Wednesday, January 31, 2018

62 නැග්රැක් බංගලාවේ රැයක් / Nagrak Bungalow

සංචාරය යනු කවදත් සිරා කොලුවා වැඩි රුචිකත්වයක් දක්වන කාරණයකි. ඉස්සර දවසක පවුලේ ඇත්තන් සමග සිරිලංකාවේ නොදුටු දසුන් දුටුවත් යකඩ අස්පයින් සමග හරඹ කරන්නට පටන් ගත් පසුව මේ ගමන් බිමන් බොහොමයකට දායක වූයේ යකඩ අස්පයින් බැව් ඔබට කිව යුතුය. ඉස්සර දවසක සිරා කොලුවාගේ මිත්‍ර‍ සම්පත්තිය මෙවැනි ගමන් බිමන් සඳහා මහත් අභිරුචියෙන් යුතුව දායක වූවත්, ඒ සියල්ලන් විවාහකයන් වී දරු සුරතල් බලන වර්තමානයේ යතුරු පැදි මගින් දුර ඈත සංචාරය කිරීමට කැමැත්තක් නොදක්වති.

එහෙත් සිරා කොලුවාගේ අතිජාත ස්කූටරය සමග දුර ඈත සංචාරය කිරීමේ නොතිත් ආශාව තවමත් සංසිඳී නොමැති නිසාම එවැනි සංචාරයක නිරත වෙන්නට සහායකයින් නොමැතිව ලැතැවෙමින් සිටි යුගය නිමා වී දැන් ටික දොහකි.

2012 සැප්තැම්බර් මස සිරා කොලුවා සිරාගේ කාමරයේදී සිරාගේ අතිජාත ස්කූටරය පිළිබඳ තතු විත්ති ඔබට කියන විට සිරිලංකාවේ එකඳු හෝ ස්කූටර් සමාජයක් බිහිවී නොතිබුනි. එහෙත් කාලයේ ඇවෑමෙන් වර්තමානය වන විට ක්ලැසික් ස්කූටර් වෙනුවෙන් වෙන් වූ ස්කූටර් සමාජ කීපයක්ම බිහි වී තිබීමත්. ලංකාව පුරාම ස්කූටර් කරුවන් අතර සුහදත්වය මෙන්ම සන්නිවේදන ජාලය පුළුල් වීමත් යන කාරණා නිසාම පැරණි ස්කූටර් රසිකත්වය උන්මාදයක් මෙන් රටපුරා පැතිරීගොස් හමාරය. ඒ හේතුවෙන්ම වර්තමානය වන විට ක්ලැසික් ස්කූටරයක් මිළදී ගැනීම සැබැවින්ම අපහසු කාරියකි. ඒ එවැනි ස්කූටරයක් මිළදී ගැනීමට බලා සිටින්නන්ගේ ප්‍ර‍මාණය ඉහළ වීමත්. හොඳ තත්වයේ ස්කූටරයක් විකුනන්නේ කලාතුරකින් වීමත් යන කාරණා හේතුවෙනි. කෙසේ හෝ මේ ඉල්ලුම නිසාම, අතීතයේ කුණු කොල්ලයට විකුනුන පැරණී ස්කූටර් වල වෙළඳපල වටිනාකම දැන් බොහෝ සේ ඉහළ ගොස් තිබේ.

සිරා කොලුවා විසින් ආයාසයෙන් වළදමා තිබූ  ස්කූටරයෙන් දුර ඈත සංචාරය කිරීමේ ආශාවට අළුතින් තටු ලැබුනේ ස්කූටරය වටා පෙළ ගැසුන මේ අලුත් ස්කූටර් කරුවන් රාශියත් සමගිනි. වන්දනාකරුවෝ යනු මෙලෙස අලුතින් ඇරඹුන ස්කූටර් සමාජ වලින් වඩාත් ප්‍ර‍සිද්ධම ස්කූටර් සමාජයයි. වසරකට වරක් පමණක් ඔව්හු  ලංකාව පුරා විසිරුන අවශේෂ ස්කූටර් කරුවන් සහභාගී කරගෙන දුර ඈත සවාරියක් යාම දැන් ස්කූටර් කරුවන් අතර ඉතා ප්‍ර‍සිද්ධ කාරණයකි. ඒ අනුව ඔවුන් සමගින් පසුගිය සැප්තැම්බරයේ සිරා කොලුවා රිවස්ටන් චාරිකාවක නිරත වූ අතර එතැනින් සොයාගත් නව ස්කූටර් මිත්‍ර‍යන්  සිරා කොලුවාගේ තනි නොතනියට සිටින නිසාම 2018 වසර ආරම්භයේදීම අප සහභාගි වූ නැග්රැක් චාරිකාවේ තොරතුරු මේ ලිපියට එකතු කරමි.

බලංගොඩ වතු සමාගමට අයත් නන්පේරියල් තේ වත්ත ඉහළ මුදුනේ, මුහුදු මට්ටමෙන් අඩි 7000 ඉක්මවූ උසක පිහිටා තිබෙන නැග්රැක් බංගලාව හා ඒ අවට පරිසරයේ  අති සුන්දර ඡායාරූප රාශියක් ‍හදිසියේ මෙන් දක්නට ලැබුන කාලයේ සිරා කොලුවා සිටියේ මැලේසියාවේ රැකියාවක නිතර වෙමිනි. මේ බංගලාවට පිවිසීමට ඇති මාර්ගයේ පවතින ස්වභාවික බාධකත්, සති අන්තයකට බංගලාව වෙන් කිරීමේ අපහසුතාත් සැලකීමට ගත් විට මෙය සැබැවින්ම ආයාසයෙන් යා යුතු චාරිකාවකි.

සුන්දර නැග්රැක් බංගලාව

ඡායාරූප දුටු දිනයේ සිටම සිරා කොලුවා නැග්රැක් සංචාරයකට සිහින මැවූ බැව් රහසක් නොවේ. එතැන් සිට ගත වූ වසර කීපයක ඇවෑමෙන් ඒ සිහිනය සැබෑ වන්නේ අතිජාත ස්කූටරය මතින් වීම සතුටට කාරණයකි. මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ ඒ අයාසකර ගමනේ තොරතුරු සමුදායයි.

සිරා කොලුවා ඇතුලත්ව නැග්රැක් ගමනට එක් වූ ස්කූටර් දුසිමෙන් බහුතරය රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතව තිබෙන ඒවා නිසා චාරිකාව ආරම්භ වූයේ රත්නපුරය නගරයෙනි. ඒ නිසාම පෙර දින රාත්‍රියේ එහි යන්නට මා හට සිදුවූවේය. 

රත්නපුර සීවලී ක්‍රීඩාංගනය ඉදිරිපිටදී කොළඹින් පැමිණි පිරිසත්, අවශේෂ ස්කූටර් කරුවනුත් එකට එක් වූ පසුව නිළ වශයෙන් නැග්රැක් චාරිකාව අරඹුනේය. රත්නපුර නගරය, කුරුවිට, බලංගොඩ පසුකරමින් ඉදිරියට ඇඳුන ස්කූටර් කරුවන් බෙලිහුල්ඔයට ලගා වූ පසුව කොළඹ බදුල්ල මාර්ගයේ, සඹරගමු විශ්වවිද්‍යාලයට කලියෙන් මුණ ගැසෙන පඹහින්න හන්දියේදී නැග්රැක් දෙසට ඇදෙන කිලෝමීටර් 21 ක් දුර මාර්ගය අපට සම්මුඛ වූයේය.

සීවලී ක්‍රීඩාංගනය ඉදිරිපිටදී

පඹහින්න හන්දිය
මේ මාර්ගයේ හිරිකටු ඔය පසුවන තෙක් මාර්ගය යම් තරමකින් හොඳ තත්වයේ පැවතියත් එතැන් පටන් ඇත්තේ දැඩි ලෙස අඹලන් වූ මාර්ගයකි. මේ කිලෝමීටර් 21 තුල ඇති සමස්ත වංගු ගණන 33 කි. ඒ නිසාම නැග්රැක් ගමන ලෙහෙසි පහසු නැත. ඔබ වාහනයකින් එහි යනවා නම් එය 4 x4  වාහනයක් වීම අනිවාර්ය කාරණයකි. එලෙසම එහි රියදුරාද රියදුරුකම පිළිබඳ හොඳ හැකියාවක් සහිත කෙනෙකු විය යුතුය.

