Wednesday, January 30, 2013

134 ගම්පහ ගෙට්ටුවේ අය-වැය සහ නොකී කථා

ජනවාරි 27 වන දින පැවැත්වුනු ගම්පහ ගෙට්ටුව දැන් අතීතයට එකතු වී හමාරය. ඒ ගැන තව තවත් එකම දේ ලිවීමෙන් පලක් නොවන බැව් මගේ අදහසයි. මේ වට විට ඇති තරම් බ්ලොග් අවකාශයේ ඒ ගැන ලියවී තිබේ. ගම්පහ ගෙට්ටුව ගැන කෙටියෙන් යමක් කියනවා නම් එය ජීවිතයට අලුත් අත්දැකීමක් එක් කල අමතක නොවන දිනයකි. බ්ලොග් කරුවන් මෙන්ම බ්ලොග් කියවන අයද කාන්තා පිරිමි, උස් මිටි භේදයකින් තොරව එක පවුලක උන් මෙන් එකතු වූ දිනයකි, සතුටු වූ දිනයකි. අනෙක් අය ඒ පිළිබද ඔබට සමීප නොකල දෑ කියන්නට සිරා කොලුවා වන මම මෙතැන් පටන් රිසි වෙමි.

සමූහ ඡායාරූපය

2012 වසරේ ඔක්තොම්බර් මස බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය මගින් සිදුකල සමාජ සත්කාරය වූ අම්පාර, ගලහිටියාගොඩ මහා විද්‍යාලයට පොත් පරිත්‍යාග කිරීම පිළිබද ලියැවුනු ලියමනෙන් පසු බොහෝ දෙනා කියා සිටියේ මෙවර නොහැකි වුවත් මීළගට සිදුකෙරෙන  සද් කාර්යයකදී අත්වැල් බැදගැනීමට ඔවුන්ද සූදානම් බවයි. එසේ කියූ පිරිසත් අලුතින් බ්ලොග්කරණයට පැමිණි අයත් 2013 වසරේ මුල් කාර්තුවේදී  එකට එකතු කෙරෙන,  සුහදත්වය වර්ධනය කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවය ඒ අනුව පැනනැගුනා. අන්න ඒ වැඩසටහනේ ආරම්භය තමයි ගම්පහ ගෙට්ටුව.

මුලින්ම සුහද ක්‍රිකට් තරගයක් පවත්වන්න සත්ගුණවත් සිරා කොලුවා යෝජනා කලත් අවසානයේ එයට තව තවත් අදහස් එකතු වෙලා ගෙට්ටුවක් බවට පත්වුනා. මේ සදහා සංවිධාන ශක්තිය දෙන්න සිරා සමග සෑම් මුලින්ම එකතු වූවා. ඊටත් පස්සෙ අටම්පහුරෙ අටම් ගොයියත් අපිත් එක්ක අත්වැල් බැදගත්තා...ඒ අනුව අපි තිදෙනාගේම සංවිධාන ශක්තියෙන් තමයි ජනවාරි 27 වන ඉරිදා ගම්පහ මල්වත්ත ලංකාව පුරාවට විසිරී පැතිරී සිටින බ්ලොග් තරු වලින් හැඩ වුනේ.

ප්‍රවේශ පත්‍ර‍ අළෙවි කිරීමේ වගකීම මාධව අයියට (කම්මල)  සහ සමී මලයාට පැවරුනා. ඔවුන් ඒ කටයුත්ත ඉතාම හොදින් ඉටුකරලා පුදුමාකාර සහයෝගයක් ලබා දුන්නෙ.

තම තමන්ගෙ බ්ලොග් අඩවි වලට මුවාවෙලා නොපෙනී ඉන්න නිසාම සහෝදර බ්ලොග්කරුවන්ගෙ/කාරියන්ගෙ  සැබෑ ස්වරූපය දැක ගන්න හැමෝම ඉන්නෙ දැඩි කැමැත්තකින්... අන්න ඒ කැමැත්ත අත්තටු සලා ඉගිල ගිය දිනයක් ලෙසත් ගම්පහ ගෙට්ටුව ගැන හදුන්වන්න පුලුවන්.  සිරා කොලුවත් බොහොමයක් අය අදුන ගත්තා, කථා බහ කොලා. බ්ලොග් කරුවන්ට අමතරව තවත් අමුත්තන් දෙන්නෙක්  එදා උදේම ගම්පහ මල් වත්තට ඇවිල්ලා හිටියා. එක්කෙනෙක් මගේ මිත්තරයා, වූෂු ශූර අබේරත්න. ඔහු ගැන බ්ලොග් අවකාශයේ මම ලියපු ලියමනෙන් පස්සෙ ඔහුට නොයෙක් දෙනා කල උදව් නිසාම ඔහු මේ අවස්ථාවට එක් වුනේ ආරාධනයකින් තොරවම. බල්ගේරියාවෙ පුහුණු සැසියකට යන්න මුදල් නොමැතිව ලතැවෙන වෙලාවක ලියැවුනු ඒ ලිපියෙන් පස්සෙ ඔහුට අරමුදල් ලැබුනා. ඒ සදහා මූලිකත්වය ගත්තෙ මනුස්ස කම උතුරා යන දුකා අයියා ප්‍ර‍මුඛ විදේශයන් හි වෙසෙන සහෝදර බ්ලොග් කරුවන්...එයට කෘතගුණ දක්වන්නත් එක්ක තමයි අබේරත්න බ්ලොග්කරුවන් අතරට පැමිණියේ.

ගෙට්ටුව ආරම්භ කර සුලු වේලාවකින්ම බ්ලොග් කරුවන්ගේ මනුස්ස කමේ සුවදින් ගම්පහ මල්වත්ත සුවදවත් උනා. පැමිණි පිරිස හදුනාගෙන අවසන් වෙනවාත් සමගම පූරක රාජකාරිය කොරපු මගේ ලගට ආවෙ ඇවිද්ද පය ලියන සුදීක අයියා.....

මල්ලි මම අබේරත්න එයි කියලා හිතලා පොඩි තෑග්ගක් ගෙනාවා...මේක එයාට දෙන්න...

වූෂු ශූර අබේරත්නට ත්‍යාග වවුචරය පිරිනමන ඇවිද්ද පයේ සුදීක


ඒ රු. 5000/- වටින ADIDAS  තෑගි වවුචරයක්

ඔන්න ඉතිං හැමටම කලින් අබේරත්නට ඒ ත්‍යාගය පිරිනමලා තමයි ගෙට්ටුවේ ඉතිරි කොටසට අපි ගියේ. ඒ වෙලාවෙ වූෂු ශූරයාගෙ මුවේ ඇදුනු අව්‍යාජ සිනහව පිළිබද එතැන සිටි අය සාක්ෂි දරාවි. එය අප හැමෝටම සතුටක්. සුදීකා අයියටත් එය මහත්  සතුටක්  වුනා කියලා හිතනවා.

‍ක්‍රිකට් තරගය පැවැත්වෙන අතර තුර  මට කථා කලේ සංජීව මෙන්ඩිස් අයියා. ඔහු සිරාගෙ කාමරය ඇතුලුව අනෙකුත් බ්ලොග් අඩවි අස්සෙ නිතරම කරක් ගහන ලංකාවෙ ප්‍ර‍ධාන සමාගමක ඉහළ තනතුරක් දරන කෙනෙක්.  තමන්ගෙ පුංචි පුතා සහ බිරින්දෑ එක්ක ඔහු ගම්පහ මල්වත්තට ඇවිල්ලා හිටියෙ. දැඩි අවුරශ්මිය මැද්දෙ ලකුණු සටහන් කිරීමේ යෙදී සිටි මට ඔහුගේ හිස් වැසුම ලබා දෙන්නට තරම් ඔහු කාරුණික වුනා.

මල්ලි මේ තරගෙ දිනන අයට දෙන්න මෙන්න මගෙන් ටී ෂර්ට් දෙකක්...


මෙය පසුව එකතු කරන ලද ඡායාරූපයකි.
වමේ සිට පිළිවෙලින් - සුදීක, සංජීව මෙන්ඩිස්, ලොකු ජෝන්, මඩිස්සලේ නිෂාන්, සමී, වීයා


ත්‍යාග ලෙස ටී ෂර්ට් ලබන ක්‍රිකට් තරගය ජයගත් කණ්ඩායමේ නායක, දේවා

මෙවන් මනුසත් කුලේ උතුම් ඇත්තන් සමග දවසක් ගෙවන්නට ලැබීම පිළිබදවත් සිරා කොලුවා අනේක වාරයක් සතුටු වුනා... එක  බත්පතක්  සංජීවගෙ පවුලෙ තිදෙනාම බෙදාගෙන කන්න සැරසෙනකොට  ලබාදුන්න අමතර බත් පැකට්ටුව ඔහු ලබාගත්තේම නෑ.... වැඩිපුරත් එක්ක බත් තියෙන බව දන්වලා පෙරැත්ත කලාම තමයි ඔහු එය ලබාගත්තෙත්. ගෙට්ටුව අවසාන භාගයෙදි ඔහු අපෙන් සමුගන්න කලියෙන්

පුතේ මේ මාමලට වදින්න කියලා පුංචි එකාට කියපු අවස්ථාවේ ඒ පුංචි පැටියා අපේ ඉදිරියෙ දනින් වැටුනාම මගේ ඇස් කුහර තුල ගුලිවෙච්චි කදුලු බිදු කීපයක් අතරින් මට කියැවුනේ,

පුතා හොදට ඉගෙන ගෙන හොද මිනිහෙක් වෙන්න කියලා විතරමයි.

තාත්තා එක්ක පුංචි පුතා

මට තවත් එක් අයෙක් ගැන විශේෂ යමක් කියන්න අවශ්‍යයි. ඒ අපේ අටම් ගැන. මේ වෙද්දි ගෙට්ටුව දවසෙ ඔහුගේ හැසිරීම් අලලා බ්ලොග් කරුවන් හුදෙක් විනෝදයට නොයෙක් දේ කිව්වත් ලක්මාල් කන්දෙවිදානෙ යනු මිනිස් කම පිරි උතුම් මිනිසෙක්.

මම, සෑම්, අටම් ගෙට්ටුව ගැන බොහෝ දේ සැලසුම් කලේ මූණු පොතේ සිදුකල කථා බහෙන්, අටම් දවසෙ වැඩ රාජකාරි අවසන් කරලා රාත්‍රී 10 පහුවෙලා තමයි මේ කථා බහට එකතු වෙන්නෙ... බොහෝ දවස් වලට අළුයම 2 ආසන්න වනතුරු අපේ  කථා බහ දිග්ගැස්සෙනවා... අපි තිදෙනා බ්ලොග් අවකාශයෙ ගෙට්ටුව ගැන ලියපු පෝස්ටු සියල්ලම කලින් සැලසුම් කර ලියපු ඒවා. ඒ අනුව ගෙට්ටුව ගැන අවසන් පෝස්ටුව වෙනස්ම විදිහකට ලියන්න අටම් ට භාර කලේ ගෙට්ටුවට සති එක හමාරකට පමණ කලියෙන්...

ගෙට්ටුවට කෙමෙන් කෙමෙන් දින ලං වුනා. එක් රාත්‍රියක පොඩ්ඩක් හිටපන් සිරා මම අර කියපු එක ලිව්වා කියලා අටම් කවි පෙළක් මට මූණුපොත හරහා එව්වා.

පස්ටයි බන් කියන්න දෙයක් නෑ...සුපිරියි...උඹ නම් මාර කවියෙක්... කියලා මම කිව්වාම  අටම් කිව්වෙ....

මට එහෙම කවි ලියන්න බෑ බං... උඹලා පෝස්ටුව ලියන්න කිව්ව දවසෙ ඉදලා දවස් ගාණක් රෑ නිදිමරාගෙන එකින් එක ලියලා තමයි යන්තම් ඔය ටික ලියාගත්තෙ කියලා...

