කව්වා / මොංගලයා / රැක පුලියා/ දුන්න සහ ඊතලය නම් යුවල, මගේ මතකයට නිරායාසව පැමිණෙයි. මොව්හු වූ කලී ඉතාම සුන්දර මිනිසුන්ය. පුහුණුවීමේදී අප මුහුණ දුන් කටුක තත්වයන් මේ අයගේ විහිලු තහලු නිසාවෙන්ම තුනී වී ගියහ.

කව්වා වනාහී අඩි 6 කට වඩා උසැති සිහින් සිරුරකට හිමිකම් කියූ කෙනෙකි. මදක් ඉදිරියට නෙරා පැමිණි ඔහුගේ ඉදිරි දත් තරමක විසුලු පෙනුමක් ඔහුට දායාද කලද කණ්ඩායමේ පිට කොන්ද වැනි බේස් ඩ්‍රම් එකට තැලීම බාරගෙන සිටීම නිසා කාගේත් සැලකීමට භාජනය වූ චරිතයකි.

රුදුරු හිරු රැස් වල පහස විදිමින් පුහුණුවීම් වල යෙදෙනා තම සහෝරයන් දකිනා පාසලේ ඇතැම් ශිෂ්‍යයන් අප වෙත පැමිණෙන්නේ අයිස් පලමක් , කඩල ගොට්ටක් , අඹ ගෙඩියක් , අන්නාසි කෑල්ලක් , අච්චාරු අහුරක්  යනාදියෙන් සන්නද්ද වූ පසුවය. මේ අය අතර ඇතැම් විටෙක 6 හෝ 7 පන්ති වල පුංචි බැච්චන්ද සිටි බව මට මතකය. අපගේ පාසල  5 සිස්සත්වයෙන් සමත් වූවන් පමණක් ඇතුලත් වන එකක් හෙයින් එහි පන්ති පටන් ගන්නේ 6 වසරේ සිටය.

25 ම එකෙකු නිසා පොඩි උන් ලබාදෙන වෙරළු ගෙඩියද සියල්ලෝම සමානව භුක්ති විදිය යුතුය. එය අප අතර සහජීවනය සහ සහෝදරත්වය ඇතිකල බැම්ම විය. මට මතක පරිදි වරක් කිසිවෙකු හෝ අපට ටොෆියක් පරිත්‍යාග කර තිබිනි. එය 25 දෙනෙකු දැන් බෙදාගත යුතුය.

සැරයන් දකුණෙන් පෙළ සකසා (දකුණෙන් පෙළ සදනවා යනු උසේ පිළිවෙලට දකුණේ සිට වමට සාමාජිකයන් පේළියට රැදවීමයි) මුල සිට අගට ටොෆිය අතින් අත යැව්වේ මෙයින් කුඩා කොටසක් හෝ නොකෑ එකාට දඩුවම් කරන බවට ගුගරවමිනි. එක පවුලක සහෝදරයන් මෙන් අප සිටි නිසා තවකෙකුගේ කෙළ ගෑවුන තැනින් ටොෆියේ කැබැල්ලක් කඩා ගැනීම අපට අප්පිරියාවක් ඇති කලේ නැත.

එහෙත් කුඩා අන්නාසි කැබැල්ලක් දෙකක් වැනි බෙදාගැනීමට අසීරු දෙයක් ලැබුන විටෙක සැරයන් ගන්නේ වෙනත් පියවරකි.

අන්නාසි කෑලි දෙකක් තියෙනවා...ඉස්සෙල්ලාම එන උන් දෙන්නට මේක...කට්ටියම පේලියට ඉදලා හැරෙන්න අනිත් පැත්ත....තාප්පෙ අල්ලලා එන්න......

කණ්ඩායම පේලියට සිටුවා ආපසු හරවා ඈත අන්තයේ පෙනෙන තාප්පය අල්ලා ඉක්මනින්ම දිව එන පළමු දෙදෙනාට අන්නාසි කැබැලි දෙකට වග කිව හැක. දැන් ඇත්තේ ධාවනයේ වේගය මත ප්‍රතිලාභ හිමිවන අවස්ථාවකි. පිරිස ධාවනයට සූදානමින් අදාළ ඉරියව්වට පැමිණි විටෙක ඒ සදහා අණ දෙන්නේද සැරයන් විසිනි.

සිරා කොලුවා ඒ කාලයේ සිටම ධාවනයට දක්ෂ එකෙකි. මට වඩා වසර දෙක තුන වැඩිමලුන් කණ්ඩායමේ සිටියද ඒ අතර වේගවත්ම එකා වූයේ මමය. අන්නාසි කැබැලි එපා යයි මේ තරගයට සහභාගි නොවී පසෙකට වීමට අවස්ථාව තිබුනද කිසිවෙකු එසේ කරන්නේ නැත.

මෙවන් විටෙක ජේෂ්ඨයන් හැම විටම මගේ ධාවනය අඩපණ කරන්නට මාන බලන්නේ විහිලුවට උවත් එය මැඩපවත්වා ගනිමින් ධාවනයේ යෙදෙන්නට මම සමත් වීමි.

ඉතා දිගු කකුල් සහිත කව්වා මගේ ප්‍රධානම හතුරායි. තම කකුල් පොළවේ තබා පසුපසට ගෙන එන විට පොළවේ ඇති වැලි පිටුපසට පැමිණෙන ලෙස ඒ කාරිය කරන්නට හෙතෙම සමත්ය. එවන් විටෙක පිටුපසින් එන  එකාට වැලි බාධාවක් වෙයි.

පැන පැන යන හාවෙකු මෙන් අමුතුම ආකාරයේ ධාවනයක නිරත වන කව්වා දෙස බලා සිටීම ප්‍රියජනක වුවත් එසේ කරන්නට වෙලාවක් නැත. අන්නාසි කැබැල්ලක රස බැලීම ඊට වඩා වටින්නේය. සැරයන් තම වචනය වෙනස් නොකරන්නෙකි. කියූ පරිදිම පළමු ස්ථාන දෙකට අන්නාසි කැබලි දෙක ලැබෙයි. අනිත් උන් සෙමෙන් සෙමෙන් පැමිණ පිටියේ විවිධ තැන් වල වැටී හති අරියි.