මාර්ගයේ තැන තැන විසිරුන ගල් මිසක තාර නැත

දැන් අප කෙමෙන් කෙමෙන් කදු ශිඛර අතර හුදෙකලා වූ, ගලා ගිය වැසි දියෙන් පීඩිතව තාර ගැලවී ගොස් සෝදාපාළු වූ මාර්ගයක ක්‍ර‍ම ක්‍ර‍මයෙන් ඉහළ නගින්නෙමු. මේ පළාත් වල වැසියන්ට ඇත්තේ බාහිර සමාජය සමග ඉතා සුළු වූ ගණුදෙනුවකි. මීදුමෙන් වැසුන කඳු පන්ති අතර සැගවුන  ලැයිම් කාමර තුල ඔවුන්ගේ ලෝකය තනි වී තිබේ. මේ තනිකමට බාධා කරන්නේ..බාහිර සමාජය සමග ඔවුන් සම්බන්ධ කරන්නේ මේ මාර්ගයේ ධාවනය කෙරෙන තනි දොරේ  එකම එක ලංගම බස් රථයයි.



සිරාගේ අතිජාත ස්කූටරය හෙවත් කහ කුරුල්ලා

චාරිකාවේ නිරත වන ඇතැම් විටක ඇතැම් ස්කූටරයක් හදිසියේ රෝගාතුර වෙයි. එවැනි විටෙක කණ්ඩායමේ සිටින දොස්තරලා ඒ රෝගියා ගොඩගන්නට වෙහෙසෙයි. කාලය වැඩියෙන් ගත වෙයි නම් පිරිසකට ඉදිරිය බලා ඇදෙන ලෙස උපදෙස් ලැබෙයි. එවැනි උපදෙසක් අනුව ප්‍ර‍ථමයෙන් ඉදිරියට යන්නට නැග්රැක් ගමනේදී මා ඇතුලු කීප දෙනෙකුට සිදු වූහ.

චාරිකාවට පෙර දින රාත්‍රියේ මුණ ගැසුන රෝගියෙක්


පඹහින්න බලා පැමිණෙන අතරතුර බලංගොඩ නගරයෙන් අවශ්‍ය අඩුම කුඩුම සියල්ලම අපි විසින් මිළදී ගත්තෙමු. බංගලාවේදී අපට ආහාර ලබාගැනීමට නම් උවමනා දෑ එහි ගෙන යා යුතුය. ඒවා පිසදීම බංගලාවේ සේවය කරන පිරිස අතින් සිදු වෙයි.

දැන් දැන් කුසගින්න දැඩිව දැනෙයි. බලංගොඩදී මිළදී ගත් දිවා අාහාර පාර්සල් අපේ ගමන් මළු ඇතුලේ සිට සුවඳ විහිදුවයි. පිරිසක් අතර මග රෝගියෙකු සමග වෙහෙසෙයි. කෙසේ හෝ අවසානයේ පළමු කණ්ඩායමේ සිටි මා ඇතුළු කණ්ඩායම දිවා ආහාරය පිණිස මනරම් දිය ඇල්ලකට යාබද ස්ථානයක් තෝරා ගත්තෙමු.

දිවා ආහාරය පිණිස අපේ නැවතුම

ගත සිත සනසන සිහිල් සුළඟ ඒ මේ එත ගලායන ඇසිල්ලේ අප දිවා ආහාරය කුස තුලට යවා නැග්රැක් ගමනේ අසීරුම ඉසව්වට පය තැබීමටයි මේ සුජානම. මෙතැන් සිට මාර්ගයේ තාර ඇති තැනක් සෙවීම කළුනික සෙවීමටත් වඩා අපහසුය. ගල් ගැලවී පාර පුරා අපිළිවෙලට විසිරී ඇති මතුපිටෙක ස්කූටරය ධාවනය සැබැවින්ම අනතුරු දායක ක්‍රියාවකි. ස්කූටරයට සිදුවන හානි අවම කරමින් ධාවනය තවත් අභියෝගයකි. ඒ නිසා නැග්රැක් බංගලාව බලා අප ඇදෙන්නේ ඉතාම සීරුවෙනි. 


නන්පේරියල් තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති සමූපකාර කඩ පිල අසල අප මඳක් නතර වීමට තීරණය කලේ පළමු සහ දෙවන ගියරයේ පමණක් ධාවනය වී ඇති පදම් රත් වී ඇති එන්ජින් වලට මඳ විවේකයක් ලබා දීමේ අරමුණෙනි. සමූපකාර වෙළඳසැලේ මුදලාලි සැබැවින්ම සුහදශීලී දමිළ ජාතිකයෙකි. හෙතෙම හොඳින් සිංහල හසුරවන නිසාම අපට අපේ ගමන් මාර්ගය ගැන බොහෝ දේ ඔහුගෙන් දැනගත හැකි විය.

නන්පේරියල් සමූපකාරය

සමූපකාරයෙන් පසු මඳ දුරකින් අපට නන්පේරියල් තේ කර්මාන්ත ශාලාව මුණ ගැසුනේය. එතැන ඉඳිරියේ පාර හරහා ඉඳිවුන සුදු පැහැති ගේට්ටුවකි. පුද්ගලික පාරකි යනුවෙන් එහි සටහන් වී තිබේ. මෙතැනි සිට ඇති මාර්ගය නන්පේරියල් වත්තේ පුද්ගලික දේපලක් වීම එයට හේතුවයි. බංගලාව වෙන්කරගත් කෙනෙකුට එම ගේට්ටුවෙන් ඔබ්බට මාර්ගයේ ගමන් කිරීමට බාධාවක් නැත. එහෙත් බංගලාව වෙන් කර නොගත් කෙනෙකුට ඔවුන්ගේ විශේෂ අවසරයක් ඒ වෙනුවෙන් ගත යුතුය.

නන්පේරියල් තේ කර්මාන්තශාලාව

මෙතැන් සිට ඉදිරියට යාමට අවසර ලබා ගත යුතුය
නන්පේරියල් ළමා ලෝකය
ලැයිම් කාමර පෙලක්
නැග්රැක් ගමනේ අපහසුම කොටසට දැන් අප පිවිසී සිටින්නෙමු. මේ කොටසේ ඇතැම් තැනක කොන්ක්‍රීට් වලින් මාර්ගය පිළිසකර කර තිබුනත් ඒ බොහෝ සීමිත පෙදෙසක පමණි. ඇතැම් තැනක මාර්ගය කුමක්දැයි එක්වනම හඳුනාගැනීමට අපහසුය.


සවස 5 වන විට මුහුදු මට්ටමෙන් අඩි 5000 ක් සළකුනු කරන බේකර්ස් වංගුවට අප සිව්දෙනෙකු මුලින්ම පිවිසුනෙමු. ඉතිරි ඇත්තන් 8 දෙනා මේ මාර්ගයේ විවිධ ස්ථාන වල තවමත් මග පැමිණෙමින් සිටිති.  බේකර්ස් වංගුවෙන් ඔබ්බේ ඇති ස්වභාවික පරිසරය ඉතාම දැකුම්කළු එකකි. අප එහි යන විට මීදුමෙන් තොරව තිබූ එය, එහි පිවිසි සැනෙකින් මීදුමෙන් වැසී ගියේය. එතැන් සිට නැග්රැක් බංගලාව කරා ඇඳෙන මාර්ගය දැන් දැන් මීදුම් සළුවක ඔතා හමාරය.

බේකර්ස් වංගුව
හතර දෙනාම සූරයෝ


බේකර්ස් වංගුව අවට පෙදෙස මීදුමෙන් වැසෙන්නට ආසන්නව

වටින් ගොඩින් අඳුර ගලා එයි. අඳුරු වැටුන පසු මෙවැනි මාර්ගයක ගමන උගහට හෙයින් අපි යළිත් ගමන් ආරම්භ කළෙමු. අතිජාත ස්කූටරය කඩා වැටෙයිදෝ හිතෙන තරමට මාර්ගයේ බාධක රාශියකි. ඒ අතරින් සීරුවට සිරාගේ කහ කුරුල්ලා ධාවනය වෙයි.

මෙලෙස පැමිණි ගමනේ තවත් එක් සංධිස්ථානයක අපි නතර වූයෙමු. එහි මුහුදු මට්ටමේ සිට උස අඩි 6990 ලෙස සටහන් වී තිබේ. සිරුර පුරා දැනෙන්නේ කඳිම ශීතලකි. දුමාරයක් බඳු මීදුම පළාතම වෙලාගෙන සිටියි. එතැන් සිට බංගලාවට ඇත්තේ තවත් එක් කිලෝමීටරයකි. වෙහෙස කෙතරම් දැඩි වුවත් මේ පණිවිඩය අපට මහත් ධෛර්යයකි. ඒ අනුව වෙන් වෙන් වශයෙන් ස්කූටර් 4 ක් තවත් අඩ පැයකින් පමණ එහි ලගා වූයේය. එදා මෙදාතුර නැග්රැක් බංගලාවට පැමිණි පළමු ස්කූටර් කණ්ඩායමේ ආගමනය එසේ සිදු වූවේය.