ඒ පිළිතුරෙන් මගේ හදවත කඩාවැටුනෙ නෑ කිව්වොත් මම මහ බොරුකාරයෙක්.... කුසවල් තුනක් පුරවන්න දිනපතා වෙහෙසෙන අටම් තමන්ගෙ නින්ද ඒ විදියට කැප කලේ අප වෙනුවෙන්, ගෙට්ටුවට තව එකෙක් හරි වැඩිපුර ගෙන්නගන්න කියලා හිතෙනකොට ඔහු ගැන මගේ හිතේ ඇතිවෙන්නෙ විශාල භක්තියක්.

ගෙට්ටුවෙ අවසාන තරගයත් නිම උනාට පස්සෙ තරමක් අනුමත වෙලා හිටිය අටම්ට සභාව අමතන්න අවශ්‍ය වුනා. මයික්‍රෆෝනය අතට අරගෙන පළමු වචන කීපය කථා කරද්දි ඔහුට හැඩුම් ආ අයුරු ඔහු අසලම සිටි මම හොදින් දුටුවා. සතුට වැඩි කමටදෝ ආයාසයෙන් වචන අමුණගෙන ඔහුගේ ශබ්ද කෝෂයේ වචන අනුවයි ඔහු එදා කථා කලේ. මම ඒ කථාව තුල අටම්ගෙ සැබෑ ස්වරූපය අත්වින්දා. අටම් බ්ලොග් මිතුරන් සමග ගත කල හෝරා කීපය නිසා  උකහා ගත්ත සැහැල්ලුව, සතුට දෝරෙ ගලා ගිය අවස්ථාවක් තමයි ඒ අවස්ථාව.

ආයාසයෙන් සභාව අමතන අටම්



ගෙට්ටුවෙදි හමූ වූ අනිත් සියලුම අයත් මට විශේෂ චරිත.. බොහෝ අය පළමු වතාවට තමයි දැක්කෙ,  ඒ අතරින් අඩවි රජා ගැන යමක් කියන්නම ඕනෙ... ඒකා ලියන ඒවායෙ හැටියට සෑහෙන්න දාංගලයක් ඇති කියලා හිතුවට...කියන්න පුදුමයි රජා හරිම අහිංසක විනීත, නිශ්ශබ්ද තරුණයෙක්. කණට ඇහෙන්න කථා කරන්නෙත් නැති තරම්. මගේම පාසලේ සහෝදරයෙක්.  ගාල්ලෙ ඉදන් ආපු වීයා එක්ක විතරයි මට එකට ඉදලා ෆොටෝවක් ගහන්න චෑන්ස් එකක් ලැබුනෙත්... සංවිධායක වැඩ නිසා එහෙට මෙහෙට දිව්වා මිසක් බොහෝ අය සමග කථා බහ කරන්නත් අවස්ථාවක් ලැබුනෙ නෑ...ඒ නිසාම ගම්පහ ගෙට්ටුවෙන් මට මතක තබා ගැනීමට අවකාශ සැලසුනු මූණත් තහඩු සංඛ්‍යාව බොහොම සීමිතයි. ඒ ගැන හිතනකොට ඇතිවන දුක හැර වෙනත් කිසිදු දුකක් මට ගෙට්ටුව පිළිබද නෑ.

සිරා සමග වී පොකුරෙ වීයා
ක්‍රිකට් තරගයට පෙර ශරීරය උණුසුම් කරමින්

ක්‍රීඩා කරන අනුපිළිවෙල තෝරන තුණ්ඩු ගුවනට මුසුවෙමින්



පපඩම් දුන්නෙ නෑ කියපු උන් බලාපියව්

සෑමාට එදා රාත්තිරියේ නින්ද නොගිය හේතුව, උමා නගාගෙන් අරවා එකක්.


වෙන් වෙන්  වශයෙන් සියල්ලන්ම මතක් කරන්න ගියොත් මේ පෝස්ටුවත් අනෙක් ඒවා වගේම වන නිසා බ්ලොග් කරුවන් විසින් අත්සන් කල පැමිණීමේ නාම ලේඛණය අනුව ගෙට්ටුවට පැමිණි සියලුම අය ආරූඩ නාමයන්ගෙන් සහ සැබෑ නම් සම්මිශ්‍ර‍නයෙන්  මේ විදියට දක්වන්නම්. ඒ ගැන කිසිවෙක් සිරා සමග අමනාප නොවේවි කියා සිතනවා. සංවිධායකයන් හැර අනෙක් අය මෙන්න මෙහෙමයි.

ප්‍ර‍දීප් /  නාඩියා /  ශම්මි /  සුමිත් නිරිඇල්ල /  වීයා /  රාමා /  Raj /  අඩවි රජා /  ඊ මේල් කවිකාරි / කම්මල /  රෙපා /  නලින් / තරියා / සමී / රත්ගමයා /  දිනෙල්ක /  චතුමිතු /ගවේෂක /  නෙරංජි / JD / නොහික්මුණු ඇස / සුදීක / ගැටයා / ගයාන් සම්පත් ගුණවර්ධන / දුලාන් ආසිරි දළුගම / දේවා / අන්තිමයා / දගයා-හිරු / අහිංසක සිංහයා / ශයංග අශාන්ද සිල්වා / Bunny / රස්තියාදුකාරයා / ප්‍රාර්ථනා සෙව්වන්දි / පවනි තරංගා / ඉෂාර / ජිංජිබිරිස් / චමී4යූ / රෝහණ කුමාර / අනූ / දිලීප / අන්තිමයා / ලොකු ජෝන් / පික්සු මලියා / සුළැගිල්ලා / බට්ටා / බුද්ධික කසුන් / ඕනයා /වැප් / A.Wickz / ඉන්දික / සිතුම් පැතුම් / කසුන් චානක / ප්‍ර‍දී / සිත්තරී මං / ජගත් පද්මසිරි / මඩිස්සලේ නිෂාන් / වෙඩික්කාරයා / පූසා / ප්‍ර‍සා / බුල්ටො / Mister Hyde / සිත්තමී / දමිත් ශ්‍රියන්ත / තිලිණ ෂෙහාන් / අයිෂ් / සිහින මදාරා / බිම්සර / ස්කූබි ඩූ / ඉන්දි / උමා / රොබොරෝසියා / කස්සා / සුහද සංහිද / ලක්රුවන් / සුදර්ශි /  / පසිදු මිහිරත්න / ශියානි වනසිංහ / හිමාෂා නිර්මාණි / නිශාන්ත /අනුරාධ නානායක්කාර / ආගන්තුකයා / භාග්‍යා / තහනම් වචන / ලක්ෂිත / දර්ශන

ගම්පහ ගෙට්ටුවට පැමිණි සියල්ලන්ටම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මගේ නොමද ස්තූතිය හිමි වේ.

අඩුපාඩුවක් වී නම් අපට සමාවෙනු මැන !



ගෙට්ටුවේ අයවැය

ආදායම්

ප්‍රවේශපත්‍ර අළෙවියෙන් ලද ආදායම
(88 x 200 )                                                 = 17,600

ඉන්ද්‍ර‍නාථ තේනුවර මහතා ලබා දුන් මුදල        =   6,000


සමස්ත ආදායම                      = 23,600 


වියදම් 

ක්‍රීඩාංගනය වෙන්කිරීමට                               = 3,000

තාවකාලිකව විදුලිය ලබා ගැනීමට                  = 4,909

මල්වත්තේ ප්‍රවේශ පත්‍ර වලට 
(88 x 50 )                                                  = 4,400

දිවා අහාර සදහා 
(100 x 100)                                                = 10,000

සමරු තිළිණ සදහා                                      =   3,000

DJ සංගීතයට                                              =   5,000

ටිකට් පොත් මුද්‍ර‍ණය / සැකසීම                      =      300  

සමස්ත වියදම                      =  30,609 

සමස්ත හිගය                       = 30,609 - 23,600

                                         = (7,009)

හිගය පියවාගත් ආකාරය

වෙඩික්කාරයා                                         =         500
නලීන් දිල්රුක්ෂ                                     =          800
සිරා/සෑම්/අටම්                                        =        5709    


සටහන්  

රු 120/- වටිනා කෑම පැකැට්ටුව අවම 100 ක ප්‍ර‍මාණයක් මිළදී ගන්නේ නම් රු 100/- බැගින් ලබා දීමට හැකියාව ඇති බව කෑම සැපයූ අය  කියූ නිසාත්, ගෙට්ටුව සදහා වූ අන්තර්ජාල පෝරමය 120 දෙනා සම්පූර්ණ කර තිබූ නිසාත් කෑම පාර්සල් 100 ඇනවුම් කලෙමු.

කෑම සැපයූ අය සතුව බිල් පොතක් නොමැති හෙයින් ඊට අදාළ බිල්පතක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැත.


ක්‍රීඩාංගනය වෙන්කරන ලද රිසිට් පත


තාවකාලික විදුලි සැපයුමට අදාළ රිසිට් පත
සමරු තිළිණ සහ ටිකට් පොත් මුද්‍ර‍ණය
උද්‍යානයට ඇතුල්වීමේ ටිකට් පත







DJ වියදම
උද්‍යානයට ඇතුල්වීමේ ගාස්තුව ඇතුලත්ව අප විසින් නිකුත් කල ටිකට් පත

අප්‍රේල් මස පැවැත්වෙන සයිබරයේ සිහින බක්මහ උළෙලේදී නැවතත් හමුවෙමු !


මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා,


ප.ලි

විදුලිය සදහා වැයවන මුදල සොයාගැනීම පිළිබද අවිනිශ්චිත තත්වයක සිටියදී ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වී එයින් අප ගලවාගත් ඉන්ද්‍ර‍නාථ තේනුවර ඇදුරාණන්ට අපගේ නොමද ස්තුතිය හිමි වේ.

ගෙට්ටුව පිළිබද ප්‍ර‍චාරනයට දායක වූ සියලුම සින්ඩිකේටර වලට සහ බස් රේඩියෝ කණ්ඩායමට සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ස්තූතිවන්ත වෙමි.

ගම්පහ ගෙට්ටුව හරහා අලුත් වූ  බ්ලොග් අවකාශයේ මිතුරු දම තවත් ශක්තිමත් කරමින් වසර අග සිදුකෙරෙන සමාජ සත්කාරයට යොමු වෙමු.

ගම්පහ ගෙට්ටුව ගැන තවත් අය කියූ කථා....














Saturday, January 26, 2013

100 මොන්ගලයා සහ නයිට් කඩේ

ඒ සිරා කොලුවා පාසලෙන් නික්මෙන්නට ඔන්න මෙන්නව තිබූ සමයයි. සෑම හමුවීමකම වෙන්වීමක් ඇත යන බුදුන්ගේ ධර්මය පසක් කරමින් වසර ගණනාවක බෑන්ඩ් ජීවිතයෙන් මෙන්ම පාසලෙන්ද  සමුගන්නට පෙර සහභාගි වීමට නියමිත අවසාන වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලයි. බෑන්ඩ් කෙරුවාව කල උන් මේ කියන සමයේ ඇති අවිවේකී බව හොදාකාරව දනී. උදෑසන සිට අදුර වැටෙන තැන දක්වා ගිණි අව්වේ පිච්චෙමින් පහුණුවීම් කිරීම බෑන්ඩ් උණ තියෙන උන්ට අරුමයක් නොවේ. තමන්ගේම  පාසලේ වසරකට වරක් එළැඹෙන අති උත්කර්ෂවත්ම අවස්ථාව උපරිමයෙන් වර්ණවත් කිරීම අපගේ ඒකායන පැතුම විය. මගේ පාසලේ ක්‍රීඩා උත්සවය නරඹන්නට පාසලට සම්බන්ධයක් නැති පිටස්තර අයවලුන් පවා විශාල ලෙස පැමිණේ. ඒ එක වගේ දක්ෂ බෑන්ඩ් කණ්ඩායම් දෙකක් (පෙරදිග/අපරදිග) මේ කියන දවසේ හැන්දෑවේ පෙන්වන වැඩ කිඩ බලාගන්නටය. දරුවන් අතින් ගත් ආදි ශිෂ්‍යයන්ද මේ කියන දවසට ලංකාවේ සිටී නම් පැමිණීම කලක සිට පැවතෙන චාරිත්‍ර‍යකි. ඒ සියලු කාර්යයන් නිමාවට පත් වූ පසුව බෑන්ඩ් කණ්ඩායම් දෙකේම සහභාගිත්වයෙන් ඇරඹෙන සංගීත සාජ්ජයට නර්තනයෙන් දායක වී   සිය පාසල් සමය නැවතත් ආවර්ජනය කරගැනීමට මෙන්ම පැරණි මිතුරන් හමුවීමටද අවස්ථාව සැලසෙන නිසාවෙනි.