කණ්ඩායමට පැමිණෙන ඇතැම් සහෝදරයෙක් අතිශයින් සබකෝලයෙන් යුතු වූවන් වෙති. පවුල් පසුබිම එයට ප්‍රධානම හේතුවයි. එවන් විටෙක ඒකාගේ සබකෝලය නැති කරන්නට අප යොදාගන්නේ සරළ ක්‍රමයකි. කණ්ඩායමේ 25 දෙනාම එදිනට නියමිත පුහුණුව නිමකර නිවෙස් කරා යන්නට පෙර ඒ සියල්ලන් ඉදිරියේ නවක සාමාජිකයකු ලෙස ගීතයක් හෝ කථාවක් පැවැත්වීමට නියම කිරීම ඒ ක්‍රමයයි. එය ඇරඹෙන්නේ තම පවුලේ තොරතුරු, දෙමාපියන්, සහෝදරයන් පිළිබද තොරතුරු ආදිය සැලකිරීමෙන් අනතුරුවයි. නවක සාමාජිකයා කුමන වසරක අධ්‍යාපනය ලැබුවත්,

උඹට බඩු කෑල්ලක් ඉන්නවාදැයි අසන්නටත් අප අමතක නොකළෙමු. එවන් විටෙක එවැනි සම්බන්ධයක් තියෙන උන් එයද නොසගවා හෙලි කරයි. ඒ බොහෝ ඇත්තියන් අප පාසල වටා පිහිටා ඇති කාන්තා පාසල් තුනෙන් එකකට අයත් වූහ.

මෙවැන් රසවත් අවස්ථාවන් පසුකරමින් කණ්ඩායමේ පුහුණුවීම් දිනෙන් දින ප්‍රගතිය කරා යන විටෙක සෑම කෙනෙකුටම තමාගේ හොදම මිතුරෙක් කණ්ඩායම තුලින් හමුවෙයි. එතැන් සිට ඒ ඇත්තන් කුමන කාරිය කලත් සිටින්නේ එකටමය. දඩුවමක් දුන්නත් එය නිම කරන්නේද එකටමය. බොහෝ විට ඒ සමවයසේ උන් හෝ එකම වාදන භාණ්ඩයක් වාදනය කරනා අයවලුන් වූහ.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

මැලේසියාවේ මා සේවය කරන කාර්යාලය පිහිටා ඇත්තේ උස් ගොඩනැගිල්ලක 10 වන මහලේය. එහි දිවා ආහාරය භුක්ති විදීමට වෙන් කර  ඇති කාමරයට වැදී දිවා ආහාරය භුක්ති විදිනා සෑම දිනකම වීදුරු කවුළු අතරින් ඈතින් පෙනෙන කාන්තා පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලක සූදානම මගේ නෙත ගැටෙයි. මුස්ලිම් යුවතියන් තම  හිස් රෙදිකඩකින් වසාගෙන ගමනේ යන්නට පුරුදු වෙයි. ඒ දෙසා බලා සිටිමින් ආහාර භුක්ති විදිනා මට මගේ අතීතයද නිරායාසයෙන් සිහිපත් වෙයි. අද ලිපිය ඒ මතකයෙන් කොටසකි.

සිරාගේ තූර්ය වාදක ජීවිතයේ රසමුසු තැන් ඉදිරියේදිත් බලාපොරොත්තු වන්න. මීට පෙර මේ ලේබලයෙන් ලියූ ලිපි මෙතැනින් කියවන්න.

Friday, April 11, 2014

70 රොබිනාගේ බලු කථාව

බල්ලා හෙවත් සුනඛ තෙමේ යනු මිනිසාගේ ලගම මිත්තරයාය. බල්ලා කියා නින්දා සහගත නමක් මේ වර්ගයට පට බැද තිබුනද සත්‍ය ලෙසම මොවුන් ඉතා හොද ගති ගුණ ඇති පිරිසකි. බොරුව වංචාව දන්නේවත් නැත. එහෙත් ඉද හිට හොරකෑමට සිතක් පහල වුවත් ස්වාමියා කෙරේ දක්වන්නේ පරම පවිත්‍ර අකලංක ආදරයකි. ලක්ෂ ගනන් වියදම් කර, දහ අතේ ණය වී,  මගුල් කා ගෙදර ගෙනා ගෑණු පරාණයවත් මෙවැනි අවංක ආදරයක් තම ස්වාමියාට විටෙක පිරි නමන්නේ නැත. එහෙත් කකුල් හතරේ බලු යාලුවන් එසේ නැත. කන්න දුන්නත් නැතත් නගුට වනමින් තම ආදරය සහ සුහදතාව ප්‍රකාශ කරන්නේ ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියන්නාක් මෙනි.



කුඩා කාලයේදී මේ වර්ගය බලු කුක්කා හෝ බලු පැටියා ලෙස හදුන්වයි. පුලුන් බෝලයක් වැනිව අම්මාගේ කුක්කු බී ඉතාම අලංකාර ශරීර සෝභාවකින් පසුවන බලු කුක්කෙකු වෙත සෙනෙහසක් සිතේ උපදින්නේ නැති කෙනෙකු වේ නම් ඒකාගේ පපුවේ තෙතමනය අඩියටම හිදිලාය. මේ අය කුඩා කාලයේදී ඒ තරමටම හුරතල් පාටය. ගෙදර ගෙනියන්නම සිතෙයි. මිනිසාගේ මේ සිතුවිල්ල නිසාම බලු පොඩ්ඩෝ බලු මව්කිරි බොන්නේ කෙටි කාලයකි. කාගේ හෝ නිවෙසක ස්ථිර පදිංචිකරුවකු වන්නට පොඩි එකා සන්ධියේම චෑන්ස් එක ලැබීම එයට හේතුවයි. එතැන් සිට ගොන් කිරි බී බලු මිතුරෝ වැඩෙති.