නැග්රැක් බංගලාවේ භාරකරු ක්‍රිෂ්ණා අප සියල්ලෝ සාදරයෙන් පිළිගෙන බංගලා මිදුලේ එළිමහනේ ප්ලාස්ටික පුටු කීපයක් තබා අසුන් පැනෙව්වේය. සැබැවින්ම මිදුල අවට ඇති ස්වභාවික සුන්දරත්වය වචනයෙන් පැවසිය නොහැකි තරමට විශිෂ්ඨය. සිරා කොලුවා වන මා මව්බිමේ එතරම් සුන්දර දර්ශනයක් කලින් දැක නොතිබුනි. මිදුල උඩින් වලාකුළු මෙන් ඇදෙන මීදුම ඒ වෙලාවේ එතැන මැව්වේ පාරාදීසයක අසිරියකි. කෙමෙන් කෙමෙන් දැඩි වන ශීතල අතරේ අප අපහසුතාවට පත්වන දුටු ක්‍රිෂ්ණා...






ක්‍රිෂ්ණා...

මහත්තයලට තේ හදලා දෙන්නද ? යනුවෙන් විචාලේය ...

ක්‍රිෂ්ණාගේ සුරතින් ලැබුන තේ කෝප්පයේ රස පහස විඳින අතරතුර හෙතෙම අප සමග බෙහෙවින් කුළුපග වී කථාබහට එකතු වූවේය. ඒ කථාබහේ ඇතැම් තොරතුරු ඔබට කියන්නට මම රිසි වෙමි.

බේකර්ස් සුදු මහත්තයා තමයි ඉස්සර නන්පේරියල් මේ පළාතෙ පාලකයා. එයාට ඉන්න හදපු ගේ තමයි අද මේ නැග්රැක් බංගලාව කියලා කියන්නෙ. මේ ගේ හදන්න බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔහිය ස්ටේෂන් එක පැත්තෙන් හදපු අඩි 3 ක් පළල පාරක් දිගේ. ඒ කාලෙ පඹහින්න පැත්තෙන් එන පාර බේකර්ස් වංගුව ලගට එනකං ඇවිත් නතර වෙලා...මොකද ඒ කාලෙ බේකර්ස් වංගුව හදලා නැති නිසා...බංගලාවෙ ඉදන් බේකර්ස් වංගුව පැත්තට යන පාරත් වංගුව ලගින් නතර වෙලා.


කහ කුරුල්ලා බංගලාව ඉදිරිපිට

දවසක් දා බේකර්ස් සුද්දා තමන්ගෙ නෝනත් එක්ක දුම් පයිප්පයක් උරන්න අශ්ව කරත්තෙ අස්පයගෙ රැහැන අත ඇරලා...ඒ වෙලාවෙ පාලනයකින් තොරව ඉඳිරියට ඇදුන අස්පයයි කරත්තයයි දෙකම අද බේකර්ස් වංගුව තියෙන තැන එදා තිබුන ප්‍ර‍පාතයට වැටිලා විනාශ වෙලා. අන්තිම මොහොතෙ කරත්තයෙන් එළියට පැනගන්න පුලුවන් වෙච්ච නිසා මේ ජෝඩුවෙ දිවි රැකුනලු.

එදායින් පස්සෙ තමයි අශ්ව ලාඩමක හැඩයට ඔය වංගුව හැදුවා කියන්නෙ. බේකර්ස් සුද්දා හදපු නිසයි බේකර්ස් වංගුව කියන්නෙ. බේකර්ස් දිය ඇල්ල හොයාගෙන තියෙන්නෙත් එයාම තමයි. 

අලි ඇත්තු දාහකට වඩා වෙඩි තියලා මරලා දාලා...සොහොනට අදත් අකුණු ගහනවා කියන්නෙ මේ කියන බේකර්ස්ගෙමද ? මම ක්‍රිෂ්ණාගෙන් ඇහුවා. 

හරියටම හරි...ඒ සුද්දා තමයි අපි මේ කියන බේකර්ස්...1938 දි මේ බංගලාව හදන්න, මේ මිදුල සමතලා කරන්න මිනිස්සු මොන තරම් මහන්සි වෙන්න ඇතිද ...ඔක්කොම දෙමළ වතු කම්කරුවො තමයි වැඩ කරලා තියෙන්නෙ. අද වගේ වාහනත් නෑ..පාරත් බොහොම දුෂ්කරයි. ඔහිය ඉස්ටේෂමේ ඉදලා කරෙන් තමයි ගොඩාක් දේවල් මෙතනට ගෙනාවා කියන්නෙ. ඊට අමතරව කේබල් එකකුත් දාලා තිබුනලු. ඒ කේබල් එතුන රෝදෙ බංගලාවෙ මිදුලෙ පැත්තක තියෙනවා. ඒ වගේම හවස 6 වෙනකං හැමදාම වගේ බංගලාව හදන වැඩ කෙරිලා තියෙනවා. හරියට වැඩ කරන්නෙ නැති මිනිස්සුන්ට බේකර්ස් සුද්දා කසයෙන් ගැහුවා කියලත් අපේ වැඩිහිටියො කියනවා මම අහලා තියෙනවා.

සුදු පාලන සමයේ භාණ්ඩ ප්‍ර‍වාහනයට යොදා ගත් කේබල් එතුන රෝදය


සුදු පාලකයන්ගෙන් පස්සෙ මේ වත්ත රජයට අරගෙන තියෙනවා...ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා මධුසමයට ඇවිල්ලා තියෙන්නෙත් මේ බංගලාවට. දැනට අවුරුදු 10 ක විතර කාලෙ ඉඳන් තමයි මේ බංගලාව සාමාන්‍ය ජනතාවට විවෘත උනේ. හැරී ජයවර්ධන මහත්තයා මේ වතු සමාගම ගත්තට පස්සෙ.

නන්පේරියල් කියන නම කොහොමද හැදිලා තියෙන්නෙ...මම ආයෙමත් ඇහුවා...

නන් කියන්නෙ නමක්...පෙරිය කියන්නෙ උස කියන අදහස...මේ පළාතෙ උසම තැන කියන අදහසින් තමයි නන්පේරියල් කියන්නෙ. 

මුහුදු මට්ටමේ සිට අඩි 7000 ඉක්මවා යන උසක් ඇති නන්පේරියල් බංගලාවේ මිදුල ඉදිරිපිට ඇත්තේ කඳු පන්තියකි. ගොම්මල කන්ද , උඩවලව, චන්ද්‍රිකා වැව, තණමල්විල, අඹේවෙල, බලංගොඩ, නුවර එළිය වැනි පළාත් ක්‍රිෂ්ණාට අනුව නැග්රැක් බංගලාව ඉදිරිපිට සිට නැරඹීමට හැකිය.

බංගලාවේ මිදුලෙන් ඔබ්බේ පෙනෙන රමණීය දසුන

මඳින් මඳ පැමිණි අඳුර ඝන අඳුරක් බවට පත්වෙන විට එකා දෙන්නා බැගින් ස්කූටර් කරුවන් එහි ලගා වූහ. එහෙත් තවත් 4 දෙනෙකුගේ අඩුවක් තවමත් තිබේ. අපට හිමි කාමර පෙන්වූ පසු ගමන් වෙහෙස නිවෙන්නට උණුසුම් ජලය ස්නානය කොට සාලයේ ඇති ගිණි උඳුන ඉදිරිපස ඉඳගන්නා විට රාත්‍රී 8 කණිසම එළැඹී තිබුනි.

බලංගොඩින් මිළදී ගත් ආහාර ද්‍ර‍ව්‍ය මෙන්ම රහමෙරද ප්‍ර‍වාහනයේ පහසුව පිණිස එකිනෙකා අතර බෙදා දී තිබුනේය. ඒවා පැමිණි පිළිවෙලට කුස්සිය කරා ගමන් ගත් අතර නැග්රැක් බංගලාවේ කෝකියා යුහුසුළුව සිය කාරිය ආරම්භ කොට තිබුනේය. ඔහුට සහාය වන ක්‍රිෂ්ණාගේ දසුන එතැන් සිට වඩාත් සුලභ වූවේය.

රාත්‍රී 9 කණිසම වන විටත් තවත් තිදෙනෙකුගේ අඩුවක් පැවතිනි. බංගලාවට පැමිණෙන මාර්ගයේ බොහෝ තැන්හි දුරකථන සංඥා ක්‍රිියාත්මක නොවීමත් හේතුවෙන් ඔවුන් සිටිනා තැන නිශ්චිතව දැනගන්නට ක්‍ර‍මයක් නැත.