ක්‍රීඩා උළෙල පවත්වන්නේ හෙට නම් අද රාත්‍රිය අපට නිදි නැති රැයක්ය. ඒ කණ්ඩායමේ නිළ ඇදුම් සැකසීම, බූට් පොලිෂ් කිරීම, වාදන භාණ්ඩ පිරිසිදු කර බ්‍රාසෝ යොදා දිස්නය වැඩි කිරීම, ස්වර ප්‍ර‍ස්ථාර පිටපත්  කිරීම  ආදී  මෙකී නොකී  කාර්යයන් රැසක් ඉටු කරගැනීමට ඇති නිසාවෙනි. මධ්‍යම රාත්‍රිය පසුවූ පසුවත් ඇතැම් දිනෙක අපගේ පුහුණුකරුවන් සතුටු වන තෙක් පුහුණු වීම් පැවැත්වීම බෑන්ඩ් කණ්ඩායම් දෙකේම සිරිතක්ව පැවතිනි. මෙවැනි විටෙක පාසලට යාබද පදිංචිකරුවන්ගේ නින්දට නම් දෙවියන්ගේම පිහිටය. ඔවුන්ගේ දරුවන් බහුතරයක් අපේ පාසලේම ඉගෙනගත් හෝ ඉගෙනගන්නා නිසාවෙන්ම මුවින් නොබැන ඉවසීමට ඔවන්ට සිදුවිය.

පාසලේ ගුරු දෙමව්පියන් මෙන්ම, පාසල් දරුවන්ගේත් අභිමානය බෑන්ඩ් කණ්ඩායම්  දෙක මතින් මනින නිසාමදෝ එකල අපට තිබුනේ යෝධ ශක්තියකි. උදෑසන සිට මැදියම් රාත්‍රිය එළඹෙන තෙක් පුහුණුවීම් කලද එකෙකුවත් අතන රිදෙනවා, මෙතන කකියනවා යැයි අඩෝවැඩියාවන් නැගුවේ නැත.

මෙවැනි රාත්‍රියක, හොදයි කොල්ලො....නියමෙට තියෙනවා...දැන් ඉතිං නලා ටික පොලිෂ් කරලා, ඇදුම් ටික ලෑස්ති කරලා ඉක්මනට නිදාගනිල්ලා... මම උදේම එන්නම්....කියමින් අපේ බෑන්ඩ් මාස්ටර්  අපෙන් සමුගත් පසුව සියල්ලන්ටම විරාමයක් ලැබේ. නිවාසාන්තර ක්‍රීඩා උළෙල සදහා සිය නිවාසයන් සකසන අවශේෂ සිසුන් නිසා ක්‍රීඩා පිටියේ පාලුවක් නැත...හතර අතින් එල්ලවී ඇති ආලෝක ධාරා නිසා පිටිය තුල අදුරක්ද නැත.... ඇතුලුවෙන පිටවෙන ගේට්ටු වෙනදා මෙන් නොව උදෑසන දක්වාම  විවෘතව පවතින්නේ සිය පෞද්ගලික වාහන වලින් පවා නිවාස සෑදීමට අවශ්‍ය පිදුරු, පුවක් කොට, උණ ගස් ආදිය ප්‍ර‍වාහනය කරන සිසුන්ට පහසුවක් වන පරිදිය. හොදම නිවාසය තෝරා එයට ත්‍යාගයක් ලබා දීම එහි රහසයි.

මෙවැනි රැයක බෑන්ඩ් කණ්ඩායමේ වයසින්  මුහුකුරා ගිය උන්ව සිටි  සිටි සිරා, ජපන් චමී, ජෝති, අයිය බඩා, කිඩා ආදීන්ද පුහුණුකිරීම් වලට සහයෝගය දීමට පැමිණෙන, බෑන්ඩ්  කණ්ඩායමෙන් සමුගෙන සිටින ලොකු අයියාද  පාසල ආසන්නයේ තම මාමාට අයත් රාත්‍රී කෑම කඩයක් (නයිට් කඩයක්) බලා කියාගෙන සිටි අපේ පැරණි සාමාජිකයකු වූ මොන්ගලයාගේ කඩයට ඔන්දස්පොට් වීම සාමාන්‍ය සිදුවීමකි. තාරුණ්‍යයට එළඹීමත් සමගම මධුවිත සමග බැදි හාදය අපට  ආගන්තුක දෙයක් නොවූ නිසාවෙන්දෝ මේ රාත්‍රිය සුලුවෙන් හෝ සැමරීම සියල්ලන්ගේම අභිප්‍රාය විය.

http://www.sundayobserver.lk/2012/07/22/z_p-39-A-more-01.jpg

මොන්ගලයාගේ දායකත්වයෙන් කඩ කාමරයේ  මුල්ලක හැංගිමුත්තන් කරමින් සිටින ගල් බෝතල් කීපය ඒවා ඔතා තිබූ කඩදාසි කොල අතරින් හිනැහීමට වැඩි වේලාවක් ගියේ නැත. පිටතින් අගුලු දා දොරවල් සියල්ල වසා ඇති නයිට් කඩයේ මැද්දට වෙන්නට තිබූ මේසයක් වටා  සියල්ලෝ එකතු පහදුව සිටී.

කණ්ඩායමේ මූලිකයා ජේෂ්ඨත්වය අනුව ලොකු අයියාය...ඒ අනුව එහිදී තීරණ ගැනීමේ වගකීම ඔහු සතුය...

අඩේ මොන්ගලයා...උඹ බයිට් එකට මොකුත් ලෑස්ති කලේ නැද්ද බොල.... ලොකු අයියාගේ ශ්‍රී මුඛය විවර වෙයි...

අනේ ලොකු අයියෙ, මම අපිට කන්න කොත්තු 3ක් ඉතුරු කරගෙන හිටියා අපේ මාමා අන්තිම මොහොතෙ කොත්තු හොයාගෙන ආපු යාලුවෙක්ට ඒක දීලා පිටත් කොලා... මටත් කඩේ හෝදලා නිදාගනින් කියලා ගෙදර ගියේ....  කටක් ඇරලා කියන්න පුලුවනෑ අපිත් මෙතන අද සැට් වෙන්න යනවා කියලා...එහෙම වුනා නම් මගෙ පුකට දෙකක් දීලා මාමා මාව අදම එළවනවා...

හරි හරි බන් ඒක අවුලක් නෑ....කෝ මේ කිඩා.... උඹේ වාහනේ....ඔය අයිය බඩා එක්ක හරි ජෝතියා එක්ක හරි ගිහින් වතුර මල හන්දියේ නයිට් කඩෙන් කොත්තු තුන හතරක් අරන් වරෙන්... එකල කිඩා සතුව බබා මෙන් පාවිච්චි කල ස්ටෑන්ඩර්ඩ් වර්ගයේ පාපැදියක් විය. බෑන්ඩ් කණ්ඩායමේ හදිසි ප්‍ර‍වාහන අවශ්‍යතා රාශියක්ම ඉටු කලේ උගේ ඒ වාහනයයි.

කොත්තුව සම්ප්‍රාප්ත වීමට ගත වූ පැය භාගයක පමණ කාලය වීර කථා, දුෂ්ඨ කථා, ප්‍රේම කථා, වල් කථා, දුක හිතෙන කථා, භය හිතෙන කථා ආදියෙන් යුක්ත වූ නිසාම කාලය ගතවෙනවා දැනුනේ නැත...

තම තමන්ගේ වීදුරු වල අඩිය වසා ඉහළට ඇදුනු  දුඹුරු පැහැ දියරය සමග සැන්ටිං ද එක්වූ පසු චියර්ස් යනුවෙන් අරක්කු සොයාගත් එකා පවා  මතක් කිරීමට තරම් අපේ උන් නිහතමානී විය. බිදෙන් බිද මධුවිත ආමාෂ ගත වන විට මේ කියන සැට් එක  සුපුරුදු රිද්මයෙන් තම තමන්ට ආවේණික හැසිරීම් රටා වලට එළැඹිනි. ජෝතියාට සහමුලින්ම මවු භාෂාව අමතකව ගිය අතර ඉංග්‍රීසිය පමණක් දෙඩුවෙහිය. නිවස අසබඩ යුවතියක හා පෙමින් වෙලී සිටි කිඩාගේ ආදරයේ වේදනාවද මේසය ඉස්මත්තේ දෝරෙගලා යයි. එයටම එක් වූ ලොකු අයියාද තවත් කථාවක් ඇද බායි...බයිට් එක ඩයට් කරන කීප දෙනෙකුද මේ අතර සිටි හෙයින් කැලණි පාලම යටින් පාවුනු පොල්ලෙල්ලක් මෙන් ටවුමෙන් සම්ප්‍රාප්ත වූ කොත්තු කීපය අපට තොත්තු දී ඉක්මනින්ම මේසයෙන් සමුගත්තෙහිය. දැන් වේලාව අළුයම දෙකට පමණය... බයිට් ගෙනෙන්නට මුදල්ද නැත...

ඒ අවසරයෙන් මොන්ගලයාගේ නයිට් කඩය සිසාරා සියල්ලනගේම යුගදෙනෙත් සැරිසරන්නට විය. අප්පට මේ තියෙන්නෙ....එකෙක් බෙරිහන් දෙයි. උදෑසන අළෙවියෙන් පසු ඉතිරි වී  තිබූ ඉදි ආප්ප 50 ක් 60 ක් වීදුරු ෂෝ කේසයේ සිට අපට ඉගි බිගි පායි... ඒ ආසන්නයේම පත්තර කොළයකින් වසා ඇති හට්ටියකි...

මොනවද මොන්ගො මේ වහලා තියෙන්නෙ.... ලොකු අයියා විමසයි...

උදේ හදලා  ඉතුරු චිකන් හොදි....බමන මතින් මොන්ගලයා පිළිතුරු දෙයි....

හා හා ඔය තියෙන්නෙ නියම බයිට් එකක්.... ජෝතියා...ඔය ටික ලෑස්ති කරලා ගනින් එහෙනං... ලොකු අයියා උපදෙස් දෙයි...

ඉදිආප්ප උදෑසන ඒවා වුවත් මේවා අනුභවයට කිසිවෙකු මැලි වූයේ නැත... ඇක්ස්ට්‍රා ස්පෙෂල් දියරය සමග ඉදිආප්ප පල්ලම් බැස්සේ උගුරට හොරෙන් මෙන්ය. ඉන් අනතුරුව ආහාර දමන ෂෝකේසයේ ඉතිරිව තිබු ගල් බනිස්, පකඩ, සීනි මුරුක්කු, ජෝඩු බනිස් ආදියටත් වගකියූ මේ බඩජාරීන්   නාරං බික් බෝතලයටද  අත එබීමට තරම් සැහැසි විය. සිදුවන පාඩුව පිළිබද වැටහීමක් නැතිවාක් මෙන් මොන්ගලයා බලා සිටී.

දැන් සියල්ල අවසානය... මොන්ගාගේ බෝතල් සියල්ලම හිස් කිරීමට ලැබිම හැමටම ප්‍රීතියකි. මාමාගේ නයිට් කඩයේ තිබුනේ බාල වර්ගයේ  හීනි කකුල් සහිත යකඩ පුටු වර්ගයකි...සැට් වීම අවසානයේ පුටුවේ කකුල් දෙකෙන් ශරීරයේ සමබරතාවය බලන්නට ගොස් කකුල් කඩාගෙන පුටුව සමග මුලින්ම බිම පත බෑවුනේ ජෝතියාය. ඉන් අනතුරුව එවැනිම විපතකට ලක් විමට බෝ පැලයක් බදු සිරා කොලුවාටද  සිදු විය....