සිරා කොලුවා කුඩා කාලයේ අප නිවසේ බල්ලන් සිටියේ නැත. එහෙත් මගේ පියා ගැටවරයා කාලයේ නිවසේ ඇති දැඩි උන මාරයකු බදු (බ්ලොග් ලියන මාරයා නොවේය) ටාසන් නම් බල්ලෙකු ගැන නිතර පැවසුවේය. ඒකා බළල්ලු දඩයමට රුසියකු බවද තාත්තා එකල කිව්වා මට මතකය. නිවෙසට පැමිණෙන කෙනෙකු ඈතින් නතර වී ගෙදර ඇත්තෙකුට කථා කර මිස කිසිදිනෙක නිවසට පැමිණ නැත්තේ ටාසන්ගේ කීර්තිනාමය ගම පුරා පැතිර තිබූ නිසා වන්නට ඇත.

කෙසේ හෝ සිරා කොලුවා සහ ඒකාගේ මල්ලි කොල්ලාගේ බලු සුරතල් බැලීමේ පරම පවිත්‍ර ආශාවත්, ඒ පිළිබද නිතර දෙවේලේ කංකෙදිරි ගෑමත් තාත්තාට මහත් කන් කරච්චලයක් ඌ තැන අප නිවසට බලු යාලුවෙක් ගෙන ඒමට එතුමා එකග වූවේය. ඒ අප මෑණියන්ගේ විරෝධතාවද නොතකාය.

අපගේ ඉල්ලීම අනුව අප නිවසට සැපත් වූයේ තනිකරම දුඹුරු පැහැයෙන් යුතු ජාතියක් ජම්මයක්, උප්පැන්නයක් හෝ මව, පියාගේ විස්තර කිසිවක් නැති කුක්කෙකි. ඒකා ඒ අවස්ථාව වන විටත් කුඩා එකෙකු බව හොදින් මතකය. අලුත් කුක්කා අප නිවසේ අලුත් සාමාජියකු බවට භෞතීස්මය ලැබීමෙන් පසුව අපේ අම්මාගේද පුද සත්කාර මේකාට ලැබිනි. ඒ දවස් වල ඒකා දවස මුලුල්ලේ බත් මාළුවෙන් තොරව ගොන් කිරෙන් යැපුනි. අල්ලපු ගෙදර ජෑස් කොල්ලා පින්තකා ලබා දුන් එළකිරි වල පිහිටෙන් කුක්කා කෙටි කාලයකින්ම පෘෂ්ටිමත්ව නැගී සිටියේ දඩබ්බර ගතිගුණ ප්‍රකට කරවමිනි.

මුල්ම දින වල රාත්තිරියේ නිවසේ සියලුම විදුලි පහන් නිවා දමා නින්දට යන විට නිවසට පිටතින් සිටින කුක්කා භියට පත් වී හඩයි...එවිට උගේ නිළ භාරකරුවන් වන මමත් මලයාත් ඇතුලුව අපේ කුටුම්භයේ කිසිවෙකුට නිදි නැතිය. කුක්කාගේ කට කුඩා වුවත් එයින් උත්පාදනය වන ශබ්දය ඉතා විශාලය. මට හිතෙන ලෙසට ඩෙසිබල් වලින්ම බර ගානකි.

එයට විසදුමක් ලෙස පොලේ ගෙන යන්නට භාවිතා කල එළවළු මල්ලක් සුව පහසු ලෙස සකසා ඒ තුල කුක්කා රදවා නිවසේ මුළුතැන්ගෙහි තැබීම ඵලදායී විය. එහෙත් අතරින් පතර දිනක කුක්කාගේ චූ කුරුල්ලා හදිසියේ නින්දෙනේ අවදි වී කුස්සියේ බිම දිගේ ගලායන ලෙස පිටකරන වැඩිපුර ජලය දුටු වනම පරල වන අම්මාගේ කන්කළු හඩ ඒ කාලයේ අප උදෑසන අවදි කල එළාමය විය.

කුක්කා කුඩා නිසා නමක අවශ්‍යතාව මුලින් මතු නොවුනි. එහෙත් ජෑස් කොල්ලාගේ පින් කිරි බී මේකා වැඩෙන්නේ පුදුම වේගයකිනි. ඒ හේතුවෙන් පැටියාට නම් තැබීමේ කාලය පැමිණ ඇතැයි තීරණය කල උගේ සම භාරකරුවන් වන මමත් මලයාත් ගැලපෙන නමක් නොමැතිව සෑහෙන වාර ගනනක් එහෙට්ට මෙහෙට්ට දෝලනය වුවද අවසානයේ ගැලපෙන නමක් සැට් විය.

රොබින්......අපේ බලු පැටියා වෙත අප දායාද කල නාමයයි. ඒ දින වල රූපවාහිනියේ විකාශය වූ රොබින් හුඩ් කථා මාලාව මේ නම යෙදීම සදහා අපට සෘජුව බලපෑවේය. අපේ කුක්කා රොබින් හුඩ් වැනි වීරයෙකු වනු දැකීම අපගේ අපේක්ෂාව විය.

කල් යත්ම රොබින්, රොබිනා ලෙස උච්චාරණයට පහසු පරිදි වෙනස් විය. මේකා කූඩුවක් තුල ඇති දැඩි වූයේ නැත. කොහේ හෝ මුල්ලක දවස පුරාම කම්මැලි කමට නිදියන කාරිය නම් යස අගේට කලේය. එහෙත් අප භූමි සීමාවෙන් පිටතට ගියේ නැත.

ඒ දිනවල අපේ වයසේ කොලු කුරුට්ටෝ පන්දු සෙල්ලමේ යෙදුනේ අප නිවසට ආසන්න තැනකය. ඒ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකු වූ මමත් මලයාත් බොහෝ විට මේ අය සමග පන්දු කෙලියෙහි යෙදුනෙමු. සමහර විටෙක අපෙන් බැට කා ඉවත දුවන පන්දුව බඩවැටියක් අස්සේ සැගවී යයි..කෙතරම් උත්සාහ කලත් නැවත සොයා ගැනීම උගහටය.

එවන් විටක මගේ මලයා....අපි රොබිනා දාලා හොයමුද ?

ඒ කොහොමද ? එවන් විටෙක මම අසමි.

අපි ඌට බෝලයක් ඉව කරවලා හොයන්න කියමු.

රූපවාහිනියේ වීර කථා වල සිටිනා ආකාරයේ වීර බල්ලෙකි අපේ රොබිනා. අපේ සිත් එසේ කියයි. ඒ නිසා අපේ නැති වූ බෝලය මේකා සොයා දෙනවා ඒකාන්තය.