බංගලාවේ ඇතුලත දර්ශන
ස්කූටර් කණ්ඩායමේ සිටි  බොහෝ පිරිසකට දැන් දැන් බංගලාව තුල දැනෙන සිහිලස දරාගන්නට අපහසු සෙයකි. ඒ නිසාමදෝ එතෙක් අහුමුළු වලට සැගවී සිටි රහමෙර බෝතල් කරළියට පැමිණ අප අසුන් ගෙන සිටි ස්ථානයේ කුඩා ටී පෝවක් මත සැතපුනි. 

අරුන් තුන්දෙනා එනකං පොඩි එකක් ගමු...තව පැය කාලක් බලලා ආවෙ නැත්තං අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් බලමු...ස්කූටර් කණ්ඩායමේ ජේෂ්ඨයා වූ ගමගේ ගොයියා එසේ පැවසූයෙන් අපි මධුවිත සමග ඇසුර ඇරඹුවෙමු.

පළමු වටය අවසන් වනවාත් සමගම හැතිදාගෙන පැමිණෙන ස්කූටර් එන්ජිමක ශබ්දය ශ්‍ර‍වණය වූයෙන් අප සිත් සතන් පෙලූ අවිනිශ්චිතතාව පහ වූවේය.

ස්කූටර් දෙකක් මග දාලා එන්න උනා...ඒවා හදන්න නතර උනා හෙට තමයි මෙතනට එන්න වෙන්නෙ.  මේ ගමනේ සංවිධායක රත්නපුරේ ධනුක ගමන් මහන්සියත්...අතර මගදී සිදුවූ අලකලංචිත් නිසාම මහත් සේ වෙහෙසට පත්ව සිටියේය.

ගතට දැනෙන කඳිම සිහිලසක, සිහිනයක් වූ තැනක දුසිමක් පිරිස දැන් සිටින්නේ මහත් වූ ප්‍රීතියෙනි. මෙවැනි දුෂ්කර මාර්ගයක් ස්කූටර් මතින් තරණය කරන්නට ලැබීමම මේ උත්කර්ශයට හේතු වී තිබුනි. 

                                     
නැග්රැක් බංගලාවේ සුන්දරත්වයෙන් බිඳක්

සිහින සැබෑවන්නේ කැපවීමෙනි. එසේ සාක්ෂාත් වූ සංචාරයක් ලෙස මම නැග්රැක් සංචාරය දකිමි. මේ සිහිනයේ දැවටෙන්නට ඔබත් කැමති නම් අවැසි තොරතුරු ලිපියේ පහළින් දක්වා තිබේ.





මම කාමරේ අරින සිරා කොලුවා



ප.ලි

2018 වසරේ සිට එක් රාත්‍රියක් සඳහා නැග්රැක් බංගලාව රු 30,000/- ක මුදලක් අය කරයි. කාමර 5 ක ඇඳන් දෙක බැගින් 10 දෙනෙකුට හා උපරිම ලෙස 12 දෙනෙකුට එහි පහසුකම් තිබේ. රියදුරන් සඳහා වෙනම කොටසක් පසුපස කොටසේ ඉඳිවෙමින් පවතී.

නැග්රැක් බංගලාවේදී ඔබේ ආහාර අවශ්‍යතා ඉටුකරගැනීමට උවමනා අාහාර ද්‍ර‍ව්‍ය ඔබ එහි යන විට රැගෙන යා යුතුය. ලූණු ගෙඩියේ සිට තේ පැකැට්ටුව දක්වා සියලුම දෑ එයට අයත් විය යුතුය.

බංගලාවේ කාමර වායුසමනය කර නැත. එහෙත් උණුසුම් ජලය ස්නානය කිරීමේ පහසුව එහි ඇත. අළුයම් කාලයේ දැනෙන්නේ දැඩි ශීතලකි. හීටර්ස් නොමැති නිසාම එයට ගැලපෙන ඇඳුම් ආදිය රැගෙන යාම ඔබේ වගකීමකි.

බංගලාවට පිවිසීමට නම් 4 x 4 වාහන අවශ්‍යම යැයි මට සිතෙන්නේ මාර්ගයේ පවතින බාධක හේතුවෙනි. ඔබට එහි යාමට එවැනි වාහනයක් නැතිනම් නන්පේරියල් තේ කර්මාන්ත ශාලාව අසලට පැමිණ එම මාර්ගයේ ධාවනය වන ලොරියක් ඔබේ ගමන් පහසුව සඳහා ලබා ගත හැක. මෙම ස්ථානයේ නවාතැන් ගැනීමට අවැසි සියලුම විස්තර දැනගැනීමට එහි භාරකරු වන කිෂ්ණා  අමතන්න. 0773 232 708 / 0455622533

නැග්රැක් බංගලාවේ පිටුපසින් හෝටන් තැන්නට යා හැකි අඩි පාරක් තිබේ. එහෙත් එහි ගමන් කිරීමට නම් වනජීවී දෙපාර්තමේන්තුවෙන් වේලාසන අවසර ගත යුතුය. එසේ නොමැතිව එහි ගමන් කිරීම නීතිවිරෝධී වන අතර එය දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙම බංගලාව ඉදිරිපිට ඇති ස්වභාවික දර්ශනය අතිශයින් චමත්කාර ජනක එකකි. ඔබේ මීලග සංචාරය මෙම ස්ථානයට නම් ඔබත් එහි සාක්ෂිකාරයෙකු වන නොඅනුමානය. නැග්රැක් බංගලාව සහ එහි වටපිටාව පිළිබඳ අන්තර්ඡාලයේ සවිස්තර ලිපියක අඩුව මෙමගින් යම් තරමකට සම්පූර්ණ වනු ඇත.

ස්කූටර් සමාජ ඇතිකිරීමෙන් පසු පැරණි ස්කූටර් සඳහා වන ඉල්ලුමත් ඒවායේ වටිනාකමත් බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ නිසාම පැරණි ස්කූටරයක් මිළදී ගැනීමට සොයාගැනීම ඉතාමත් අපහසු හෙයින් එවැනි ඉල්ලීම් ඉටු කිරීමට අපහසු බැව් කාරුණිකව සලකන්න.

Sunday, October 29, 2017

26 ගල්කඩවල චූටි හීන

සිරා කොලුවා ඇතුලු මිත්තර සම්පත්තිය විසින්, දුෂ්කර පළාත් වල අඩු පහසුකම්, විශේෂයෙන් මූල්‍ය අවහිරතා මැද අකුරු කරන දූ දරුවන් හට සරණක් වීමේ අරමුණින් ඇරඹූ අරුණළු ව්‍යාපෘතිය වටේට දැන් බොහෝ පිරිසක් අත්වැල් බැඳගෙන අවසන්. පහුගිය මාර්තුවෙ දිඹුලාගල කන්දේගමට වැටුන අරුණළු එළියෙන් පස්සෙ තවත් එවැනිම ආකාරයේ සත් කටයුත්තකට දායක වෙන්න සැප්තැම්බර් මාසයේ මුල් භාගයෙදි අපිට හැකි උනා.


අපේ හන්දියෙ කුඩා සන්ධියෙ සිට ජීවත් වෙලා, දැන් කැංගරු දේශයේ කල දවස ගෙවන මධුසංඛ ගොයියා සිරා කොලුවගෙ බොහොම හොඳ හිතවතෙක්. මධුසංඛ මුහුණු පොතේ  හක්කොලං කරන වෙලාවක තමයි බොලාට අද කියන්න යන කාරණේ ගැන මුලින්ම සැල කොලේ.

බොලා මාර්තුවෙ කලා වගේ බොහොම දුප්පත් ඉස්කෝලෙකට උදව් කරන්න මමත් කැමතියි. මගෙ ළමයි දෙන්නගෙ වගේම අම්මගෙ උපන් දින යෙදිලා තියෙන්නෙත් සැප්තැම්බර් මාසෙ, ඒ වෙනුවෙන් අපි යමක් සූජානම් කරමු. මම ලංකාවට එනවා අගෝස්තු අන්තිමේ...