අනේ වදින්නං ඔය පුටුවලින් බැහැපල්ලා... හෙට උදේට මට මාමගෙන් ගුටි කන්න බෑ යකෝ... අපේ මාමා සෑහෙන්න වසයි... දෙයියන්ගෙ නාමෙට දැන් ඉතිං පලයල්ලකො.... මොන්ගලයා අසරණ විලාශයෙන් වැද වැටේ... ඒ අවසරයෙන් සියල්ලෝ උගෙන් සමුගෙන ප්‍ර‍ධාන මාර්ගයට අවතීර්ණ වෙයි...

ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත්තේ පාසලේ නිවාස සෑදීමට පුවක් කොට කීපයක් කර මතින් රැගෙන යමින් සිටි කණිෂ්ඨ සිසුන් කීප දෙනෙකි.

අඩෝව්....පොඩ්ඩක් ඉදපන් අපිත් සපෝට් එකක් දෙනකන්.... පියවි ලෝකයේ සිටින කල්හි ඉතාමත් නිශ්ශබ්ද ජෝතියා තුල ගල් අරක්කු මගින් සිදු වූ විපර්යාසයන් නිසා  ඔහුගේ හැසිරීම සිංහ සෙයියාවක් ගෙන ඇත. ජෝතියාගේ මොර දීමට බියපත් වූ කොල්ලෝ පුවක් ගස සමගම ඉද්ද ගැසුවාක් මෙන් නතර වී බලා සිටී.... අනතුරුව ජෝතියා පුවක් ගසට ඉදිරියෙන්ම කර දෙයි.... පාටි දැමූ නඩය ඊට පිටුපසින් ඇදෙයි. තම ශරීරය කෙලින් අද්දවා ගැනීමට අපහසු තත්වයක සිටි ජෝතියා සමග පුවක් ගස පාර පුරා යයි. ඊට පිටුපසින්  එය ඔසවාගෙන යන උන්ටද ඒ ආනිශංසයමය.  බලා සිටින්නට ආශා සිතේ. කොමිටල් විජිතයකි.

අතුරු ආන්තරාවකින් තොරව  පාසලට සම්ප්‍රාප්ත වී කෙටි නින්දකින් පසු සිරා කොලුවා පසුදා උදෑසන ඇහැ ඇරියා පමණකි... උදෑසනම මා හමුවන්නට අපේ නිවාසයේ ශ්‍රියාණි ටීචර් පැමිණ සිටියාය...

 ගුඩ් මෝනින් මිස්... සිරාට කියන්නට ලැබුනේ එපමණකි.

තාම වෙරිද ? උඹලට පාරක් පාරක් ගානේ බිබී ඇවිදින්නද යකෝ අපි ඉගැන්නුවෙ... අර පුංචි කොල්ලො ටිකකට උඹලා ඊයෙ රෑ දීපු වදේ ගැන මට  කීප දෙනෙකුම  කිව්වා... උඹ මගේ ගෝලයෙක්  නිසා මට රිදෙනවා වැඩියි,  හවුස් එකට දුවලා දිනපු නිසා පොඩි උන්ට උඹ වීරයෙක් වගේ.... විහිං කාගන්නවා තමන්ගෙ නම... ගොන් වැඩ කරන්න එපා මෝඩයෝ...

තරහා වැඩි කමට ඇගේ මුව ගොලුවී ගොස්ය...දෙනෙතින් කදුලු වැගිරේ... සිරාට පෙරදා රාත්‍රියේ කරපු ගොන්කම ගැන මදින් මද වැටහේ...ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්ට නොහැකිය. මට කියන්නට දෙයක් නැත...බිම බලා සිටියා පමණකි... තවත් මද වේලාවක් මා දෙස තරහින් බලා සිටි ඇය සාරි පොටද අතින් දරාගෙන ඈතට ඇදුනාය...

ක්‍රීඩා උත්සවයේ වැඩ සටහන සාර්ථකව අවසන් කල පසු කණ්ඩායමේ වැඩිහිටි සියල්ලෝ සිදුවූ වරද පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිනි...මින් මතු කණ්ඩායමේ කිසිවෙකුත් කණ්ඩායමේ සිටින තාක් කල් මත්පැන් පානය නොකල යුතු බවත්...කණ්ඩායමෙන් ඉවත් වූ අය මත්පැන් පානය කර කිසිදා පාසල වෙත නොපැමිණි යුතු බවත් තීරණය කෙරිනි....

ඒ අනුව අපෙන් පසු රාත්‍රී සාද පැවැත්වීමට අපේ උන්ට යලිදු  අවකාශ ලැබුනේ නැත.

වර්තමානයේ අපේ බෑන්ඩ් කණ්ඩායම තුල පවත්වාගෙන යන විනය හා සම්බන්ධ දැඩි නීති රීති අධීක්ෂණයට මේ පාටි දැමූ උන්ද නිරන්තරව එක්වේ. වචනයේ අර්ථයෙන්ම  නියම ගුරුවරියක වූ එතුමිය එදා මා හට කනට ගැසුවා නම් දුක නැත. එහෙත් ඇගේ දෙනෙතින් කදුලු බිදුවක් සැලුනේ මා නිසාවෙන් යයි මගේ චිත්ත සන්තානය නිතරම මා වරදකරු  කිරීම නිසාවෙන්ම මෙවැනි වරදක් යලිදු නොකරන්නට මා හට අධිෂ්ඨානය එන්නත් කලේය.

වර්තමානයේද මම එතුමිය මුණ ගැසෙන්නට යමි. දුක සැප විමසා එමි. අපේ සාර්ථකත්වය ඇගේ සතුට බව ඉදුරාම දනිමි.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

අප එදා කල වරද  පාසල් යන වයසේ කිසිවෙකුත් ආදර්ශයට නොගනිත්වා...

27 ඉරිදා ගම්පහ ගෙට්ටුවට පැමිණෙන ඔබ සියල්ලෝම හමුවෙන්නට බලාපොරොත්තුවෙන් සිටිමි.

අපේ බෑන්ඩ් මාස්ටර් හමුවී කථා බහ කිරීමටද බොලාට අවස්ථාව උදා වේ.

එදින පැවැත්වෙන තරගයක් හා ගීත ගායනය පැටලී ඇති හෙයින් හොදවායින් ගීත ටිකක් කට පාඩම් කරගෙන ආවාට කම් නැත. ජයග්‍රාහකයන්ට සමරු තිළිණ පිරිනැමේ.

ක්‍රිකට් තරගයක්ද පැවැත්වෙන හෙයින් යුවතියෝ ඊට සූදානමින් පැමිණෙන්න.

අපේ මොන්ගලයා ගැන දැන් ආරංචියක් නැත... වසර 12 කින් පමණ අප මුණ ගැසීද නැත...ඈත රටක නෞකාවක සේවය කරනා බවක් පමණක් දැනගන්නට ඇත.








Tuesday, January 22, 2013

99 රු 7850/- ට ෆියට් කාර් එකක්

එදා පත්තර ගැන ඔන්න අදත් අපි කථා කරන්නයි මේ සූජානම...පළමු ලිපිය කියවන්න අතපසු උනානම් මෙතැනින් ගොහින් එය කියවාගෙන ඒම ඔබට පහසුවක් වේවි. 

මුල්  ලිපියෙන් අප ඡායාරූප වාර්තාවක් වෙත අවධානය යොමු කලත්, පැරණි පුවත්පතක බොහොම රසවත් අංගය තමයි වෙළද දැන්වීම්...වෙළද දැන්වීම් කලාව වර්තමානයේ ඉතාමත් තරගකාරී ව්‍යාපාරික ස්වරූපයක් ගත්තත්, අතීතයේදී මේවා පුවත්පත් ආයතන මගින්ම තමයි බොහෝදුරට සැකසීම කරලා තියෙන්නෙ... සිරා කොලුවා මේ ඉදිරිපත් කරන්නෙ 1959 සැප්තැම්බර් මාසයේ ලංකාදීප පුවත් පතේ  පලවූ දැන්වීම් (අදින් වසර 50 කට එහා) ඒ කාලයේ පුවත් පත් කලාවේදී භාවිතා කර තිබෙන ඇතැම් වචන අදනම් සිනහා උපදවන සුළු වුවත්, මේ කියන අතීතය නොවන්නට අද අප කියවන තත්වයට පුවත් පත් කලාව උසස් නොවෙන්නත් ඉඩ තිබුනා. ඒ නිසාම පැරණි පුවත්පත් වල භාවිතා වී ඇති භාෂාව රස උල්පතක්...

විවිධ දැන්වීම් රාශියක් අතරින් අද මෙම ලිපියට පාදක කර ගන්නෙ වාහන සහ එයට සම්බන්ධ දෑ පිළිබද පුවත් පතේ පළවී තිබූ  දැන්වීම් කීපයක්... එකල පැවති තාක්ෂණයන් සහ වාහන සතු සුවිශේෂ උපාංග (options)  පිළිබදවත් යම් අවබෝධයක් මෙමගින් ලබා ගැනීමට ඔබට හැකි වේවි.

මුලින්ම තියෙන්නෙ ප්‍ර‍ංශයේ නිෂ්පාදිත රෙනෝල්ට් කාර් රථයක් පිළිබද දැන්විමක්...මෙවැනි දැන්වීමක් වෙනුවෙන් වර්තමානයේ තරුණියන් පෙනී සිටින ආකාරය සහ එදා ඒ වෙනුවෙන් නිරූපිකාව පෙනී සිට  ඇති ආකාරය අතර සෑහෙන පරස්පරයක් තියෙනවා.. මේ තරුණිය අද මේ දැන්වීමට පෙනී සිටිනවා නම් ඇගේ ශරීරයෙන් වැඩි කොටසක් පාඨකයන්ට දැක බලා ගැනීමේ භාග්‍ය හිමි වෙනවා සිකුරුයි. ඒකට කෙටියෙන් කියන්නෙ ගුණ ධර්ම පහළට, ගවුමෙ වාටිය ඉහළට කියලයි.

Renault Dauphine




දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි.

රූං......

එය වචනයෙන් දෙකෙන් විස්තරයකි.
ඇත්තෙන්ම එය ඒ අතින් විශිෂ්ඨයි.
අපි මේ කියන්නේ රෙනෝල්ට් ඩෝෆින් රථය ගැනයි.

දොර 4යි. 5 දෙනෙකුට යා හැකියි. ගැලුමකට සැතපුම් 45

ඔව් එය කදිම කුඩා මෝටර් රථයකි.
පිරිමැස්මදායකයි, පහසුයි, සීඝ්‍ර‍ ක්‍රියාකාරිත්වයෙන් යුක්තයි, ප්‍ර‍බලයි.
ඕනෑ තරම් බලය ඇතුව විදුලිය මෙන් ගමන් කරයි.
මෙහි පැමිණ මේ පුදුම ඩෝෆින් රථය බලන්න.

සීමාසහිත සී.ඇෆ්.ටී ඉන්ජිනියරින්
467, යුනියන් ප්ලේස්, කොළඹ 2.




රෙනෝල්ට් ඩෝෆින් රථයක්
http://encarsglobe.com/data_images/models/renault-dauphine/renault-dauphine-04.jpg

Fiat 600

මාතෘකාව දැකලා රු 7850/- ට කාර් එකක් ගන්න හිතපු ඇත්තො මේ දැන්වීම හොදින් කියවා බැලුවාට කමක් නෑ... හැබැයි ඒ අය ඒ මුදලට ෆියට් 600 වර්ගයේ රථයක් මිලදී ගන්න ජීවත් විය යුතුව තිබ්බේ 1959 කාල සමයේ. ඒ අවදියේ ලංකාවෙ ජනතාව අතර සෑහෙන්න ජනප්‍රියතාවයකට පත් වූ ඉතාලියේ නිෂ්පාදිත රථයක් තමයි මේ. ප්‍ර‍මාණයෙන් කුඩා වීමත්, ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ වීමත් එයට හේතු ලෙස දක්වන්නට පුලුවන්...සිරිලංකා වැසියො නිෂ්පාදකයා තිබ්බ නමට අමතරව දේශීය වශයෙන් වාහන වලට නම් දාන්න රුසියො නොවැ...අන්න ඒ අනුව මේ රථයට තිබ්බ කැතම කැත නම තමයි “බග් ෆියට්“ (Bug Fiat). මේ දැන්වීමේ  රථයේ විශේෂතා ලෙස දක්වා ඇති කොටස විශේෂයෙන් බලන්න. ඒ අවදියේ රථ වාහන තාක්ෂණය පිළිබදවත් යම් අවබෝධයක් ඔබට එමගින් ගත හැකි වේවි.


දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

ෆියට් 600 ආසන හතරේ සැලූනය
(පදවන්නා හැර හතර දෙනෙකුට යාමට බලය ඇත.)
අමතර විශේෂාංගයන්ගෙන් යුතුව දියුණු කර තිබේ.

* කරකැවිය හැකි විශාල අංශ කවුළු
* සුවදායක ආසන 4 ක් සහිත මැනවින් ආලෝකමත් ඇතුලත
* පසුපස අසුනේ හාන්සි වන කොටස ඇකිලිය හැක.
* ස්ප්‍රේ වින්ඩ්ස්ක්‍රීන් වොෂරය
* සූට් කේස්, පාර්සල්, හා බෑග් ආදිය පහසුවෙන් ගෙනයාම සදහා බොනට්ටුව යට බඩු බාහිරාදිය ගෙනයාමේ  ඉඩකඩ.
* දිසා සංඤාවන් හා ශීර්ෂ පහන් (හෙඩ් ලයිට් ) පාලනය සදහා ස්ටියරිං වීලයේ ලිවර්
   (වහාම බාරදිම සදහා දැන් ලබාගත හැකිවේ.)

දැන් ඔබ ෆියට් රථයක් මිලදී ගන්නා විට, ස්වර්ණ ජයන්ති තරගයට ඇතුලත් වී ෆියට් මෝස්තරයේ මිලසෙන්ටෝ රථයක් හෝ “500“ රථයක් දිනාගැනීමට හෝ ඒවායේ වටිනාකම මුදලින් ලැබීමට සුදුසු වනවා ඇත.


ෆියට් 600  රථයක්
http://automovil011.files.wordpress.com/2011/08/fiat600.jpg

Volks Wagen Beetle

තනි මාදිලියක් ලෙස ලෝකයේ මෙතෙක් වැඩියෙන්ම නිපදවා ඇති රථය, වැඩියෙන්ම අළෙවි වී ඇති රථය, ලෝකයේ සියලුම මහද්වීප වල ධාවනය වන රථය ලෙසට මෙම මාදිලිය වාර්තා පොතට එකතු වී තියෙනවා. ජර්මනියේ හිටපු ආඤා දායක හිට්ලර්ගේ අණින් දෙවන ලෝක යුද්ධය උදෙසා සේවයේ යෙදවීමට තමයි මුලින්ම මෙම වර්ගයේ රථ නිපදවා තිබෙන්නෙ. ඒ නිසාම මෙහි එන්ජිම එයාර් කූල් (සුළං මගින් සිසිල් වන) වර්ගයේ එකක්. ඒ කටුක දේශගුණික තත්වයන් යටතේ රළු ධාවනයක යෙදෙන්නට හැකි වෙන්න. වොක්ස් වැගන් (Volks Wagen) යන ජර්මන් වචන වල අදහස පොදු ජනතාවගේ රථය යන්නයි. එයට හේතුව එය යුද්ධයෙන් පස්සෙ සාමාන්‍ය ජනතාවට මිළදී ගත හැකි පහසු මිළකට වෙළද පොලට ඉදිරිපත් කිරීමයි. මෙය ලියන සිරා කොලුවාද ඉතාමත් ප්‍රිය කරන රථයක් තමයි මේ.  බොහෝ අය දේශීයව මෙය හදුන්වන්නේ ෆොක්ස් වැගන් යන නමින්...ඊට අමතරව පිටුපස කවුළු ආසන්නයේ සවිකර ඇති එන්ජිම සිසිල් කිරීමට අමතර සුළං ධාරාවක් යොමු කරන ගැජට්ටුව කනේ මයිල් ලෙස හදුන්වනවා. කුරුමිණියෙකුගේ හැඩය ඇති නිසා මෙය උපතින්ම බීට්ල් (Beetle)  ලෙසයි හදුන්වා තිබෙන්නෙ. විවිධ රටවල විශාල නාමයන් සංඛ්‍යාවකගෙන් හදුන්වා ඇති මෙම රථය ලංකාවේදී  ඉබ්බා ලෙස හදුන්වා තිබෙනවා.




දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

සැලකිල්ල යොමු වී ඇත්තේ, අවංක රථය වන ෆොක්ස්වාගන් කෙරෙහි වේ.
ලොව පුරාම වෙසෙන්නෝ මෝටර් රථ වාහන පාවිච්චි කරති.
එසේම ෆොක්ස්වාගන් රථය ලොව පුරාම ගණනාවක් නොමැති මිත්‍ර‍යින් රැසක් දිනාගෙන සිටී.

එහි පුදුමාකාර පිරිමැස්ම ගැන සමහරු එයට ප්‍රියකරති. තවත් අය එහි ශක්තිමත් සෑදීම හා කදිම නිර්මාණය ගැන ප්‍රිය කරන අතර වෙනත් අය එහි විශිෂ්ඨ නිර්මාණය ගැන ප්‍රිය කරන අතර වෙනත් අය එහි විශිෂ්ඨ නිමාව ගැන ප්‍රිය කරති. එහෙත් මෝටර් රථයක උදක්ම බලාපොරොත්තු වන සියලුම අංගෝපාංගයන් එහි එක්ව ඇති බවට සියල්ලෝම දිවුරුම් දෙති.

සීමාසහිත ක්ලැරන්ස් අමරසිංහ සහ සමාගම


කනේ මයිල් සහිත වොක්ස් වැගන් රථයක්
http://4.bp.blogspot.com/-ES8kpUo8dxw/UGNezGKOR3I/AAAAAAAAAW0/ahaWG48al5E/s1600/Untitled-3.jpg





Hilman Minx

එංගලන්ත රථ වාහන නිෂ්පාදකයන් අතර මුල්පෙලේ වැජඹුනු හිල්මන් සමාගම විසින් නිපදවූ රථයක්... අද නම් ඉතාමත් කලාතුරකින් මෙවැනි රථයක් මාර්ගයක දකින්නට ලැබුනත් එදා නම් ඉතා සුලභව මෙවැනි රථ මාර්ගයේ දක්නට ලැබෙන්න ඇති. විශේෂයෙන්ම කුලී රථවාහන සේවය සදහා මෙම රථ සුලභව යොදාගෙන තිබේලු. හිල්මන් නාමය යටතේ වර්තමානයේ  වාහන නිෂ්පාදනය වෙන්නෙ නෑ.


දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

පිරිමැස්ම, සුවපහසුව හා විශ්වාසදායකත්වය
ක්‍රියාකාරිත්වය, ප්‍රවේශම සහ කඩවසම් පෙනුම
හිල්මන් මින්ක්ස් “විශේෂ සැලූනය“ පිරිමැස්මදායක රථය
තනි ආසන, පහත ගියර් මාරුකිරීම
ඉඩකඩ සහිත බඩුගෙනයාමේ කොටස
ඩිලුක්ස් මෝස්තරයට වඩා රු. 525/- අඩුවේ.
බෙදාහරින්නෝ
සීමාසහිත ග්ලෝබ් මෝටර්ස්
103, ටරට් පාර, ටෙලි 6271, කොළඹ 1.


හිල්මන් මින්ක්ස් රථයක්
http://www.carrosyclasicos.com/imagenes/cronicas/panorama_automotriz_1959/hillman_minx_1959.jpg


























ඊළගට තියෙන්නෙ ටයර් වෙළද දැන්වීමක්... ටයර් නැතිව වාහන යන්නෙ නැති නිසාම ඔන්න එයත් මෙතනම පල කරනවා...



දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

අලුත් ඩන්ලොප් “ගෝල්ඩ් සීල්“ ටයරය හැඩරුවින් පෙරමුණ ගනී. බෙහෙවින් දියුණු කට්ට මෝස්තරයන් හා එක්වුණු සම්පූර්ණ “තුලනාත්මක“ ක්‍රියාකාරිත්වය, සියලුම තත්වයන් යටතේ විශේෂ ටයර් සේවාවක් ලබා දේ. ප්ලයි 4 හෝ බරවැඩ සදහා ප්ලයි 6 රේටිං කේසිං සහිතව හෝ, ටියුබ් රහිතව හෝ සහිතව කළු හෝ සුදු අංශයන්ගෙන් යුතුව ලබාගත හැකිවන අතර, හැම නවීන ටයර් ප්‍ර‍මාණයක්ම සපයනු ලැබේ.

* නවීනතම කට්ට හැඩරුව සෑම රිය පැදවීම් තත්වයන් අනුව යථා පරිදි සකස් වේ.
* වඩා ප්‍ර‍බල, ප්‍රවේශම් සහිත ග්‍ර‍හණය, වඩා හොදින් වංගු ගැනීම, අඩු ටයර් ශබ්දය.
* වැඩි සැතපුම් ගණන, කට්ට සමසේ ගෙවී යාම
* සුවපහසුව හා වැඩිකල් පැවැත්ම සැලසෙන සේ විද්‍යානුකූලව හැඩ ගැන්වූ කේසිං.

යළිත් ඩන්ලොප් ටයර් ක්‍රියාකාරිත්වය පිළිබද අලුත් තත්වයන් ඇති කෙරේ.

සිරා කොලුවා මේ පෝස්ටුව අද අවසන් කරන්නෙ කාර් වලටම සම්බන්ධ තවත් ගැජට් එකක් වන කාර් කැසට් පිළිබද දැන්වීමකින්.



දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

කාර් රේඩියෝ නිෂ්පාදනයෙහි වර්ෂ ගණනක පළපුරුද්දක් ඇති බෙකර්, සෑම මෝටර් රථයකටම සරිලන කාගේත් මුදල් තත්වයට හා රුචියට ගැලපෙන කාර් රේඩියෝ දැන් ඉදිරිපත් කරයි.

බෙකර් මොන්ටිකාලෝ

* කුඩා රථවලට විශේෂ හා සාමාන්‍ය මෝස්තර
* මුද්‍රිත බල චාරිකා සටහන වැඩි විශ්වාසදායකත්වයක් ඇති කරයි.
* “පුෂ් බටන්“ තරංග සැකසුම

බෙකර් යුරෝපා

*  සාමාන්‍ය හා විශේෂ නිමාවන් යුත් මෝස්තර හතරක්
* තරංග මාලා තුනක්
* දෙයාකාර ශබ්ද පාලනය
* “පුෂ් බටන්“ ක්‍රියාකාරිත්වය

ඉබේ ක්‍රියා කරන බෙකර් මෝස්තර

මැක්සිකෝ - ඉලෙක්ට්‍රොනික් පාලනයෙන් ශබ්ද සකස් කිරීම
ලීමාන්ස් - පැහැදිලිකම හා ශබ්ද ප්‍ර‍මාණය සදහා යෙදීම් තුනක්
බ්‍රෙස්කියා - ඉබේ ක්‍රියාකරන ශබ්ද පාලනය
              - තැටි වැසීමේ උපකරණ හා ටේප් රැකෝඩර් යෙදීමට උපකරණ

බෙකර් රිම්ස් - කෙටි තරංග සදහා වූ උපකරණයෙන් වෙන් වෙන් වශයෙන් කෙටි තරංග 6කින් කදිම නිරූපණයක් ඇති කරයි.

බෙකර් කාර් රේඩියෝව නිෂ්පාදනය කර ඇත්තේ ඔබේ රථයටමයි.

අදට කථාව අහවරයි එහෙනං....

මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා



ප.ලි

වොක්ස් වැගන් කාර් සමස්ත අළෙවිය ඒකක මිලියන 21 ඉක්මවා ඇත. අවසන් වරට 2003 දී නිෂ්පාදනය කර ඇති අතර දැන් කිසිම රටක නිෂ්පාදනය වන්නේ නැත. (තොරතුරු විකිපීඩියාවෙන්)

ජනවාරි 27 ඉරිදා, ගම්පහ ගෙට්ටුවට පැමිණෙන අයට පුරවන්නට ලබා දුන් පෝරමය  25 වන සිකුරාදා රාත්‍රී 12 න් අවසන් කරන බව දැනුම් දෙමි.  එන්නට කැමැත්තෙන් සිටින ඇත්තන් ඊට කලියෙන් පෝරමය පුරවන්න. දකුණු පස ඉහළින්ම ඇති ලෝගෝවට කොටන්න.

ගෙට්ටුව පිළිබද තොරතුරු මෙතැනින්


Thursday, January 17, 2013

136 සැලූන් ඩි ටෝනි

සැලූන් ඩි ටෝනි යනු බාබර් සැලූනයකි. එය පිහිටා තිබුනේ ගම්පහ -ජා-ඇල බස් නැවතුම පිටුපසට වන්නටය. මෙහි සේවය කලෝ එක බඩවැල කඩාගෙන ආ අයියා සහ මල්ලි වූහ. අයියා ලොකු ටෝනි වන විට මල්ලී පොඩි ටෝනි විය. පෙම්වතිය සමග කයියකට සැටමෝල් වෙන්නට, අඩ්ඩක් ගසා හිත සනසා ගන්නට, බල්ලොත් බත් නොකන මූණත් තහඩුව හෙයාර් ඉට්ටයිල් එකක් මාර්ගයෙන් නිසි මගට ගන්නට , අතරැදි දුම්වැටියෙන් රවුමට දුම්  වළලු යවා පපු කැනැත්ත සැහැල්ලු කරගැනීමට,  පාසල් ගොස් ෂෝට් ලීව් දමා යන්න අතක් නොමැතිව ලතවන්නන්ට‍ ගම්පහ නගර සීමාවේ පිහිටට සිටි ඉටු දෙවියෝ ටෝනි ඩබල වූ නිසාවෙන්ම මුන් දෙන්නා කාගෙත් හිතවතුන් වූහ. සිය සේවය පතා එන පාරිභෝගික ජනමනයා සාදරයෙන් පිළිගෙන ඔවුන්  සුව පහසුව හිදුවා, එඩී ජයමාන්නගේ සිට දොන් සේතං දක්වාත් විල්සන් කරූගේ සිට අර්ජුන කමලනාත් දක්වාත්  සියලු හෙයාර් කට් ඒ අයුරින්ම කොර දෙන්නටත්, එහෙමත් නැත්නම් හිස මුදුනින් පටන් ගෙන ක්‍ර‍මයෙන් පහළට විත් ඉබි නැට්ට අසලින් බෙල්ල මිරිකා අවසන් කරන උන්ටම ආවේණික සම්භාහන සත්කාරය (Massage)  පිළිබදවත්  සැලූන් ඩි ටෝනි ලබා තිබූ කීර්තිනාමය නිසාවෙන්ම එය තරුණ කොල්ලන් එකල නිතර ආගිය තැනකි.

http://pocketcultures.com/topicsoftheworld/files/2011/08/barber-shop-in-Abo-al-Kaseeb.jpg


සිරාගෙ කාමරේ කථා වලදී කීප වතාවක්ම අපට හමු වූ බෑන්ඩ් එකේ ලොකු අයියාද මෙම ස්පොට් එකේ යාවජීව සාමාජිකයකු ලෙස වැජඹුනු කාලයක් විය.  අද මේ දිග ඇරෙන්නේ මෑත දිනයකදී ඔහුගේ ශ්‍රී මුඛයෙන් පහළට හැලී සිරා කොලුවා වැර වෑයමෙන් කන් දෙක යොමා එක්රැස් කරගත් ධනයයි. මේ කථාව තුල  අද තවත් අළුත් චරිතයක් අප හමුවට එයි. හෙතෙම ජොලා නම් වෙයි. මේ කියන ජොලා හැඩි දැඩිය. අපේ පාසලේම අපිට වඩා වසර කීපයක් වැඩිමල්ය, එහෙමත් නැතිනම් ලොකු අයියාගේ වසරේය.  දකින හැමෝම ජොලා අයියා කියා යටහත් පහත් බවක් දැක්වූ චරිතයකි. උදෑසන රැස්වීම් වලදී හැමදාමත් වගේ මල්ලව පොර ක්‍රීඩාවට සහතික, කුසලාන ලබාගත් නිසාදෝ ජොලා එම ක්‍රීඩාවම වර්තමානයේ සිය ජීවන වෘත්තිය කරගෙන සිටී.

ජොලා මෙන්ම ලොකු අයියාද හැන්දෑවට හැන්දෑවට සැටමෝල් වූයේ සැලූන් ඩි ටෝනි හිදීය. ඒ නිසාමදෝ මුන් දෙන්නාට යාවජීව සාමාජික කාඩ්පතක් ලකුණු කර සාක්කුවට දමන්නට ලොකු ටෝනියාට සිදුවිය. ශත පහක හෝ අදායමක් නැතුව හෙයා ජෙල් ටිකක්, පවුඩර් ටිකක් පිනට පුදා එළොවට වැඩක් කරගන්නට ටෝනි ඩබල පැතූ නිසාදෝ හැමදාමත් කෙල්ලන් බලන්නට නීට් ලුක් එකෙන් යන්නට මේ දෙදෙනාට අවකාශ ලැබිනි.

දන්නෝ දනිති. නොදන්නෝ කියවා දැනගනිති. ගම්පහ නගරය වනාහී එහෙම් පිටින්ම ටියුෂන් පන්තියකි. ඉස්සර දවසක ප්‍ර‍ංශයේ තිබූ සෝබෝන් මෙන්ම ඇමරිකාවේ මොන්ටානා ද  දැන් ඇත්තේ ගම්පහය. ටියුෂන් පන්ති  අහවර වූ පසු ගම්පහ යනු එහෙම් පිටින්ම සුරපුරයකි. තෝරා ගැනීමට විවිධ ප්‍ර‍මාණ හා  වර්ග රාශියකි. පන්තියක් නිම වූ පසු මාර්ගය වසා ඇදෙන සිසු කැල අතර රුවැත්තියන් මෙන්ම මුවැත්තියන්ද ඇති පදමට  සිටී. බඹරා රොන් ගන්නට පෙර මලක් සොයා ගත යුතුය. ඒ අර්ථයෙන්දෝ වැඩක් ඇතිව හෝ නැතිව පන්ති අවසන් වන වේලාවට කොලු කුරුට්ටෝ දැරිවියන් හමුවේ පැණි පෙරන්නට ටවුමට රැස් වෙති. ඒ අතරින් සමහරෙක් තම සීදේවි පෙනුම වැඩි කරගැනීමට පවුඩර් සහ ජෙල් ගෑවෙ ටෝනි ඩබලට පින් දෙමින්ය.

මේ කොලු නඩය අතර සිටි දෙදෙනෙක් ඔබ දැනටම දනී... ඒ ලොකු අයියා සහ ජොලා අයියාය. ලොකු අයියා ටික දිනක සිට පොල් පැළය කෑමට සැරසෙන බව ජොලා දැනගත්තේ ලොකු ටෝනියාගෙනි. මහත් වැර වෑයමෙන් ටෝක් කරගත් කෑල්ල තවෙකෙකුට හිමිවන්නට ඉඩ දී බලාසිටින්නට ජොලා තවමත් දාන පාරමිතාව පුරන්නේ නැතිය. එක් හැන්දෑවක ලොකු අයියා ජොලාට රහසින් සැලූන් ඩි ටෝනි වෙත පැමිණ පින් තකා දෙන  පවුඩර් සහ ජෙල් උලාගෙන මොන්ටානා අසල කේක් කඩය ඉදිරිපිට සිටගත්තේ ඔහුගේ හිත කිතිකවා, හිස ඔද්දල් වන්නට පාර කියූ ඒ සීදේවි  පින්කද දැකබලාගෙන ඇහැක් තනියෙන් වසා සැනසෙන්නටය. මේ කියූ එකීම ජොලාටද ඇහැ කරකවා ඇති බව අහිංසක ලොකු අයියා දන්නේ නැත... වේලාව පහ පසුවී මිනිත්තු කීපයකි...  ලොකු අයියා කේක් කඩයට තනි රකිමින් සිටී. එවිටම සැලූන් ඩි ටෝනි වෙත තකහනියේම දුවගෙන ආවේ  ජොලාය. අද දෙකෙන් එකක් බලා ගමියි පාරම් බාමින් ඔහු සැලූනය තුලට වැදුනේය. ආයුධ රහිතව පැමිණි ඔහු දැන් ආයුධයකින් සන්නද්ධය. ඒ පොඩි ටෝනියා කොළඹ ගිය දිනයක උස්සගෙන ආ අලුත්ම පවුඩර් බෙලෙක්කයකිනි. මූහුණ සම්පූර්ණයෙන් වැසෙන සේ පැලදි කලු පැහැති හෙල්මටය ජොලාගේ අනන්‍යතාව සගවයි. දවස අවසානයේ සිදු වෙන්නට යන පාඩුව ගැන සිතමින් ටෝනි සොහොයුරෝ විස්සෝපව බලා හිදී.

පන්තිය ඇරුනේය. දෙපසට පැද්දෙමින් රන්කද ආවාය... ලොකු අයියාට කොමල සිනහවක් පෑවාය... ලොකු අයියාගේ කට කනට යද්දි, ඇය ඔහු වෙත කෙමෙන් කෙමන් ලං වූවාය. ඔහුට කියන්න අවසර ලැබුනේ ඉතිං නංගී කියා පමණකි...  ජොලාගේ හැඩි දැඩි බාහු බලයෙන් ගුවනට නැගුනු පවුඩර් බෝම්බයට වෙන්න කපොල් එක පමණක් නොව වටා පිටාවේ සිටි අහිංසක කපොල්ද  ගොදුරු වූ සෙයකි... කවුද ඇන්ත්‍රැක්ස් ගැහුවෝ කියා කෙල්ලෝ සී සී කඩ දුවති... ඒ වකවානුව ඇන්ත්‍රැක්ස් නම් රසායනික ප්‍ර‍හාරයන් සිදුවෙතැයි ලෝකයා බිය වී සිටි සමයකි. ඇන්ත්‍රැක්ස් මැදින් සමන් පිච්ච සුවද හමයි. කේක් කඩය ඉදිරිපිට සියල්ලෝම පියරු බබාලා මෙන් පියකරුය. ධවල වර්ණයෙන් බැබලෙයි. විනාඩියකුදු එතැන නොරැදී ප්‍ර‍හාරක ජොලා වාෂ්ප වූයේය.

අමාරුවෙන් මග සොයාගෙන අසල කඩයකට වැදුනු ලොකු අයියා කඩේ උන්ගේද සහායෙන් යම්තාක් දුරකට  සිදු වූ හානියෙන් මිදී නිවසට ගියේය. ජොලාට දෙන්නම් ජම්බු කියූ ලොකු අයියාට රිටර්න් එක දෙන්නට කිසිදු හදිස්සියක් තිබුනේ නැත. පවුඩර් ප්‍ර‍හාරය එල්ල කලේ ජොලා බැව් හදුනා නොගත් ලෙසින්  ඔහු පෙර පරිදිම ජොලා සමග පයුරුපාසානම පැවැත්වීය. කාලය ටික් ටික් හඩින් අනාගතය කරා ඇදුනේය.