ඉන් පසුව මලයා නිදි වැදී ඇති තැනකින් ඒකා සොයාගෙන විත්  දම්වැලක ගැට ගසා පන්දුව නැති වූ පෙදෙසට රැගෙන එයි. තවත් බෝලයක් හෝ රබර් සෙරෙප්පුවක් උගේ නහයට ලං කල විට හොදින් ඒ දේ ඉව කර අප යන යන තැන ඒකාද පැමිණෙයි...නමුත් සොයන බෝලයක් නැත.

ඇතැම් විටෙක මේ අර්ථ විරහිත කාරිය දෙස කෝචොක් බැල්මක් දමා සිටිනා ජෑස් කොල්ලා

කොලුවො බල්ලා බෝලෙ හොයලා දෙයි...ඒකෙ ගූ ටිකක් ගෑවිලා තිබුනා නම්...යනුවෙන් මහා හඩින් පවසා අසික්කිත සිනහවක් නගයි. ඒ සිනා හඩින් ප්‍රකෝප වන මලයා රොබිනා ලිහා දමා පන්දු තැලීමේ කාරියෙන්ද සමුගැනීම සිරිතයි.

දිනක් රාත්තිරියේ හතට පමණ අප මිදුල දෙසින් බල්ලෙකු බුරන හඩ ඇසුනෙන් දෙමාපියෝ සමග අප දෙදෙනාද ඒ කිමෙක්දැයි බැලීමට එහි ගියෙමු. අපේ රොබිනා තරුණ බල්ලෙකු බවට පත්වන්නට ඇත්තේ එදාය. ඒ දිනය වන තෙක් බිරුම් ශබ්දයක් පිට නොකොට සිටි නිසාම අප සිතා සිටියේ රොබිනා යනු බුරන හැටි නොදන්නා බල්ලෙකු කියාය. උගේ අභිමංගල බිරුම් හඩ ඇසූ ඒ රාත්තිරිය මටත් මලයාටත් සතුටු දායක එකක්ම වූයේය.

ටික් ටික් හඩින් කාලය ගලා ගියේය. කුඩා රොබිනා බිදෙන් බිද ලොකු මහත් වී තරුණ ජවය ඇති කදිම පෙනුම ඇති බල්ලෙකු විය. එහෙත් මේකාගෙන් අප බලාපොරොත්තු වූ වීරකම් කිසිවක් ඌ සතුව තිබුනේ නැත. නන්නාදුනන පිටස්තර අයෙකු හදිසියේ හෝ නිවෙසට පැමිණියේ නම් මිදුලේ පසෙක නිදා සිටින රොබිනා නිවැසියකු වෙත දක්වන තරමේ සෙනෙහසක් ඒ ආගන්තුක චරිතයටද පුද දෙයි. නැට්ට කිසි කිසි හඩින් දෙපසට වැනෙයි.

ආ තැනැත්තා ගිය පසුව......මේකා මහ ගොන් බල්ලෙක්...මේකව කවලා පොවලා නාවලා හැදුවට වඩා හොදයි හරක් පැටියෙක් හැදුවා නම්...ගෙදරට හොරු පැන්නොත් මේකා උන්ටත් නැට්ට වනයි....යනුවෙන් මගේ මෑණියන් නිතරම වාගේ පැවසුවාය.

ඇතැම් විටෙක අහල පහල නිවෙස් වල ඇති දැඩි වන බල්ලන් එක රොත්තට බුරයි. එහෙත් නිදි සුව විදින රොබිනාගේ ප්‍රතිචාරය කන් ඔසවා බලා නැවත නිදා ගැනීමයි. ලෝකය අනිත් පැත්තට කැරකුණත් ඒකාට වගේ ගනනක් නැත.

තවත් මද  කාලයක් ගිය පසුව රොබිනාට වැළදුනේ අමුතුම රෝගයකි. ඒකාට රෙදි පෙන්නන්නට බැරි විය. කලිසම් කමිස ආදී ඇදුම් පවා ඌට හසුවුනොත් යලි අදිනවා බොරුය. කොහෝ හෝ මුල්ලකට වී ඒකාට හසුවන ඇදුම් ඉරා දැමීම රොබිනාගේ නවතම ඇබ්බැහිය විය.

දිනක් උදෑසන අමු තිත්ත කුණුහරුප කියමින් ජෑස් කොල්ලා කාටදෝ බනින්නේය. ඒ කාටදැයි එකවර පැහැදිලි නැතත් තවත් මොහොතක් ඇවෑමෙන් කාරණය පැහැදිලි විය.

අන්න අපේ බල්ලා ජයසේකර අයියගෙත් කලිසම් වගයක් කාලා...අම්මා තාත්තාට පැවසුවාය. එය අසා තාත්තා කෝපයෙන් යුතුව රොබිනා දෙස බැලුවත් ඒකා සුපුරුදු ලෙස නැට්ට දෙපසට වනා තාත්තා දෙස යටහත් පහත්ව බැලීය.

ලොකු පුතේ උඹලගෙ ගොන් බල්ලගෙ කකුල් හතර කඩනවා මම ආයෙ මේ පැත්තෙ ආවොත්....ජෑස් කොල්ලා කාකි කලිසම් කොට තුනක් මවෙත දක්වමින් බෙරිහන් දෙයි.

ඒ මොකෑ ඒ ? සිරා කොලුවා විමසුවේය.

මේන්න බලහං මේ කුපාඩියා කරලා තියෙන වැඩේ ඊයෙ රෑ....

විදුලි සන්දේශයෙන් විශ්‍රාම ගොස් සිටි ජෑස් කොල්ලා සතුව එහි රාජකාරි කරන සමයේ ලද නිළ ඇදුම් රෙදි වලින් මසන ලද කාකි පැහැති කොට කලිසම් කීපයකි. එයින්  කලිසම් 3 ක් යලි භාවිතයට ගත නොහැකිව ඉවත දමනා තැනට රොබිනා කටයුතු කොට තිබිනි. වැලේ වනා තිබූ කලිසම් කොට මහ රාත්තිරියේ සුලගට බිම වැටෙන්නට ඇත. කලිසම් තුනේම පුක පැත්ත නැත. ඒ තැන් වල ඇත්තේ විශාල සිදුරකි.