දිඹුලාගලින් පස්සෙ සිරා කොලුවා එක්ක එකදු පහදු වෙච්ච දිලීප මලයට සිරා කොලුවා මධුසංඛගේ පයින්ඩෙ ලබා දුන්නා.  දිලීප කියන්නෙ රත්තරං හදවතක් තියෙන ඉස්තරං කොල්ලෙක්. අහස් දිය පමා වෙලා වැවේ රොන් මඩ පුපුරලා යද්දි, භව බෝග පරඬැල් වගේ හුළගෙ ලෙලදෙන, ජීවිතේ ගැටගහගන්න හතර අතේ කල්පනා කරන, දරිද්‍ර‍තාවෙ පතුලෙ ඉන්න උතුරු මැද පළාතෙ අහිංසක දෙමාපියන්ගෙ දරුවන්ට, අ.පො.ස සා.පෙ ගණිතය විෂයට අඩුම තරමෙ සාමාන්‍ය සාමාර්ථයක්වත් ලබා දෙන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා  උගන්වන එක තමා අපේ දිලීප මල්ලිගෙ එකම සැපත. ගණිතයට සාමාන්‍ය සාමාර්ථයක්වත් නැතුව කවුද මේ කොල්ලන්ට කෙල්ලන්ට සේල්ස් ජොබ් එකක්වත් දෙන්නෙ හැබෑට.

දවස් තුන හතර පාසලේම නතර වෙලා. ඩෙස්ක් දෙක තුනක් ලං කරගෙන, කඩදාසි කොළයක් ඒ මත එලාගෙන බොහොම අපහසුවෙන් නිදි සුව විඳලා, බඩට බත් නැතුව දිලීප මල්ලි කරන මේ සටන ගැන ඇත්තමයි සත්තයි මට හරිම ආඩම්බරයි. ඔහු වැනි පුතුන් තව තවත් මේ දෙරණ මත බිහිවේවා කියලා මේ ලිපිය අස්සෙන් පතන්න මම හරි මනාපයි. දිලීප මල්ලි මේ ගමන් බිමන් වලදි ලබන අත්දැකීම් වලින් මෙවැනි ලිපි රාශියක් ලියන්න පුලුවන්. ඒ සමහරක් කථා ඔබ කවදාවත් අසා නැතුවාට කිසිම සැකයක් නෑ.

අතනින් මෙතනට, මෙතනින් අතනට, දිලීපට එක තැනක් කියලා නෑ. මහා අව් කාෂ්ඨකේ දැවෙන, අපේම මිනිස්සුන්ගෙ දූ දරුවන්ටත්, හෙටක් තිබිය යුතුයි කියලා ඔහු තරයේ විශ්වාස කරන නිසා ඒ අය වෙනුවෙන් ඔහු හැමදාමත් නිවසින් ඈතයි. ඔහුගෙ පියානන් නිවන් දැකලා සෑහෙන දොහක් ගතවෙලා. මේ වගේ අතිජාත පුත්‍ර‍රත්නයක් හැදුව මනුස්සයා නිවන් නොදැක කෝමෙයි. ඉඳලා හිටලා දවසක ගෙදර හිටියත් දිලීපගෙ අම්මගෙ හිතේ කොල්ලා ගැන අරියාදුවක් නෑ. තමන්ට පුලු පුලුවන් විදියට උතුර මැද පළාතෙ, අව් කාෂ්ඨකේ පිච්චෙන මිනිස්සුන්ගෙ දරුවන්ට ඔහුගෙන් ඉටුවන සේවය ගැන එතුමිය නිහඬවම ආඩම්බර වෙනවා ඇති.

දිලීප මල්ලි

ඔයින් මෙයින් දිලීප මලයා මට දුන්න පාසල් දෙක පිහිටා තිබුනෙ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල පළාතේ ගල්කඩවල කියන ඉසව්වෙ. පළමුවැනි පාසල 1 වසර සිට 5 වසර දක්වා පන්ති පැවැත්වෙන, දරුවො 85 දෙනෙක් ඉගෙනගන්න, ගල්කඩවල කණිෂ්ඨ විද්‍යාලය, දෙවැනි පාසල 1 වසර සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන, දරුවො 81 දෙනෙක් අධ්‍යාපනය හදාරන පඹුරුගස්වැව විද්‍යාලය. වෙනසක් නොකර මේ පාසල් දෙකටම හැකි විදියට උදව් කරමු කියන අදහසේ තමා අපේ මධුසංඛ ගොයියා උන්නෙ.

අරුණළු වෙනුවෙන් මේ සත්කාර්යය සංවිධානය කරන වගකීම මගේ කරපිටට වැටුනට පස්සෙ, මම මුලින්ම කලේ පාසල් ද්විත්වයේ අවශ්‍යතාවන් මොනවද කියලා විදුහල්පතිතුමන්ලාගේ මාර්ගයෙන් දැනුවත් වීම.  ඔවුන් සමග සබඳතාව ගොඩනගාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලැබුන සහයෝගයත් බැති සිතින් සිහිපත් කල යුතුයි. අධ්‍යාපන උපකරණ වල හිගකම තමයි වැඩියෙන්ම ඉස්මතු උනේ.

අපේ ඉස්කෝලෙ පරිගණක කීපයක් තිබුනත් ප්‍රින්ටර් එකක් නෑ. හදිසි අවශ්‍යතාවයකට ප්‍රින්ට් අවුට් එකක් ගන්න අපිට කිලෝමීටර් 10 කට කිට්ටුව යන්න උවමනායි. මහත්තුරුන්ට පුලුවන් නම් අපිට ප්‍රින්ටරයක් අරගෙන දෙන්න ඒක අපිට ලොකු උදව්වක්.

ගල්කඩවල විද්‍යාලයේ විදුහල්පති තුමා එහෙම කිව්වම මට පුදුම හිතුනා. අඟහරු මත ජනාවාශ පිහිටුවන්න, සෙනසුරු ග්‍ර‍හයා මත යානා ගොඩබස්සන්න සමත් තාක්ෂණයක් තියෙන ලෝකෙ තවත් තැනක ප්‍රින්ට් අවුට් එකක් ගන්න කිලෝමීටර් ගනනාවක් යා යුතුයි.

පඹුරුගස්වැව විද්‍යාලයට මුද්‍ර‍ණ යන්ත්‍ර‍යක්
ගල්කඩවල විද්‍යාලයට මුදුණ යන්ත්‍ර‍යක් 
විදුහල්පතිතුමන්ලා දෙන්නම මුදුණ යන්ත්‍ර‍ය බැගින් ඉල්ලා සිටියා. ඒ වගේම අපේ වෑයම බොහෝම අගය කලා,  වරින් වර අවශ්‍ය තොරතුරු කාරිය සම්පාදනය කොරද්දි, සිරා කොලුවා වන මම පුරුදු විදියට අරුණළු මගින් වෛද්‍ය සායනයක් පවත්වන්න යුධ හමුදා වෛද්‍ය, මා මිත්‍ර‍ සමින්ද ගොයියත්, ඖෂධවේදී ලක්මාල් ගොයියත් ලං කර ගත්තා. මම හරිම ආඩම්බරයි, මෙවැනි මිත්තරයන් ගැන. ඒ අය රාජකාරි වෙලාවෙන් පස්සෙ ප්‍ර‍යිවට් ප්‍රැක්ටිස් කරලා සල්ලි මිටි බඳින්නෙ නෑ. රජයෙන් අපිට ගෙවන ගාන අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න හොඳටම ඇති බං. නිදහස් අධ්‍යාපනයෙන් අපි ඉගෙන ගත්තෙ. අපිත් දුප්පත් පවුල් වලින් ආපු උන්. අපේ වගකීම අපේ රටට පුලුවන් උපරිමයෙන් සේවය කරන එක. දරිද්‍ර‍තාවයෙ පතුලෙ ඉන්න මිනිහගෙ දුක දැනගන්න අපිත් දුප්පත් විය යුතු නෑ. හදවත ගොඩාක් පොහොසත් නම් ඇත්තමයි ඔබටත් ඔවුන්ගේ දුක හොඳින් දැනේවි.

අද අපි දරන පදවි තානාන්තර නම්බු නාම කිසිවක් නැති අතීතයෙදි, ගම්පහ පුස්තකාලෙ සුදු අරලිය ගහ යට කෙළි කවට සිනහවක ගිලුන සුන්දර මිත්‍ර‍ත්වය අද දක්වාම වෙනසක් නැතුව ආරක්ෂා කරගෙන එන නිසාම සිරා කොලුවා වන මට මේ පිරිස මගේම සහෝදරයො තරමට ලගයි. ඉතින් ඒ හිතවත්කම අරුණළු කියන සංකල්පය යටට ගෙනාවම තවත් සුන්දරයි.

අරුණළු යට නැවත හමුවුන පැරණි මිතුදම

පොඩි උන්ට අපි මොනවද දෙන්නෙ ? මධුසංඛ මුහුණුපොතෙන් තවත් දවසක මගෙන් ඇහුවා.