එක් උදෑසනකි. සැලූන් ඩි ටෝනි විවෘත කලා පමණය. වට පිට බැලූ මල්ලව පොර ශූරයා පාසල් යන්නට මත්තෙන් අවුල් වූ හිසකෙස් සකසා ගන්නට බිත්තියේ වූ කණ්නාඩියට නැඹුරු වූවා පමණකි. මාරාවේශයෙන් ගොදුර සොයා ඇදුනු ලොකු අයියාගේ අතෙහි වූ විශාල සිලි කවරය පිරෙන්නට තිබූ පවුඩර් වල බර සැහැල්ලු කරමින් ජොලා පවුඩර් වලින් නැහැවිනි. සුදු ඇදුම හැද සිටි ඔහු දැන් හිම බෝලයක් මෙන් සුදුය. සැලූන් ඩි ටෝනි ඇතුලත පවුඩර් සාගරයකි.

නෙදකින් විතරක් සැලූන් එක ඇරියා විතරයි ...ලොකු ටෝනියා දෙස් දෙයි. කොණ්ඩය වියලිමට භාවිතා කරන ඩ්‍ර‍යරය සමග පොඩි ටෝනියා පවුඩර් කුඩු ඉවතට යවන්නට ඔට්ටු වෙයි.  මෙතැනින් අතනට, අතනින් මෙතනට...ඒවා සැලූනය පුරා සී සී කඩ යයි. පවුඩර් බබා ජොලාද පාසල් යාම පසෙකලා ටෝනි සොයුරන්ට සහාය වෙයි. දවසේ භාගයක් ගත වූ පසු පවුඩර් අස්සෙන් සැලූනය මතුකර ගැනීමට ටෝනි ඩබල සමත් වූ බව හැන්දෑ කොරේ කවුදෝ ලොකු අයියාට කියා තිබේ.

තවත් ටික කාලයක් ගතවිය. ලොකු අයියා සහ ජොලා පැරණි  කෝන්තර නිමවා පෙර පරිදි හොද මිතුරන් බවට පත් වූවෝය. ඒ මිත්‍ර‍ත්වය දිනවන්නට සමහරක් දින වල මුන් බාර් එක අරින්නටත් කලින් පෝලීමේය. එතරම්ම පණු බෙහෙත් බීමට ලැදිය. දොරේ එක ඉබ්බෙක් ගලවා දෙයියන්ට බුදුන්ට පහන පත්තු කිරීමටත් කලියෙන් ගල් බෝතලයක් ලබා දී මුන් දෙන්නා සනසා ලීමට බාර් හිමිකරුට සිදු වේ. බෝතලයේ දුඹුරු පැහැති ද්‍රාවණය බිදෙන් බිද සිදී ගියේ අසල වූ කෑම කඩයක පිටිපස්සට වෙන්නටය. ඒ සමගම මෙතෙක් වෙලා තිබූ පියවි සිහියද ටිකෙන් ටික ඈතට දිව ගියේය.

මචෝ උඹට කොහොමද ? අමාරුද ? එකෙක් අසයි...එවිට අනිකා...ඔව් බන් ටිකක් කැරකෙනවා වගේ ඕක්.... අපි ටෝනියගෙ පොට් එකට ගිහින් බඩු බහිනකං සුට්ටක් වෙලා ඉදලා ගෙදර යමු...

සැලුන් ඩි ටෝනි විවෘත වී මද වෙලාවකි. අද නම් බිස්නස් හොදය...දැනටම ගණුදෙනුකරුවන් හතර දෙනෙකි. ටෝනි ඩබල දෙදෙනෙකු වෙත සේවය සලසන විට තවත් දෙදෙනෙකු පුවත් පත බලමින් සිටියෝය. මේ අතර ලොකු අයියා සහ ජොලා වැනී වැනී ස්පොට් එකට ඇන්ටර් වෙයි. එකෙකුගේ කොණ්ඩය කපා අවසානය. ඒකා තමාගේ ගජයෙකු නිසා ජොලා අඩියක් ඉදිරියට තැබීය. පුවත් පත පසෙක ලා තවකෙක් කොණ්ඩය දන් දෙන්නට පටුවේ හිද ගැනීමට සැරසෙයි...

දැන් නම් ලොකු අයියාට මද පවන සැඩ සුළගක් වෙලාය. ඔලු ගෙඩිය බඹර චක්කර ගානට කැරකේ... කබරයා මදින් මද හිස ඔසවයි... තවත් ඉන්නට බැරිය...ඉදිරියට ගිය හෙතෙම  ජොලා සහ මහ ටෝනියා අත් දෙකෙන් අල්ලා දෙපසට කර බාබර් මේසය යටට වෙන්නට වැඩි හරිය මුදා හැරියේය. පලාතම ඇක්ස්ට්‍රා ස්පෙෂල් සුවදින් නැහැවෙයි.... ලොකු ටෝනියා ඔලුවේ අත් ගසාගත් වනමය....ක්ෂණිකවම ඔහු කීවේ එක් දෙයකි....

මහත්වරුනේ මට සමාවෙන්න... අපි අදට සැලූන් එක වහන්නයි යන්නේ....

මාස දෙක තුනක් ඇවෑමෙන් තරහ මරහ නිවී දෙපාර්ශවයම යලිත් පෙර පරිදි සමාදාන විය. නමුත් ලොකු ටෝනියාගේ සිත රිදවූ අරියාදුව ගැන තවමත් කෝපයෙනි... උඹලට දෙන්නම් බැටේ... ඔහු නිතරම මුමුණයි. පාරේ ඇවිදින විටෙක අහුවෙන අහුවෙන දේට පයින් ගසනා ජොලා සහ ලොකු අයියා ඉලක්ක කර මහ ටෝනියා උගුලක් ඇටවූයේය...

පාසල නිම වී හැමදාමත් සැලූනයට පැමිණෙන ජොලා සහ ලොකු අයියා එන මග, සැලූනය කිට්ටුව පාර අයිනේ වෛවාරණ  සපත්තු පෙට්ටියකි. සම්පූර්ණයෙන් වසා ඇති එතුල ඇත්තේ තඩි කලු ගලක් බව දන්නේ ටෝනි ඩබල පමණකි. ඈත තියාම පෙරමග බලා සිටින ටෝනියා සහ සපත්තු පෙට්ටිය දුටු මුන් දෙන්නා කුමන්ත්‍ර‍ණයක සේයා දැනී රහසේ සැගවිනි. ටෝනියා එය දුටුවේ නැත.

මද වේලාවක් ඇවෑමෙන් ඒ දෙසට ආවේ ----------වත්තේ නම් දැරූ ලයිෂන් චණ්ඩියෙකි. බිම තිබූ පෙට්ටියට දෙවරක් නොසිතූ ඔහු දුන්නේ රොනල්ඩෝ පවා නොගසන තරමේ වේගවත් පා පහරකි. ඒ සමගින් ඇසුනු විලාපයද සමග ටෝනියා කිසිත් නොඇසුනා සේ සැලූනය තුලට වැදුනි.

එදින රාත්‍රියේ ටෝනියා වෙත ඇමතුමකි...

අඩෝ මම --------------වත්තෙ ----------අයියා කථා කරන්නෙ...තෝ පාරෙ තියපු පෙට්ටියට ගහලා මගෙ දකුණු කකුලෙ ඇගිලි දෙකක් කැඩිලා....මේක හොද වෙලා ගෙදර ආපු ගමන් මම තොගෙ කැවුත්ත කනවා යකෝ....




මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

පසුකාලීනව ටෝනි ඩබල වෙනත් රැකියාවන් වෙත යොමු විම නිසාවෙන් අද සැලූන් ඩි ටෝනි එම ස්ථානයේ නැත.


මේ පෝස්ටුව උන් දෙන්නා දුටුවහොත් මටද බඩු බනිස් බව සිතේ.

ජනවාරි 27 ගම්පහ ගෙට්ටුවට එන්නට කැමැත්තෙන් සිටින උන් තව තවත් කල් මරන්නේ නැතිව ඉක්මනට පෝරමය පිරෙව්වොත් හොදාය. ඒ සදහා දකුණු පස ඉහළින්ම ඇති ලෝගෝවට කොටන්ඩ.






Sunday, January 13, 2013

119 ලොකු හදවතක් ඇති 96 ලෝක ශූරයන්

ට්‍රීං ට්‍රීං හඩින් අවසන් කාලජේදයේ නිමාව සටහන් කරමින් 1996 මාර්තු මස දිනක පාසලේ විදුලි සීනුව නාද විය. මිටින් හල කුරුල්ලන් මෙන් වෙනදා නැති තරමේ උනන්දුවකින් පාසලේ කොල්ලන් නිවෙස් බලා දිව්වේ පුදුම තදියමකිනි. නමුත් දෛවයේ සරදමකටදෝ සිරා කොලුවාට නිවෙස්බලා යාමට නොහැකිය. සිරාගේ මෑණියන් තොරතුරු සොයා අනුමත කල පාසලට යාබද ඉංග්‍රීසි අතිරේක පන්තියේ ආරම්භය එදිනට නියමිතව තිබීම එයට  හේතුවයි. තත්වය එසේ වුවත්  මා සිත දෙගිඩියාවක නිමග්නව සිටී. ගෙදර යනවද ? පන්ති යනවද ? නොයෙක් වර ඒ මේ අතට පෙරලා බැලීමෙන්  පසු මට එදා පිළිතුරක් සොයා ගත හැකි විය.  ඉංග්‍රීසි පන්ති කවදා යන්න බැරිද ? අපේ සැට් එක ඉන්න ක්‍රිකට් ලෝක කුසලාන අර්ධ අවසන් තරගයක් ආයෙ කවදා බලන්නද.... මගේ පාර්ශවයට හිතැති වූ මේ තීරණයෙන් පසු සිරා කොලුවාද නිවෙස් බලා ඇදෙන නඩයට එක් වී නිවසට සම්ප්‍රාප්ත විය.

ඇයි අද පන්ති ගියේ නැත්තෙ.... මම සර්ට පොරොන්දු උනානෙ අද ඉදන් පන්ති එවනවා කියලා...  සිරාගේ මැණියන් ඉතා ඉහළ සෘතියක පිහිටා නගන දෝස්මුරයේ හඩ පරයා සිරා කිව්වේ එකම කථාවකි...

අද ලෝක කුසලාන ක්‍රිකට් මැච් එකක් තියෙනවා කියලා සර් පන්ති නිවාඩු කිව්වා... මාගේ අවස්ථානුකූල පචයෙන් මව සැනහුන නිසාදෝ අතුරු ප්‍ර‍ශ්න වලින් තොරව  දිවා අහාරයෙන් පසු නිදහසේ රූපවාහිනිය ඉදිරිපස ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගැනීමට සිරා කොලුවාට හැකි විය.

1996 දී  පාසලේ 9 වසරේ සිටි සිරා කොලුවාට මෙන්ම සමස්ත පාසලේම කොලු රැළට අඩු නැතිව ක්‍රිකට් උණ බෝ වී තිබුනේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ ප්‍ර‍ථම වතාවට ලෝක කුසලාන තරගයක අර්ධ අවසාන තරගයකට සුදුසුකම් ලැබ තිබූ නිසාවෙනි. ඒ දිනවල පුංචි අපේ හිත් ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍ර‍හණයේ පිපාසයෙන් පෙලුනු අයුරුත්, ජයග්‍ර‍හණයට පසුදින මිතුරන් හා දොඩමළු වූ අයුරුත් අද මෙන් මතකය. අපේ පන්තියට සිංහල විෂය ඉගැන්වූ නන්දාවතී ගුරු මෑණියන් " ක්‍රිකට් ලෝක කුසලානය අපටයි " මැයෙන් වාක්‍ය රචනාවක් ලිවීමට අපට නියම කලේද අපේ මේ ක්‍රිකට් උණ හොදින් හදුනාගත් නිසා විය යුතුය.