මේ සිදුවීමෙන් පසු...හරියන්නෙ නෑ...මෙයාට ගෙදරක ඉන්න තේරෙන්නෙ නෑ...යනුවෙන් රොබිනා මාතෘකා කොට තාත්තා සිය අප්‍රසාදය ප්‍රකාශ කලද අපගේ රොබින් ගුණ වැයීම හමුවේ ඒ කාරණය යට ගියේය. නමුත් ඒ කෙටි කාලයකටය.  ජලය යටට බලහත්කාරයෙන් යැවූ රබර් බෝලයක් නැවතත් ජලය මතුපිටට පැමිණෙන ආකාරයෙන් රොබිනාගේ ජඩ ගති නැවතත් මතු විය.

එදින නම් පාඩුව සිදුවී තිබුනේ අපේ ආච්චී හෙවත් තාත්තාගේ අම්මාටය.

බලපං කොලූ, අලුත්ම චීත්ත රෙද්ද...මේ කාලකන්නියට බත් දෙන්නෙ නෑ වගේ කාලා කීතු කීතු කරලා...ගන්න දෙයක් නෑ යනුවෙන් මහත් විස්සෝපයෙන් යුතුව තාත්තා වෙත උන්දෑ පැමිණිලි කොලාය.

එදා නම් තාත්තා බොහෝ සේ කිපුනේය. නමුත් කිසිදිනෙක රොබිනාට අප කිසිවෙකු හෝ පහර දී හිරිහැර කර නැත.

පුතේ....මෙයාව තව දුරටත් මෙහෙ තියාගන්න බෑ...පේනවනෙ කරන වැඩ...දැන් සිද්ධි දෙකයි...මේ වැඩෙන් අහළ පහල මිනිස්සුත් තරහා වෙනවා...ඒ හින්දා අපි මෙයාව හදාගන්න පුලුවන් කෙනෙක්ට දෙමු.

තාත්තා සමග මමත් මලයාත් එතැන් සිට කොපමණ වාද විවාද කලත් ඒ සියල්ල ගගට කැපූ ඉනි මෙන් විය. අපේ සුරතලා රොබිනා අප නිවසින් සමුගන්නා බව ස්ථිර යයි මගේ සිත මට සන් කලේය.

එක් වැසිබර දිනයක පොල් කඩන ලාල් අයියා අප නිවෙසට සේන්දු වූයේය. කොට කලිසමකින් සැරසී නිතරම උඩුකයට ඇදුමක් නැතුව සිටින ඔහුගේ පුෂ් බයිසිකලයේ හරස් පොල්ලේ ලෙලි වලින් එකට සම්බන්ධ කල පොල් ගෙඩි දෙකක් වරදින්නේ නැත. මේ කියන දිනයේද එවන් ගෙඩි දෙකක් හරස් පොල්ලේ විය.

මහත්තයා කිව්වා බල්ලෙක් ඉන්නවා අරන් යන්න කියලා...ලාල් අයියා තමා ආ කාරණය අම්මා වෙත සැළ කලේය.

අපොයි ඔව්...කියන්න ඇති නේද විස්තරේ...මෙහෙ තියාගත්තොත් අපිට අල්ලපු ගෙවල් වල මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න වෙන්නෙ...

ආ ඒකට කමක් නෑ...අපේ ගේ අහල පහළක ගෙවල් නෑනෙ... ලාල් අයියාට රොබිනාගේ කුපාඩි වැඩ අවුලක් නැති සෙයකි.

කෝ මේ ළමයි දෙන්නා....මේ රොබිනව දම් වැලෙන් බැදලා ලාල් අයියට දෙන්න. අම්මාගේ විධානය අපට ඇසුනත් කුඩා කල සිට ඌ හදාවඩා ගත්, උගේ දුකේ සැපේදී එකට සිටි, ඒකාගේ බඩ ගින්න වෙනුවෙන් අපේ විස්කෝත්තෙන් හෝ පාන් කැබැල්ලෙන් කොටසක් පරිත්‍යාග කල මට හෝ මලයාට ඒ කාරිය කරන්නට දහිරියක් නැත.

මටත් කලියෙන් මලයාගේ ඇසකින් කදුලක් පිට පැන්නේය. ඒ ඇසිල්ලේ මගේ දෙනෙතින්ද රොබිනා වෙනුවෙන් කදුලක් උපන්නේය. අපගේ සහායකින් තොරව රොබිනාගේ දම්වැල සොයාගෙන ඒකා බදින්නට ලාල් අයියා සමත් විය. දම්වැලේ අනෙක් කොටස තම පා පැදියට ගැට ගැසූ කල රොබිනා පා පැදිය සමීපයේ සිටගෙන අප දෙදෙනා දෙස බැලූ අහිංසක බැල්ම මේ සිදුවීම සිදු වී වසර 25 කට පමණ පසු මේ ලියමන ලියන මේ අවස්ථාවෙත් මගේ හදවත අතිශයින් රිදවයි. ඒ බැල්මේ සංවේදීත්වය මගේ ඇට මස් නහර විනිවිද ගිය එකක් නිසාදෝ ඊයේ පෙරේදා වූ සිද්ධියක් ලෙස මනසේ ජීවමාන වෙයි.

අනේ ඔය සතාව හොදට බලාගන්න...වෙලාවට කන්න බොන්න දෙන්න. මේ දෙන්නා නම් කැමතිම නෑ මෙයාව දෙනවට...අම්මා තවදුරටත් ලාල් අයියා සමග පවසා අප දෙදෙනා ඔහුට දැක්වූවාය.

හරි හරි භය වෙන්න එපා...මම හොදට බලාගන්නම්....යනුවෙන් පවසා ලාල් අයියා බයිසිකල් පැඩලය උඩ තම දකුණු කකුල තබා පිටුපස බැලුවේය.

එහෙනං මම ගිහින් එන්නම් යනුවෙන් නැවතත් පවසා පැඩලය මත කකුල බර කරන විටම යං පුතා... යනුවෙන් රොබිනා වෙත ඉගියක් කරන්නටද හෙතෙම අමතක නොකලේය.