විදුහල්පතිතුමාලා කියන්නෙ අධ්‍යාපන උපකරණ වල අඩුවක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඒ දේවල් දෙමු. පොඩිම අයගෙ උපකරණ ටික ලස්සන ඉස්කෝල බෑග් එකක දාලා දෙන්න තියෙනවා නම් එයාලා ආශා වෙයි. මම එහෙම කිව්වා.

ඔස්ට්‍රේලියාවෙන් සමහර විට ලංකාවෙ ගානටම හෝ ඊටත් අඩුවෙන් පොඩි අයට හොඳම ඉස්කෝල බෑග් ගේන්න පුලුවන් වෙයි. ඒත් ලංකාවෙ හදන කෙනෙකුගෙන් මේවා ගත්තොත් අපේ කෙනෙක්ටමනෙ මේ බිස්නස් එක යන්නෙ...ඒ නිසා අපිට උවමනා බෑග් ටික ඒ විදියට ගමු. මධුසංඛ එහෙම කිව්වෙ නොරටක වාසය කලත් ඔහුගේ හදවත ලංකාවෙ තියෙන නිසයි. ඒ අනුව අපේ බෑග් ඇණවුම දකුණු පළාතෙ, බෙන්තර පැත්තෙ දිරිය ළඳකට යොමු  කලා. අපේ සත්ක්‍රියාව ගැන විස්තර අහපු ඇය ඉතාම සතුටට පත් උනා විතරක් නෙමෙයි නිෂ්පාදන වියදම විතරක් අරගෙන ලස්සන ලස්සන බෑග් දෙන්න කැමති උනා.

ඇත්තමයි..මට හරිම සන්තෝෂයි මම හදන බෑග් පොඩි අය කරේ එල්ලගෙන ඉන්නවා දකින්න. අනේ ඔයාලා ආධාර දුන්නට පස්සෙ මටත් බලන්න ඒ අයගෙ පින්තූර එවන්න. මගේ බෑග් කරේ එල්ලගෙන ඉන්න පුංචි කොල්ලො කෙල්ලො. ඇයට තිබුනෙ අහිංසක ආශාවක්.
 


පීපල්ස් පාක් එකේ ශෂී කලින් වතාවෙ වගේම මේ වතාවෙත් අධ්‍යාපන උපකරණ ලැයිස්තුව සකස් කරලා බොහොම අඩු මුදලට ඒවා අපිට ලබා දුන්නා. ඔහු සේවය කරන ආයතනය මේ එක් එක් වර්ග පිටරටින් ගෙන්වලා තොග පිටින් අළෙවි කරණ ආයතනයක්. සිංහල අමාරුවෙන් කථා කලත්..වැඩේ අරුණළු නම් ශෂී අපිට උදව් කරන්නෙ හදවතින්මයි.

අවශ්‍ය අඩුම කුඩුම සියල්ල මැනවින් සම්පාදනය කරගෙන, පහුගිය සැප්තැම්බර් මාසෙ දවසක අරුණළු අපිත්, මධුසංඛ සහ පවුලේ උදවියත් ත්‍රී කුණාමලය බලා පිටත් උනා. මුලතිව් යුධ හමුදා කඳවුරකින් පිටත් වෙලා නිවසට ඇවිත් දෙපැයක් නිදාගන්න නොලැබුන මගේ වෛද්‍ය මිත්‍ර‍යත් කලින් පොරොන්දු උනා වගේම නෑ බෑ නොකියා ගමනට එකතු උනා. ඔය පැතිවල පොඩි අයට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් චර්ම රෝග අධිකයි. ඒ නිසා ඒවට ගැලපෙන බෙහෙත් වැඩියෙන් දා ගනින්. අපේ ඖෂධවේදි ලක්මාල් වෙත වෛද්‍ය උපදෙස් ලැබුනෙ එහෙමයි.

අපේ පුතා ඉයන් ලැබුනට පස්සෙ මගේ නෝනා මුලින්ම ලංකාවට එන්නෙ මේ වතාවෙ අවුරුදු 4 කට පස්සෙ. අපේ පුතා ඉයන් මුල්ම වතාවට තමයි මේ ලංකාවට ආවෙ. මට පෙන්වන්න ඕනෙ ඔස්ට්‍රේලියාවෙ එයාලට තියෙන පහසුකම් කොච්චරක්ද කියන එක. ඒ පහසුකම් වලට ගොඩාක් අඩු පහසුකම් යටතේ ලංකාවෙ අයියලා අක්කලා ඉගෙන ගන්න මහන්සි වෙන විදිය.  මට ඕනෙ එයාවත් එයාගෙ තාත්තා වගේ අනාගතේ දවසක මේ රටේ අසරණ මිනිස්සු වෙනුවෙන් යමක් කරන මිනිහෙක් බවට පත් කරන්න. මධුසංඛ නුවර එළි ශීතල අස්සෙ බස් රථය ඇතුලෙදි එහෙම කිව්වා. ඔහුගේ ඥාති සමූහයාගෙන් බොහෝ පිරිසක් මේ ගමනට එකතු වෙන්නෙ පෙරදා අළුයම වනතෙක් පොඩි උන්ගෙ තෑගි ටික අපූරුවට පාර්සල් කරලා තිළිණ වෙච්ච නිදිමත වගේම මහන්සියත් දරාගෙන.

ආධාර වැඩසටහනට කලින් දවසෙ අපි ත්‍රීකුණාමලයෙ නවාතැන් ගත්තා. එතැන ඉදන් අපෙන් ආධාර ලැබෙන පාසල් වලට තියෙන්නෙ සීමිත දුරක්. අපිට පොඩි උන්ව රස්තියාදු නොකර වෙලාවටම යන්න පුලුවන්.

ඉරිදා කියන්නෙ දහම්පාසල් දවස. අද ළමයි දහම් පාසල් යන්නෙ නැතුව ඉස්කෝලෙට ගෙන්න ගන්න මම හාමුදුරුවන්ගෙන් අවසර ගත්තා. උන් වහන්සේත් පාසලට වඩිනවා. ගල්කඩවල විද්‍යාලයෙ විදුහල්පතිතුමා දුරබණුවෙන් දවසක්දා මට එහෙම කිව්වා.

නායක හිමියන්

ත්‍රීකුණාමලයෙදි ගත වෙච්ච අරුණළු අපේ රාත්‍රිය හරිම සුන්දරයි. ත්‍රී කුණාමලය ජැටිය අයිනට වෙලා නිහඩ පරිසරයට අපෙන් එකතු උන ගීතාවලියට අත්වැල සැපයූවෙ තාලයකට බිඳෙන සයුරු රළ පමණයි.. ඉස්සර පෙම්වතුන් වෙච්ච, දැන් ප්‍රිය බිරිඳ සැමියා විදියට, දරු සුරතල් විඳිමින් එක වහළක් යට දිවි ගෙවන ජෝඩු කීපයක්ම මෙතන ඉන්නවා. ඒ ඇත්තන් තමන්ගෙ යටගියාව, ගැන මෙනෙහි කරන මතකයන් හරිම අපූරුයි.

ලංකාවෙ පාසල් යන කාලෙ පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයකට තම්මැට්ටම් ගහපු නිසාම මධුසංඛට ඉතාම අපූරුවට කොංගෝව වාදනය කරන්න පුලුවන්. ඔහු රහට වාදනය කරද්දි ඒ රාත්‍රිය වඩ වඩාත් සුන්දර එකක් උනා. කරදිය සුවඳ මුසුවෙච්ච කාක දූපත පැත්තෙන් හමන මන්ද මාරුතයෙ සිහිලසත්, අපිට ඉහළින් අප දෙස බලා උන්නු තරු වියනත් අපේ ප්‍රේක්ෂකයන් වාගෙයි.

සෙනසුරාදාවක ත්‍රීකුණාමලයට ගියපු අපිට ඉරිදා දවසට අරුණළු නැගුනෙ අළුත් බලාපොරොත්තු රාශියක් හදවතේ පුබුදමින්. සුනංගු නොවී පළමු පාසලට යන්නයි අපේ වෑයම. පුංචි පුංචි බලාපොරොත්තු පොදිබැදගෙන අප එන මග දෙස නෙත් යොමාගෙන බලා ඉන්න පුංචි හිත් රස්තියාදු කරන්න අපිට හිත දෙන්නෙ නෑ. පොඩි අයට අපි එහෙන් එද්දිම ටොෆී ගෙනාවා. මධුසංඛගෙ ප්‍රිය බිරිඳ පියුමි විවිධ වර්ගවල ටොෆී ඇතුලත් පාර්සලයක් තමන්ගෙ ලගින් තියාගත්තා.