අර්ධ අවසාන තරගයේදී ඉන්දියාව හඩවා ඉදිරියට ගිය අපේ සිංහයන් අවසන් තරගයේදී ඔස්ට්‍රේලියානුවන් පරදවා  පාකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගනයේදී ලද ජයග්‍ර‍හණය සිතින් හෝ සැමරීමට එකතු නොවූ ක්‍රිකට් ප්‍රේමීයෙක් නැති තරම්ය. එම රාත්‍රිය තවමත් ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයා වැඩියෙන්ම රූපවාහිනී නැරඹූ රාත්‍රිය ලෙස වාර්තාගතව තිබේ. එයින් පසු තවමත් එවැනි ජයක් ලැබීමට අපොහොසත් වී ඇති නිසාම ඒ අතීත මතකයට ක්‍රිකට් ලෝලී  සිරා කොලුවා තවමත් ආදරේය.

ක්‍රීඩාවේ ජීව ගුණය මැනවින් රැකගෙන ක්‍රීඩාකල 96 අපේ ක්‍රිකට් කණ්ඩායම, එකමුතුකම හා දක්ෂතාවෙන්ද පරිපූර්ණ වූ එදා මෙදාතුර ලංකාව සතු වූ  හොදම ක්‍රිකට් කණ්ඩායම බව මගේ පෞද්ගලික අදහසයි. ඒ මතකය අලුත් කරමින් අද (12) උදෑසන කොළඹ NCC ක්‍රීඩාංගනයේදී මේ ක්‍රිකට් වීරයන් යලිත් කරළියට පැමිණීම සැබැවින්ම සිදු වූවක් දෝයි සිතෙන තරමේ සිදුවීමකි. එය සැබැවින්ම චමත්කාරජනක අවස්ථාවකි.

පාසල් යාමට නොහැකිව ලතැවෙන අඩු ආදායම් ලාභී පවුල් වල දරුවනට පිහිට වීමට හේමාස් සමාගම දියත් කර ඇති "බේබි ෂෙරමි Big Heart" ව්‍යාපෘතියේ අරමුදල තරකිරීමට 96 ක්‍රිකට් වීරයන්ගේ පිළ අද යළි දේශීය ක්‍රිකට් පිටියට බැස්සේ  ශ්‍රී ලංකාව නියෝජනය කල පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත Cricket Legends පිල සමග ප්‍ර‍දර්ශනාත්මක ක්‍රිකට් තරගයකට සහභාගි වීමේ අරමුණ පෙරදැරි කරගෙනය. බිග් හාට් ව්‍යාපෘතියේ තානාපති ලෙස කටයුතු කරන වත්මන් ජගත් තරග තීරක සහ 96 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජික රොෂාන් මහානාම මේ කටයුත්තට ක්‍රීඩයන් සම්බන්ධීකරණය කල තැනැත්තා විය.

තරගය ආවරණය කිරීමට උදෑසනින්ම NCC ක්‍රීඩා පිටියට  වාර්තා කල සිරාගේ ඡායාරූප මාධ්‍යවේදී මළනුවන් මගේ ජංගම දුරබණුවට ඇමතුමක් නොදුන්නා නම් පෙර දා අළුයම රැකියාව නිමකර පැමිණ නිදා සිටි සිරා කොලුවාට  මේ වටිනා අවස්ථාව ගිලිහී යන්නට ඉඩ තිබිනි. රූපවාහිනියේ සජීවී විකාශය සමග ඒකාත්මික වූ පසු 96 ක්‍රිකට් අසිරිය නැවතත් දෑස මානයේ විද ගැනීමට ඉඩ හසර වෙන්විය. වසර 17කට පෙර එදා අපදුටු තරුණ ක්‍රීඩකයන් වෙනුවට  ස්ථූල ශරීර වලින් මෙන්ම  ඉදිරියට නෙරා ගිය බඩගෙඩි වලින්ද යුතු , සුදුවන් කෙස් හා රැවුල් ගස්වලින් සමන්විත වූ ක්‍රීඩකයන් සමූහයක් දැකගන්නට ලැබුනද ඔවුන්ගේ හැකියාවන් එදා මෙන්ම අදත් නොනැසී පවතින බව මොනවට තහවුරු විය. මේ කාරණය අර්ජුන රණතුංගයන්  මෙහෙය වූ  96 ලෝක ශූර කණ්ඩායමට මෙන්ම සිදත් වෙත්තමුණි විසින් මෙහෙයවූ Cricket Legends කණ්ඩායමටද එකසේ පොදුය. සමාජ සත්කාරයක් වෙනුවෙන් සිය  පෞද්ගලික රාජකාරි පසෙක ලූ  කණ්ඩායම් දෙකේ ලොකු හදවත් ඇති සාමාජිකයන් මෙන්න....

96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම


www.thepapare.com
ඉදිරි පෙල වමේ සිට -  සනත් ජයසූරි, රොෂාන් මහානාම අර්ජුන රණතුංග (නායක), අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න, 

පසුපෙළ වමේ සිට -  උපුල් චන්දන, ප්‍රමෝද්‍ය වික්‍ර‍මසිංහ,  චමින්ද වාස්, රවින්ද්‍ර‍ පුෂ්පකුමාර, රොමේෂ් කළුවිතාරණ ( තරග සංචාර වල යෙදී සිටින හෙයින් කුමාර ධර්මසේන, මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු සහභාගි වූයේ නැත)

 Sri Lanka Cricket Legends කණ්ඩායම


www.thepapare.com


සිදත් වෙත්තමුණි (නායක), ග්‍රැහැම් ලැබ්රෝයි, බ්‍රෙන්ඩන් කුරුප්පු, කපිල විජේගුණවර්ධන, හේමන්ත වික්‍ර‍මරත්න, රොජර් විජේසූරිය, අශෝක ද සිල්වා, හේමන්ත දේවප්‍රිය, රංජිත් මධුරසිංහ, එරික් උපශාන්ත, සංජීව වීරසිංහ, චාමර සිල්වා

කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමාද දායක වූ මේ තරගය නැරඹීමට   රු. 50/- ප්‍රවේශ පත්‍ර‍ රැගෙන පැමිණි ක්‍රීඩා ලෝලී ජනතාවගෙන් පිරී තිබුනි. වර්තමානයේ දැඩි ලෙස මුදලට බිලිවී ක්‍රීඩාවේ සුන්දරත්වය හා මහත්මා ගතිය නැසී යමින් පවතින මොහොතක පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් ඉතාමත් අලංකාර තරගයක් ක්‍රීඩා ලෝලීන්ට වෙත උරුම කරදුන් බැව් අතිශෝක්තියක් නොවේ.  96 මතකය යලි යලිත් සිහිපත් කරමින් නායක අර්ජුන රණතුංග  සෙසු ක්‍රීඩකයන්  එදා පන්දු රැකීමට රැදවූ ස්ථාන වලටම යෙදවීය. එදා මෙන්ම අදත් වාස් සහ ප්‍රමෝද්‍ය ආරම්භක පන්දු යවන්නන් වූහ. දෙපිලේම ක්‍රීඩකයන් වෙතින් අතීතයේ  පෑ  දක්ෂතා යලිත් විද්‍යාමාන විය.

ප්‍ර‍වීණ ක්‍රිකට් විස්තර විචාරක පාලිත පෙරේරා සුන්දර අතීත සිදුවීම් රැසක් ප්‍රේක්ෂකයා වෙත මතක් කර දුන් අතර තරගය අවසානයේ පාලිත සමග කථාබහක නිරතව සිටි හෂාන් තිලකරත්න රූපවාහිනී කැමරාව ඉදිරියේ හඩාවැටුනු හැගීම්බර අවස්ථාව පසක් කලේ වසර 17 කට පසුත් කණ්ඩායම් හැගීමෙන් ඔවුන් තවමත් ශක්තිමත් බවයි. හිටපු ආරම්භක වේගපන්දු යවන්නකු වූ ප්‍රමෝද්‍ය පැවසුවේ " අද තරගය පටන් ගන්නකොටම අපි අර්ජුන අයියට කිව්වෙ ඔන්න අද නම් බනින්න ඔට්ටු නෑ කියලා... ඒ කාලෙ පිට්ටනියෙදි අර්ජුන අයියගෙන් වැඩිපුරම බැනුම් ඇහුවෙ මම යනුවෙනි. "

කාසියේ වාසිය දිනාගත් අර්ජුන පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව Cricket Legends කණ්ඩායම වෙත භාර කලේය. ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුළු 7 කට ලකුණු 137 ක් ලබා ගත් අතර එම ඉලක්කය ජය ගැනීමට ලෝක ශූර කණ්ඩායමට පහසුවෙන් හැකි විය.

තරගය පුරාවටම ක්‍රීඩකයන්ගේ සහෝදර බැදීම ප්‍ර‍කට කල මේ තරගය ලොකු හදවත් ඇත්තන්ගේ සමාජ සත්කාර අරමුදලේ එළියෙන් ආලෝකය ලබන කුඩා දූ පුතුන්ට නම් කිසි දිනෙක අමතක නොවනු ඇත.

ලකුණු පුවරුව


http://www.facebook.com/Dailymirroronline


පිළිතුරු ඉනිම

http://www.facebook.com/Dailymirroronline











තරගයේ  ඡායාරූප පෙළහර, සිරාගේ මළනුවන්ගේ අනුග්‍ර‍හයෙන් මෙතැන් සිට.....

ජාතික ගීය ගායනයට සූදානම් වෙමින්. මේ සිටින්නේ මෙම අරමුදලෙන් ප්‍ර‍තිලාභ හිමිවෙන දරුවන්



























අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය




කාසියේ වාසිය

එදා වගේමයි අදත්....

Cricket Legends  පිලේ ආරම්භක පිතිකරුවන්.... සිදත් වෙත්තමුනි සමග හේමන්ත දේවප්‍රිය...

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් අතර නොමැකෙන සලකුණ -වාස්

උපුල් චන්දන සුපුරුදු ස්ථානයේ...

ලිට්ල් කලූ කඩුල්ල පිටුපස..

කුඩා ක්‍රීඩා ලෝලීන්ට මැදිවූ ප්‍රමෝද්‍ය...


96 වගේම අදත් කණ්ඩායම දිරි ගැන්වූයේ - පර්සි

ඉදිරි පරම්පරාව.... තාත්තලගෙ නම් තමා පිටිපස්සෙ ගහලා තියෙන්නෙ...


අරවින්දගේ සුපුරුදු පන්දු යැවීම

ජයසූරියට කඩුල්ලක්...

එරික් උපශාන්තගෙන් වේගවත් පහරක්...


කුඩා ක්‍රීඩා ලෝලීන් සමග ගුරා








එක්දින පිටිය උඩු යටිකුරු කල භයානක ආරම්භක පිතිකරුවන් දෙපළ... සනා සමග කළු

ගුරුසිංහගෙන් සුපුරුදු පහරක්...

ලෝක කුසලාන අවසාන මහා තරගයේ වීරයා... අරවින්ද

කැප්ටන් කූල්...

ජයග්‍ර‍හණයට අඩිතාලම දැමූ අර්ජුන - කලු සබදතාව...

රොෂාන් සමග හෂාන්...

ක්‍රීඩා ලෝලීන්ගේ සෙනෙහස...
ලබාදුන් ජය සංඛේත
තරගයේ වීරයා ලිට්ල් කලූ..

















මෙවන් සමාජ සත්කාරයකට දායක වූ සියල්ලන්ටම සිරාගේ ආචාරය ! 
මේ අරමුදලෙන් එළිය වෙන ඒ කුඩා දරුවන්ගේ අනාගත ජීවිත වාසනාවන්ත වේවා !





මම කාමරේ වෙසෙන් සත්ගුණවත්, සිරා කොලුවා.




ප.ලි



පසුගියදා අපෙන් වෙන් වූ ඉංග්‍රීසි විස්තර විචාරක ටෝනි ග්‍රේග් සිටියා නම් සියල්ල සම්පූර්ණ බව හැගේ.

මෙම තරගය වෙනුවෙන් යොදාගත් ඇදුම් 96 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය සිහිපත් කළේය.


පසුව එකතු කිරීමක්.....


තරගය නැරඹීමට නොහැකි වූ අයට මෙතැනින් එය නැරඹිය හැක.
තොරතුර සැපයීම සම්බන්ධයෙන් අසරණයාට මාගේ ස්තූතිය...









Related Posts Plugin for WordPress, Blogger...