බයිසිකලය සමග පෙරට යන්නට අදි මදි කල රොබිනා තෙත බරිතව තිබූ මිදුලේ කකුල් දෙකෙන් අඩියක් දෙකක් රූටා ගොස් පසුව සෙමෙන් ඉදිරියට ඇදෙනා බයිසිකලය සමග ඉදිරියට දිව ගියේ අප දෙදෙනා දෙස අවසන් බැල්මද යොමු කරමිනි. ඒ සමගින් මෙතෙක් හිරකරගෙන සිටි ප්‍රියයන්ගෙන් වෙන් වීමේ වේදනාව මගේ මලයාගේ මුවෙන් මහා හඩින් පිටවෙද්දී මමද එයට අත්වැල් ඇල්ලුවෙමි.

රොබිනාගේ අවසන් මතක සටහන ලෙස මිදුලේ වූ අඩි සලකුණක් කොටු හැඩයට පිහියෙන් කපා නිවෙස තුල තබන්නට කුඩා මා හට එකල සිත් වූයේ මේ සත්වයා හා අප අතර තිබූ දැඩි බැදීම නිසා වන්නට ඇත. තාත්තා සමග වචනයකුදු දෙඩීමෙන් වැලකී...ආහාර ගැනීමෙන්ද වැලකී දිනක් දෙකක් ගත කරන්නට තරම් අප දෙදෙනාගේ කුඩා සිත් දරදඩුව තිබුනි.

කුඩා ළමුන් සහ සුරතල් සතුන් එකට බැදෙන්නේ කදිම මිතුරන් විලසිනි. ළමා චිත්‍රපටි රැසක ඇති කුඩා දරුවන්ගේ හා සුරතල් සතුන්ගේ චරිත ඒ වගට සාක්ෂි සපයනු ඇත.  ඒ අත්දැකිම සිත් සේ විද ඇති නිසාම මා යම් දිනයක පියෙකු ලෙස මෙවන් තීරණයකට එළඹෙන්නට ඉඩක් නැත. ඒ එදිනට මගේ පුත්‍රයා විදිනා වේදනාව ඊට කලියෙන් මා අත්දැක ඇති නිසාය.



මම කාමරේ වෙසෙනා සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

අප නිවසේ මෙයින් පසුද සුනඛයන් ඇති දැඩි විය. ඒ කිසිවෙකුට රොබිනාට මෙන් වාසස්ථානය හැර යාමට සිදුවූයේ නැත. ඒ අය ගැනත් ඉදිරියේ දවසක ලියමි.

සයිබරයේ මහා මංගල්ලය වන සිහින අවුරුදු උළෙලට සහභාගි වන්නට කාලය පැමිණ  තිබේ. බ්ලොග් ලියන කියවන සැමටම විවෘත මේ ඉසව්ව පිළිබද වැඩිදුර විස්තර දකුණු පැත්තේ ඉහළින් එල්ලා ඇති ගැජට්ටුව මත කෙටීමෙන් ඔබට ලබා ගත හැකිය.

Sunday, April 6, 2014

102 කථා කරන පින්තූර

වචන දාහකින් වුවත් ප්‍රකාශ කරන්න බැරි දෙයක් ඉතාම පහසුවෙන් ඡායාරූපයකට කියන්න පුලුවන් කියලා බොහොම ප්‍රසිද්ධ අදහසක් තියෙනවා. ඒ කාරණය සත්‍යයක් බව ඔබට මේ ඡායාරූප කීපය දැක්කාම නිසැකවම හිතේවි.

මාසයේ පළමුවැනි ලිපිය ජාලයෙන් පෙරලලා අරන් එන එක නොවැ. මේ ඊයෙ පෙරේදා අහම්බෙන් නෙත ගැටුන ඡායාරූප කීපයක් මේ ලේබලය යටතේ අද සිරාගෙ කාමරෙන් ඔබත් එක්ක බෙදා හදා ගන්න මම තීරණය කොලා. මේ ඡායාරූප වලින් ඔබේ සිත් ගත් ඡායාරූපයත්...ඒ ඇයි කියන කාරණයත්...ඔබේ අදහස් එක්ක ගලපලා කමෙන්ටුවක් විදියට තබා ගියොත්...මෙතැන ලස්සන කථාවක් ගොඩ නැගේවි.

කොන්ස්තන්තින් ප්‍රෝනින් කියන්නෙ දෙවැනි ලෝක යුද්ධයේ අත්දැකීම් සම්භාරයක් ඇති වයස අවුරුදු 86 ක් වන විශ්‍රාමික යුධ සෙබලෙක්. දෙවැනි ලෝක යුද්ධයේ මතකයන් එක්ක බෙලරුසියාවෙ ඉදන් රුසියාවේ මොස්කව් නුවර වාර්ෂිකව පැවැත්වෙන ජයග්‍රහණයේ දිනය සමරන්න සෑම වසරකදීම ඔහු පැමිණෙනවා. නමුත් මේ වසරෙදි (2011 මැයි 9) ඔහු නියෝජනය කල යුධ හමුදා ඒකකයෙන් ඔහු පමණයි පැමිණ සිටියෙ. ඔහුගේ ඒකකයේ අනිත් අය හැමෝම දිවි ගමනෙන් සමු අරගෙන. ඔහුගේ මුහුණේ තියෙන ඉරියව් කෙතරම් දේ අපිට කියනවද ?

01

හබල් දුරෙක්ෂය මගින් ලබාගත්ත මේ ඡායාරූපයෙන් පෙනෙන්නෙ සිය ගනනක් වන තාරකා මණ්ඩල...එහෙමත් නැත්තං මන්දාකිණි. මේවායේ ඉතිහාසය අවුරුදු බිලියන 10 ක් පමණ ඈතට දිවෙනවා. මේ පෙනෙන ග්‍රහ වස්තු අතරෙ තවත් ජීවී විශේෂ ඉන්න බැරිද...ඒ දිහා බලාන ඉද්දි මට එහෙම හිතුනා. විශ්වය කියන්නෙ මොන තරම් නම් අභිරහසක්ද. කවදා සොයාගන්න පුලුවන් සත්‍යයක්ද.