වෙස් නැට්ටුවො, තූර්ය වාදක කණ්ඩායම්, ටයිපොලු හිරකරගත්ත සර්ලා, හැට්ට කර යටටම කපපු, කොණ්ඩෙ රීබොන්ඩ් කරපු ගුරුතුමියො මේ පාසල් වල නෑ. ඒ නිසා ඔවුන් චාරිත්‍රානුකූලව බුලත් අතක් බැගින් දෙමින් අපේ ඇත්තන්ව පිළිගත්තා. අප පාසලට පිවිසෙන මග දෙපස පොඩි උන් අත්පුඩි තලමින් හිනැහුනා.

පොල්තෙල් පහන් සිල දල්වලා නායක හාමුදුරුවන්ගෙ අනුශාසනාවටත් සවන් දුන්නට පස්සෙ, තේ බීලම ඉමුද මහත්තුරු, නැත්නම් තේ නිවේවි. බුලත් කහටින් දුර්වර්ණව ගිය දසන් දක්වා විදුහල්පති රංජිත් මහතා සිනහා උනා. එතුමා ලඟ ගැමි සුවඳ ඕනෑවටත් වඩා තිබුනා. මොන තරම් අව්‍යාජ මිනිස්සුද මේ...මට එහෙමයි හිතුනෙ. ගල්කඩවල විද්‍යාලයේ පුංචි තේ මේසය එයාලගෙ හැකියාවෙ හැටියට සැරසිලා. මේ කලාපෙ කොහෙ ගියත් ආගන්තුක සත්කාර වලින් නම් ඉතින් අඩුවක් නෑ.

තේ පානයෙන් පස්සෙ ගුරුවරුන්, දෙමාපියො, පුංචි දරුවන් හැමෝම පන්ති කාමර 3 ක් වෙන් කරන බෝඩ් ලෑලි අයින් කරලා හදපු උත්සව ශාලාවෙ අසුන් ගත්තා. මේ පාසලින්ම ඉගෙන ගෙන අද ඒ පාසලේම ගුරුවරියක් ලෙස කටයුතු කරන මහත්මියක් තමන්ගෙ ළමා කාලය, ගමේ වටපිටාව, යුද්ධය ආදිය ගැන පැවසූ කරුණු බොහොම සංවේදියි. ගං වතුර ගලන කාලෙට ගෙදරට අදින ගවුම පිටින් ඉනවටක් වතුරෙ බැහැලා ගිහිල්ලා එගොඩවෙලා තමයි සුදු ගවුම ඇදගෙන අපි ඉගෙන ගන්න ඉස්කෝලෙ ගියෙ. ඇගේ නෙත් අග දිලිසෙන පුංචි කදුලු බින්දුවක් උත්සව ශාලාවෙ ඉදිරි පෙලේ අසුනක උන්නු සිරා කොලුවට පෙනුනා.

මේ පාසල් වලට මේ පරිසරයෙන්ම ගුරුවරු පත්කරන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නෙ. පිටින් එන ගුරුවරුන්ට මේ පරිසරයෙ ඉන්න හිත් දෙන්නෙ නෑ. එයාලා ආව වේගෙට වඩා වේගෙන් ආපහු යන්නයි කැමති. අපේ ඉංග්‍රීසි ගුරුතුමිය සේවයට ආව අලුත නිතරම එයාට හිමි නිවාඩු ගත්තා. ඊට පස්සෙ ප්‍ර‍සූත නිවාඩු ගත්තා. ඊට පස්සෙ අඩ වැටුප් නිවාඩු ටික ගත්තා. දැන් වැටුප් රහිත නිවාඩු ටිකත් ඉල්ලුම් කරලා. දරුවො ගැන කැක්කුමක් නැති ගුරුවරු අන්න එහෙමයි මහත්තයො. විදුහල්පති තුමා එහෙම කිව්වා.

මේ කථාවලින් පස්සෙ අරුණළු වෙනුවෙන් මේ පුංචි කොලු පැටව්, කෙලි පැටව් ධෛර්යමත් කරමින් අපි කථා කලේ. ගැටලු හමුවේ පසුබා යන්නෙ නැතුව උත්සාහයෙන් ඉගෙන ගන්න කියන පණිවිඩේ තමයි අපට දෙන්නට අවශ්‍ය උනේ.

අරුණළු කන්දේගම වැඩසටනේදි අප මිත්‍ර‍ නුවන් කුලසේකරට හැඬුම් ආවා වගේම, මා මිත්‍ර‍ මධුසංඛටත් ඔහුගේ කථාව තුල වඩාත් සංවේදී වූ අවස්ථාවක් තිබුනා. මගේ දෙමාපියොත්, මගේ බිරිඳගේ දෙමාපියොත් අද අපි මේ කරන කටයුත්ත දිහා බලාන බොහෝ සතුටු වෙනවා ඇති. ඔහු එලෙස පවසද්දි සභාගැබේ උන්නු ඔවුන්ගේ දෙමාපියන් ඉතාම සංවේදීව ඔහු දෙස බලාන උන්නා. ඇතැම් වෙලාවට අපට දැනෙන මිනිස් හැගීම් විස්තර කරන්න වචන නෑ.

මධුසංඛ

1 වසරෙ ඉදන් පිළිවෙලට ත්‍යාග ප්‍ර‍දානය ආරම්භ උනා. ඉයන් වගේම ඉයන්ගෙ අක්කා එලිසාත් මේ පුංචි යාලුවන්ට තෑගි බෙදාදෙන්න බොහොම කැමැත්තෙන් දායක උනා. පුංචි දරුපැටව් හරිම ආශාවෙන් මේ තෑගි දෝතින් බදාගන්නකොට ඒ අයගෙ සතුට අපිටත් දැනෙනවා වාගෙයි.



බලන්න මේ පුංචි පුතාගෙ සතුට....


නංගි ඔයාගෙ නම මොකක්ද ? කටකාර කොලුවෙක් එලිසාගෙන් ඇහුවා...

එලිසා...

හෙ හෙ...ඒ මොන ජාතියෙ නමක්ද....ඒ.. පොඩි උන් රෑන කොක්හඩලා හිනාවෙන කොට එලිසත් ඒ හිනාවටම එකතු උනා.

එලිසා

ත්‍යාග ප්‍ර‍දානෝත්සවයට සමගාමීව විදුහලේ පන්ති කාමරයක අපේ වෛද්‍ය තුමා නිහඩවම වෛද්‍ය සායනය ආරම්භ කොට තිබුනා. දරුවන්ට වගේම දෙමාපියන්ටත්  එය විවෘතව තැබූ නිසා බොහෝ පිරිසකට සෙත සැලසුන බැව් නොකියාම බෑ.

වෛද්‍ය සායනයේ තමන්ගේ වාරය එනතුරු සිටින මවුවරුන් පිරිසක්


දිලීප මල්ලි එයාගෙ අනුග්‍ර‍හයෙන් ලබාදුන්න තෑගි දුන්නෙ පුංචි තරගයක් දෙකක් තියලා..පාසල් ක්‍රීඩාපිටියෙදි. මෙවැනි ක්‍රියාකාරකම් සඳහා මේ දරුවන්ගෙ තියෙන උනන්දුව ඉතාම ඉහළයි. ඔවුන්ට නැත්තෙ ඒ සඳහා අවස්ථාවන්.


ඉයන් සහ එලිසා අනෙකුත් දරුවන් සමග දීලීපගේ ක්‍රියාකාරකමක

මේ කටයුතු වලින් පස්සෙ දිවා ආහාරය පිළිගැන්වුනා. ගමේ ක්‍ර‍මයට, අපට ලැබුන ආහාර වේල ඉස්තරම්. ඔවුන්ගෙන් රහ බලපු තිබ්බටු කරියෙ රස තවම අමතක නෑ.

ආහාර භුක්තිවිදීමෙන් පස්සෙ අපි රෑ බෝ වෙන්න කලින් පඹුරුගස්වැවට ආධාර බෙදන්න යන්න සූජානම් උනා. අපව එහි කැඳවාගෙන යනු පිණිස එම විද්‍යාලයේ විදුහල්පති ජයතිලක මහතා ගල්කඩවල විද්‍යාලයට පැමිණ තිබුනා. ගල්කඩවල ජනාවාශ කොටස පසුකලාට පස්සෙ ගුරුපාර දෙපස ඝනව වැඩුන කැළෑවක් පමණයි අපට ඉදිරියෙන් දකින්නට තිබුනේ. මෙලෙස කිලෝමීටර් 6 - 7 ක් පමණ දුරක් හුදෙකලා වූ වන පියස දිගේ යා යුතුයි.