02


අගහරු ග්‍රහයා මතට 2005 වසරෙදි ගොඩබාපු Sprit Rover නම් යානය විසින් අගහරු ලොව හිරු උදාව සිදුවන ආකාරය ඡායාරූපයට නගපු අවස්ථාවක්. අපේ ජීවිත කාලය තුල කවදාවත් පියවි ඇසෙන් දකින්නට ලැබෙන්නෙ නැති සිදුවීමක් තමයි මේ.


03

උතුරු අයර්ලන්තයේ ජන ශූන්‍ය බවට පත් කල වීදියක වාහන බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්න දිගු ගමනක තනිවම යෙදී සිටිනා යුධ සෙබලෙක්. මේ කාර්යය කරන අතර තුර සුළු හෝ අත්වැරදීමක් උනොත් ඔහුගේ ජීවිත ගමන එතැනින් නිම වෙනවා. මේ පියවර අතර තුර ඔහුට මොන තරම් දේ හිතෙනවා ඇතිද.

04


සද ගමන ගැන සමහරුන්ට එච්චර විශ්වාසයක් නෑ. මටත් එහෙමයි. 1960 දශකයේ හද තරණය කරන්න හැකි උනා නම් මේ වෙද්දි රටකින් රටකට ගුවන් ගමනක් යන තරමට එය පහසු විය යුතුව තිබුනා. තවත් සමහරු කියන්නෙ පිටසක්වල බලපෑම් නිසා ඒ ව්‍යාපෘතිය ඇමරිකාව විසින් නවතා දැමූ බවක්. 2020 දි තමයි නාසා ආයතනය නැවත සද ගමනක් ගැන හිතන්නෙ. කෙසේ වෙතත් නීල් ආම්ස්ට්‍රෝන් සද මත ඇවිදලා ආවට පස්සෙ ගත්ත ඡායාරූපයක් මේ. මෙතුමා වතාවක් ශ්‍රී ලංකාවේ සංචාරයකත් නිරත වුනා.

05


1945 අප්‍රියෙල් මාසයෙදි දුම්රිය මගින් රැගෙන පැමිණි යුදෙව් සිරකරුවන් එම දුම්රිය වලින් පිටතට පැමිණියේ තමන් දැන් නිදහස් යන හැගීමෙන්..නමුත් මේ පැමිණ තිබෙන්නේ ජීවිතයේ අවසාන දුම්රිය ගමන බව ඔවුන් දැන සිටියේ නෑ. හිට්ලර්ගේ සිර කදවුරු වල ගාල්වෙලා විවිධ ක්‍රම වලට මියැදෙන්න මේ අයගෙන් අති මහත් බහුතරයකට පසුව සිදුවුනා.

06

ඇමරිකාවෙ විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වෝකි නගරයේදි ගත්ත ඡායාරූපයක්. හිසට සෙවනක් නැති උනත් මේ මහලු මිනිසාගේ සිත ප්‍රීතියෙන් යුතු වෙන්න පුලුවන්. චිත්ත ප්‍රීතිය ඇති කරන්න හැම විටම ධනයට සහ බලයට බෑ.

07

1937 වසරේදි පැවැත්වුනු නාසි රැලියක්. මේ තරම් ජන ගංගාවක් එකම තැනක ඉන්නවා මම නම් දැකලාම නෑ

08


අජටාකාශගාමී මයිකල් කොලින්ස් විසින් ගන්නා ලද ඡායාරූපයක්. ඔහු සමග සද තරණය උදෙසා පිටත් වෙච්ච ඕල්ඩ්‍රින් සහ නීල් ආම්ස්ට්‍රෝන් ප්‍රධාන යානයෙන් වෙන් වෙලා අතුරු යානයකින් සද මත පා තැබීමට පිටත් වන ආකාරය මේ ඡායාරූපයෙන් පෙනෙන්නෙ.

09


තම රථයේ හැපී මිය ගිය 8 හැවිරිදි දරුවෙකුගේ දේහය අසල කම්පාවන ලිතුවේනියානු රියදුරෙක්.

10


1915 දි සිදුවුන ආමේනියාවේ මහා ජන සංහාරය අතරතුර කුසගින්නේ සිටින ආමේනියානු දරුවන් පිරිසකට පාන් කැබැල්ලක් පෙන්වමින් ඔච්චම් කරනා තුර්කි නිලධාරියෙක්.


11


පිලිපීනයේ දේශපාලකයෙක් තම පවුලේ සාමාජිකයන් ඡායාරූපයකට නැගුවෙ මෙන්න මේ විදියට. නමුත් ඔහුගේ ඝාතකයාත් මේ ඡායාරූපයේම සටහන් වේවි කියලා නම් ඔහු කිසි විටෙකත් හිතන්න නැතුව ඇති.

12


සුළං විදුලි බලාගාරයක සේවයේ නිරතව සිටියදී හදිසියේ ඇති වූ ගින්නකට හසුව මිය ගිය නෙදර්ලන්ත ඉංජිනේරුවන් දෙපලක් පිළිබද මතකය සටහන් වන අනුවේදනීය ඡායාරූපයක්. මේ දෙදෙනා ජීවතුන් අතර සිටියදී ගන්නා ලද අවසාන ඡායාරූපයද මෙයයි. 2013 ඔක්තොම්බර් මස 29 වෙනිදා තමයි මේ අවාසනාවන්ත සිදුවීම සිදු වී තිබෙන්නෙ.

13

























ඔහු පැමිණියේ දුම්රියක් බලාපොරොත්තුවෙන්...නමුත් නොසිතූ දෙයක් සිදු වූයේ. ස්වභාවික හේතුන් මත චීනයේ Shanxi Taiyuan දුම්රිය ස්ථානයේදි හදිසියේ මිය ගිය මගියෙකුගේ අත අල්ලාගෙන ඔහුගේ මරණින් මතු ජීවිතය යහපත් වෙන්නට ප්‍රාර්ථනා එක් කරනා බෞද්ධ භික්ෂුවක් ඡායාරූපයට හසුවී තියෙන්නෙ මේ විදියට, මරණය......කවදා කොයි විදියට අපිව හොයාගෙන ඒවිද...මේ ඡායාරූපය ඊට හොදම උදාහරණයක්.
14
2011 වසරේ පැමිණි සුනාමිය නිසා තම සියලු වත්කම් අහිමි වූ ජපන් ජාතික තරුණියක් හඩා වැටෙනා දුක්බර දසුනක්. 