යුද්ධය තිබුන කාලෙ 17 වතාවක් මේ පාරෙදි හමුදාවෙ වාහන වලට කොටි ගැහුවා. ජයතිලක මහතා බොහොම දොඩමළුයි. තව ටික කාලෙකින් යාන් ඔය ව්‍යාපාරය පටන් ගත්තම මේ පළාතම ජලයෙන් යට වෙනවා. අපේ ඉස්කෝලෙත් එක්කම. ගල්කඩවල ඉස්කෝලෙ යට වෙන්නෙ නෑ.  එ් වෙනකොට රජය අපේ  පාසල වෙනත් තැනකට අරගෙන යන්නයි සැලසුම් කරලා තියෙන්නෙ. අපේ පාසල තියෙන ඉසව්වෙ අඩි 20 ක් විතර උසට වතුර කඳක් තියේවි.

එතකොට මේ ගස්කොළන් වලට මොකද වෙන්නෙ. බලන්න රූස්ස ගස් බොහොමයක් තියෙනවනෙ. විදුහල්පතිතුමාගෙන් මම ඇහුවා.

එකක්වත් කපන්නෙ නෑ කිව්වා. ඔහොමම ජලයට යට කරනවලු. ඔය ගස්වලින් අන්තිම මොහොත වෙනකම්ම මොන තරම් ඔක්සිජන් කන්දරාවක් මේ පරිසරයට මුදා හරිනවද...

පඹුරුගස්වැව විද්‍යාලයෙ දරුවො සියල්ලම අප එහි ගිය මග දෙපස රැස්වෙලා බොහොම ආදරයෙන් අපව පිළිගත්තා. ත්‍යාග ප්‍ර‍දානෝත්සවය බොහොම මැනවින් සංවිධානය කරලා තිබුනා විතරක් නෙමෙයි. එයාලට ආධාර අරගෙන එහි ගිය අපව පිනවන්න විවිධ නාට්‍යමය අංග පවා ඔවුන් සූජානම් කොට තිබුනා. ඔවුන්ගේ රංගන වින්‍යාසය ඉතාමත් විශිෂ්ඨයි.

නාට්‍ය අංගයක්

පඹුරුගස්වැව විද්‍යාලය

පාසල් ද්විත්වයේම ගුරුවරුන්ට මධුසංඛ යුවල අත්ඔරලෝසු පරිත්‍යාග කලා. මේ දුෂ්කර පරිසරයෙ ඉඳලා මේ දරුවන්ගෙ ඇස් පාදන්න මහන්සි වෙන ගුරුවරුන්ගෙ සේවයත් අපිට පුලුවන් විදියට අපි අගය කරලා එයාලව දිරිමත් කරන්න ඕනෙ. මධුසංඛගෙ අදහස එහෙමයි. ගුරුවරුන්ට අමතරව පඹුරුගස්වැව විද්‍යාලයේ මුර මාමටත් අපි අත්ඔ රලෝසුවක් දුන්නා

පියුමි
ත්‍යාග ප්‍ර‍දානෝත්සවයෙන් පස්සෙ තේ පානය ආරම්භ උනා. ඒ කාරිය අහවර උනාම වෛද්‍ය සායනය පටන් ගත්තා. ඇස් රෝග ඉතාම සුළභව එහි පැවතුනා.

දෙමාපියන්ට දැනුමක් නැති වීම, උවමනාවක් නැති වීම, ආසන්නම රෝහල වූ ගෝමරන්කඩවලට කිලෝමීටර් 20 කටත් වඩා දුර ගමන් කල යුතු වීම, බස් ගමනාගමනයක් සහිත මාර්ගයක් නොවීම, යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබද නොදැනුවත් කම...අපේ වෛද්‍ය තුමාට අනුව මේවා තමයි හේතු.


පඹුරුගස්වැව දරුවන් අතරින් එක් දරුවෙකු ඉතාම දැඩි ලෙස ඇස් රෝගයට ගොදුරුව සිටියා. ඔහුගෙ ඇස් රතු වී ඉඳි මී තිබුනා.

මෙයාට දෙන්න මා ලග බේතක් නෑ. ඉතාම ඉක්මනින් ඉස්පිරිතාලෙට අරගෙන යන්න. වෛද්‍ය සමින්ද ඒ දරුවගෙ මවට එහෙම කිව්වා. ඔවුන් එතැනින් පිටත් උනාට පස්සෙ..

පව් බං...ඒ ළමයා...ඇස් ලෙඩේ හොදටම වැඩිවෙලා... එහෙම කියලා ඔහු නිහඬ උනා.

අපේ ලක්මාල් ගොයියත් වෛද්‍ය තුමා ලියන බේත් තුංඩුවට බේත් ටික කඩදාසි කවරයට දාලා විතරක් නැවතුනේ නෑ. ඔහුට හැකි විදියට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන දෙමාපියන් දැනුවත් කලා. මේ වතාවෙ ලක්මාල් ගොයියගෙ සහායට කවර වලට බෙහෙත් දාන්න සිරා කොලුවා සමග 1 වසරෙ සිටම අධ්‍යාපනය ලබපු උදිතත් එකතු උනා. ඔහු දැන් ලංකාවේ ප්‍ර‍මුඛ මෘදුකාංග ඉංජිනේරුවෙක් වුවත් අරුණළු හෙවනෙදි තවමත් පැරණි මිත්‍ර‍යාම තමයි.

 සමින්ද

ලක්මාල්

උදිත
ඔයින් මෙයින් සියලු කටයුතු අහවරයි. අපි ප්‍රාර්ථනා කරපු විදියටම හැම දේම හොඳින් සිදු උනා. යහපත් ක්‍රියාවක නිරත උනාට පස්සෙ දැනෙන සතුටින් අපේ හිත් පිරිලා. නිවෙස් බලා යන්න අපේ බස් රථය නැවතත් ගල්කඩවල විද්‍යාලය දෙසට ගුරුපාරෙ ධාවනය වෙනවා.

පඹුරුගස්වැව විද්‍යාලයේදී

මාවත අද්දර හුදෙකලා නිවසකින් ගැමි ළඳක් ඉක්මනින් මාවත අද්දරට එනවා රථයේ ප්‍ර‍ධාන කවුළුවෙන් අපි අඩ අඳුර මැදින් දැක්කා. ඇය අතේ ඉටි කවරයක දිවුල් පාර්සලයක්.

අපේ දරුවන්ට ලගටම ඇවිත් තෑගි දුන්නට ස්තූතියි. මට පුලුවන් විදියට මමත් ඔයාලට තෑගි දෙනවා. ආ ගන්න...මේවා ඔයාලගෙ දරුවන්ට දෙන්න අරගෙන යන්න. ඇගේ කථා කරන යුග දෙනෙත සිනාසුනා.

වැඩසටහන අවසානයේ  පඹුරුගස්වැව විදුහල්පතිතුමාගේ නික්ම යාම






මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි


ලියන්නට බොහෝ දෑ ඇතිමුත්, අතීතයේදී මෙන් ලියාගන්නට කාලය නොමැති සඳ, කාමරයට එන යන ඇත්තන් මා පිළිබඳ කමා කරත්වා.


හිතාදර මධුසංඛ, ඔබත් මේ ලිපිය කියවනු ඇතැයි සිතා මේ කොටස මෙහි සටහන් කරමි. මේ පාසල් ද්විත්වයේ දරුවන් වෙනුවෙන් ඔබ වැය කල මුදලින්, ඉහළම හෝටලයක සුපිරි උපන් දින සාදයක් දැමීමට හෝ, වෙනත් රටක සංචාරයක් කිරීමේ හැකියාව පැවතුන බැව් අපි දන්නවා. එහෙත් එවන් හරසුන් දෑ වෙනුවට මෙවැනි යහපත් කාර්යයකට දායක වීමට අප සමග අත්වැල් බැඳ ගැනීම පිළිබඳ සිරා කොලුවා වන මාගේ හෘදයාංගම ස්තූතිය මෙයින් පුද දෙමි. ඔබ වැනිව සිතන සුන්දර මිනිස් හදවත්, මේ ලෝකය තවත් සුන්දර කරනු ඇත. ජරා ජීර්ණව ගිලන් වූ මේ සමාජය පුරා අපට හැකි විදියට මිනිසත් බව බෝ කරමු.

මේ වැඩසටහන අතරතුර මධුසංඛගේ ඔස්ට්‍රේලියානු ලිපිනය ලියාගත් පුංචි එවුන් තම විදුහල්පතිතුමාගේ නිළ මුද්‍රාව සහිතව යැවූ ලිපි රාශියක් අතරින් කීපයක්. මෙවැනි ප්‍ර‍තිචාර මේ පුංචි හදවත් තුලින් පැන නැගෙන කල අරුණළු අප තව තවත් ධෛර්යමත් වන බැව් රහසක් නොවේ.










Related Posts Plugin for WordPress, Blogger...