15



බීමතින් අඩපණව බිම හිදගෙන සිටින තම පියා නගා සිටුවන්නට උත්සාහ කරනා කුඩා දරුවෙක්

16






මධ්‍යම යුක්රේනයේ Vinnitsa නගරයේ ජීවත්ව සිටි අවසාන යුදෙව්වා මරා දමන්නට සැරසෙන නාසි හමුදාවේ SS අලුගෝසු ඒකකයේ නිලධාරියෙක්. තමාගේ හිස දෙපලු වන්නට මොහොතකට පෙර තම සගයන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු සහිත මිනී වල ඉදිරියේ දණ ගසා සිටින ඔහුගේ හැගීම් කෙබදු වන්නට ඇතිද. මෙලෙස Vinnitsa නගරයේ ජීවත්ව සිටි 28000 කට අධික යුදෙව්වන් පිරිසක් නාසි හමුදාව කෘෘර ලෙස ඝාතනය කර තිබේ.


17

ලොව ඇති පාලම් අතරින්  අතිවිශාල වශයෙන් ඡායාරූපයට නගා ඇත්තේ 1937 දි ඉදිකල ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ගෝල්ඩන් ගේට් පාලමයි. ඒ තොරතුරු කෙසේ වෙතත් මේ පාලම මතින් ජලයට පැනීමෙන් වසරකට දිවි තොර කරගන්නා සංඛ්‍යාවට දහසකට ආසන්නයි. එය දිවිනසාගැනීම සදහා වැඩි වශයෙන්ම යොදා ගන්නා පාලම් අතර ලෝක මට්ටමේ දෙවැනි ස්ථානය ගෝල්ඩන් ගේට් පාලමට ලබාදීමට තරම් දායක වෙලා. ඇමරිකාවේ ඈත පළාත් වල සිට කිිලෝ මීටර් සිය ගනන් ගෙවා තම රථ වාහන මගින් මේ ස්ථානයට පැමිණ දිවි තොරකර ගන්නා අයද සිටී.

ඒ හේතුවෙන්ම දිවි නසාගැනීමට පැමිණෙන අයට තම තීරණය පිළිබද නැවත වාරයක් සිතා බලා ජීවත් වීමට පැතුමක් එක් කරන්නට එහි දුරකථනයක් තබා තිබේ. දිවි නසාගන්නට පැමිණෙන කෙනා ඒ මගින් තවත් පාර්ශවයකට ඇමතූ විටක ඒ හරහා ඔහුගේ තීරණය වෙනස් කිරීම මේ දුරකථනය එහි තැබීමේ අරමුණයි.


18


තමාගේ මව සිංහ ප්‍රහාරයකට හසුව මිය ගිය කල අතරමංව සිටි බැබුන් පැටියෙකු සහ සිංහයන් අතර ඇතිවුන අසාමාන්‍ය හැසිරීමත්, දරු පෙමින් ඔද වැඩී ගිය බැබුන් පියා නැවත තම දරුවා තමා භාරයට ගත් ආකාරයත් අපි මීළගට බලමු.

ඡායාරූප ශිල්පී Evan Schiller සහ ඔහුගේ බිරිද Lisa Holzwarth වන සතුන්, විශේෂයෙන් බිළාල පවුලේ සාමාජිකයන් ආරක්ෂා කිරීම උදෙසා තම ජීවිතයෙන් වැඩි කාලයක් ඡායාරූපකරණය සහ ඔවුන් පිළිබද ලිපි සම්පාදනය සදහා වැය කල යුවලක්. මේ සතුන්ගේ වටිනාකම ලෝකයටම වටහා දෙන්න මේ දෙන්නට අවශ්‍යයි.

බොට්ස්වානා රටේ සෙලින්ඩා කියන පළාතෙ වනෝද්‍යානයක මේ දෙදෙනා සංචාරයක නිරතව සිටියදී දැක්කෙ පොළවෙ තියෙන විශාල පදුරු වලට මුවාවෙලා බලාන ඉන්න බැබුන් රංචුවක්...ඊට මදක් ඔබ්බට වෙන්න සිංහයන් කීපදෙනෙකුත් සිටිය නිසා කුමක් හෝ යමක් සිදුවන බවක් ඔවුනට ඒත්තු ගියා. ඒ විපරම අනුව කාචයට හසුකරගත්ත ඡායාරූප පෙළ තමයි මේ.

තමාගේ ජීවිතය අවසන් වන්නට මොහොතක් තිබියදීත් තම දරුවා අත් නොහැර සුරැකිව තබාගෙන සිටින මේ බැබුන් මව දකින විට මට ඇතිවන සිතුවිලි හරිම සංවේදියි. මාතෘත්වය සහ එහි වටිනාකම ගැන මම මාස කීපයකට කලිනුත් ලිපියක් පල කලා. ඒ බව නැවතත් පසක් කල අවස්ථාවක් ලෙස මේ ඡායාරූපය දක්වන්න හැකියි.
















 මේ තැනැත්තිය කවුදැයි නොදැන කෙළිදෙලෙන් පසුවන අසරණ බැබුන් පැටියා.


 බැබුන් පැටියාගේ ආරක්ෂාවටදෝ පිරිමි සිංහයකු එළවා දමනා සිංහ ධේනුවක්.


තම රැළෙන් වෙන් වී සෑහෙන වේලාවක් අසල වූ දිරාගිය ගසක් මත සිට  පැටියා බේරාගැනීමට මාන බලමින් සිටි දරු පෙමින් නැහැවී ගිය බැබුන් පියා අවසානයේ කෙසේ හෝ තම බලාපොරොත්තුව සඵල කරගන්නට සමත් වූවේය.











බැබුන් පියා තම බලාපොරොත්තු සඵල කරගත් බව දැක්වෙන මේ ඡායාරූපය ගැන කෙතරම් දේ වචනයෙන් ලිව්වත්...ඡායාරූපයෙන් පෙනෙන තරම් ඒ කිසිවක් අපේ හදවත් වලට දැනෙන එකක් නෑ.

එහෙනං අදට අහවරයි. කථා කරන ඡායාරූප සදහා මූලාශ්‍රය


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...